පරිස්සමින් යාළුවා, උඹ මේ කියවන්නෙ මාව | Beware of the content amigo |
Sunday, December 29, 2024
Loku Akka's Birthday!
Monday, December 23, 2024
මේ ලිපිය තව අවුරුදු 50කින් කියවන්න !
මේ ලිපිය තව අවුරුදු 50කින් කියවන්න !
මේ අකුරු දකින වාරයක් ගානේ
මා ගැන මතක
එක පොදියට
ලස්සන සිනහවකින් සැරසී
ඔබේ හදවතේ ඇමිණිය යුතුය !
සිහින් රිදුමක් නම්
අනිවාර්යයෙන්ම තිබිය යුතුය
ඔබ මාගෙන් ගලවා ගෙන
ආකලනය කර ගත් මාගේ කැබලි
මේ අකුරු දකිද්දී
නලියන්නේ නැති නම් පුදුමයකි !
ජීවිතේ එක්තරා දවසක
මේ අකුරු අතරින්
සක්මන් කරන මොහොතක
මා ඔබෙන් බොහෝ දුර
ගමන් කර තිබෙන්නට පුළුවන !
සමහර විටෙක සියවස් දුසිමකින්
අප මුණ ගැසී නැති බවත්
සියවස් දුසිම් බාගයකින්වත්
කතා කොට නැති බවත්
එක වරම ඔබට සිහිපත් වනු ඇත !
මා කොහේ සිටිනවා දැයි
මා කුමක් කරනවා දැයි
කල්පනා කරමින් මොහොතකින්
ඔබ දිගු සුසුමක් හෙලනු ඇත !
වෙවූලන ඇඟිලි තුඩු වලින්
මේ මතක අකුරු පිරිමදිමින්
ඔබ හඬනු ඇත - සිනාසෙනු ඇත
මෙහි ඇති පරණ පුසුඹින්
පෙනහළු පුරවාගෙන රුධිරයට
අවශෝෂණය කරගනු ඇත !
වයසක ඔබට වයසක මට
කියන්නට තිබෙන්නේ
ඔබ කොහේ සිටියත් කමක් නැත
මම කොහේ සිටියත් කමක් නැත
මේ වෙද්දී අපි අරමුණු අරඹයා
කළ සටන් හමාර කර
සාමය සහ නිදහස සමඟ
අපිට රිසි ජීවිතය ගෙවනවා විය යුතුය !
ජීවිතය ඉඩ ලබා දේ නම්
අපි වරක් නැවත හමු විය යුතුය
නැවත හමුවීමක් තිබුණත් නැතත්
ඔබ මෙය දැන ගත යුතුය
මා සැබැවින්ම මැරෙනවා නම්
ඒ ඔබට මා සම්පූර්ණයෙන්ම
අමතක වූ දවසටය !
ඉතින් මේ ඉතුරු හරියත්
ඔබ හොඳින් ජීවත් විය යුතුය
ඔබ ජීවත් වනවා කියන්නෙම
මම ජීවත් වෙනවා කියන එකමය !
තිලංක තේනුවර
Saturday, December 14, 2024
සසර පෙර පුරුද්දට අපිට අපි හමු වීම...
සසර පෙර පුරුද්දට අපිට අපි හමු වීම
අතරමං වෙන තරම් ප්‍රේමයක දුර යෑම
කතර ගිනි ගන්න කොට අපි උනත් පැටලීම
සොඳුර ජීවිතේ හැටි නිවි නිවී ඇවිලීම !
ප්‍රශ්ණ උල් කටු වගේ මග දිගට ඇමිණීම
සිතු තරම් ජීවිතෙත් සිනිඳු නැත වැටහීම
නිදහසත් සාමයත් හිත තලා ඉගිලීම
සොඳුර ප්‍රේමයේ හැටි තමන් සැප දන් දීම !
දරාගන්නට බැරිම තැන් වලත් ඉවසීම
කිසිදාක විය නොහැක උඹට එය වැටහීම
බලා ඉන්නට බැරිම ඈ මෙහෙම ගොළු වීම
පාරමී පුරන්නේ ආධුනික අපි කොහොම !
බැමි ලිහමි දොර හරිමි සොඳුර නුඹ නික්මීම
ප්‍රේමයෙන් විය යුතුය උනත් එය සමු ගැන්ම
දිනක හමු වෙමු නැවත උගෙන තව පෙම් කෙරුම
ජීවිතේ හැටි ඉතින් වෙන්වීම ලන්වීම !
තිලංක තේනුවර
දෙසැම්බර් 11 බදාදා, 2024
Friday, December 6, 2024
ඔබ ගැන සිහිකරන විට !
Thursday, December 5, 2024
දයාබර ආදිරා !
දයාබර ආදිරා !
තැනක නොතැනක මදක් නැවතී
හැරී ආපසු බලා සිටියත්
නැවත ආයෙත් සිහි එලෝගෙන
ජීවිතේ ගඟ හබල් ගැහුවත්
දිනෙක මා මඟ යනෙන තුර හෝ
වරක් හෝ හමු වෙතැයි පැතුවත්
දුරකි කිසිදින ලං නොවෙනු බැරි
අපිට ඇත්තේ කොහොම බැලුවත් !
ඈත අහසේ සඳක් සේ ඔබ
දිලෙද්දී මැද තරුම දහසක්
පෙම දරාගෙන හද පුරෝගෙන
සිනහ වෙමි මම යකඩ පොළොවක් !
තිලංක තේනුවර
දෙසැම්බර් 05 බ්‍රහස්පතින්දා , 2024
විස්කි වීදුරුවක පහස අහිමි රෑක.
Friday, November 29, 2024
සුභ උපන්දිනයක් අම්මා !
ජීවිතය ගැන, ප්‍රේමය ගැන, විරහව ගැන සහ කියවන්නෙකුට අගක් මුලක් නොතේරෙන අනන් මනන් මළ විකාර ගැන මා කොතරම් කවි ලියා ඇත්ද කියා මටවත් මතක නැත.
ඒ අතරිනුත් පුද්ගලානු බද්ද කවි මා ලියා ඇත්නම් ඒ බොහොම අතලොස්සකි. එසේ ලීවානම් ඒ ලියා ඇත්තේ ද සමීපතමයින් උදෙසා පමණකි.
වරකදී පමණක් ලියූ ඒ කවිය හෝ දෙක ඇරෙන්නට ඔවුන් ගැන මා ඉන් පසුව ලියා නැත. එයට හේතුව මගේ පඩත්තල කම යැයි ඔබට සිතීමට මා සම්පූර්ණ අයිතිය දෙන නමුත් සැබෑ හේතුව තවත් කෝණයකින් ඔවුනොවුන් දෙස බැලීමට සහ නව වචන රටාවක් අස්සේ ඔවුන්ව පෙළ ගැස්සවීමට මට ඇති කම්මැලි කමය.
වැඩිම වාර ගාණක් මා පුද්ගලානු බද්ධ කවි ලියූ එකම පුද්ගලයා අපේ අම්මාය.
තාත්තා නැති දින සිට ළමයි තුනකගේ බර සිය දෙවුර මත තියාගෙන සප්ත මහා සාගරය තරණය කෙරූ ඈ ගැන කවි ලියන එක ලේසි පහසු කටයුත්තක් නොවේ.
සියක් දාහක් ළමුන්ගේ නෙත් පාදා ගුරු වෘතියෙන් ළගදී විශ්‍රාම ලැබුවද තාමත් එදා ජවයෙන්ම වැඩ කරන ඈ මා දුටු ශක්තිමත්ම ගැහැණියයි.
මා වැනි ඇට්ටර, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පඩත්තලත්වයෙන් උත්කෘශ්ඨ පුත්‍ර රත්නයක් මිනිසෙකු වශයෙන් නිර්මාණය කිරීමට සමත් වීමම ඈ කොතරම් ශක්තිමත් ද යන්න තේරුම් ගැනීමට ගැලපෙනම නිර්ණායකයකි.
කෙතරම් ශක්තිමත් වූවද අපව විශයක් වන වෙලාවට ඈ හරිම සංවේදීය.
අපෙගෙන් සිදුවන වචනෙක වැරද්දකට පවා ඈව බෙහෙවින් සංවේදී කල හැක.
එහෙවූ අවස්ථාවල ඈ දුක කියන්නේ අක්කාටය. අක්කා නැවත ඇට්ටරත්වයෙන් අග තැන් පත් මා හට ඒ පණිවුඩය ලබා දෙන්නේ සබ් ටයිටල්ස් දාලා එහෙමය.
එතකොට මටත් සෑහෙන්න අවූලය. වැඩක් කර ගැනීමටත් බැරිය. ඒ නිසා අනිත් පැත්තට දුර ඇමතුමක් ගෙන ඇයව සමථයකට පත් කර ගැනීම සියළු අනෙකුත් වැඩ පසෙකට දමා මා අනිවාරෙන්ම සිදු කරන දේව කාරියකි.
ඈට ඕනේ අපි ඉහලටම යන්නටය. ලංකාවේ මොන කෙලවරේ හිටියත් දවසේ රපෝර්තුව බලාපොරොත්තුවෙන් ඇගෙන් එන දුර ඇමතුමනම් කිසි දිනෙක වරදින්නේ නැත. අම්මලා එහෙමය ! ඒ අම්මලාගේ හැටිය !
මා ලියන්නට ගත් විට සිදු වෙන්නේ මෙන්න මේකය. කෙටි කතාවක් ලියන්න පටන් ගත් විට ඉවර කරන්නේ නව කතාවකිනි. මේ වාක්ය රචනය පටන් ගත්තේ වෙන වැඩකටය.
අද අපේ අම්මාගේ උපන් දිනයය. මේ ලියමන ලියන්නේ ඈට ලියූ සුබ පැතුම් කවි පන්තියේ පූර්විකාව හැටියටය.
මෙච්චර දිග අට මගලයක් කිසිවෙකු නොකියවන බව විශ්වාසය. මා ඔබට වරදක් නොකියමි. අප හැම දෙනාම එහෙමය. අපේ ජීවිත වල කාර්ය බහුලත්වය සමග අපට වියදම් කිරීමට ඇති අල්පයක් තරම් කාලය ගැන ප්‍රවේශම් වීම අනිවාරෙන්ම සිදු කළ යුතුය.
හැබැයි කොතරම් දිග උනත් අපේ අම්මා නම් මෙය අනිවාරෙන්ම කියවන බවත් කියවා තනියම හඬන බවත් මම අත් දැකීමෙන් දනිමි.
අම්මාට ෆේස් බුක් එකවුන්ට් එක හදා දීමට වීර මද්දුම බණ්ඩාර වගේ මලයා ඉදිරිපත් වෙද්දීම, මා තරයේම එයට විරුද්ධවූයේ ඒ නිසාය. වෙන කවුරු නොකියෙවුවත් මා ලියන, දාන, ශෙයා කරන හැම දේම අම්මා මුළ ඉදන් අගටත් අග ඉදන් මුලටත් කියවනා බව දන්නා නිසාය. මොනා කරන්නද, ඒ අම්මලාගේ හැටිය. අම්මලා එහෙමය !
ඉතින් අම්මේ ඔයාට සුබම සුබ උපන්දිනයක් !
නොකිවූවට නිතරම, දන්නවනෙ මං ඉතින් ආදරෙයි පැලෙන්න !
මච් ලවූ,
ලොකු ඉලන්දාරියා.
සුභ උපන්දිනයක් අම්මා !
තාමත් ඉඳ හිටක ඔළුව බර වෙලාවට
මතක් වෙන්නෙම නිතර ඔබේ ඇකයේ සුවය
ඇඟිලි තුඩු කොනහමින් පිරි මදිද්දී ඔළුව
ඒ තරම් නිදහසක් කොහෙද අම්මේ මෙ මට !
කුස්සියේ උයන කොට වරු ගණන් කියවීම
දවසේ රපෝර්තුව එක්ක හිත හේදීම
තේ එකද කෑම එක අත ළඟට පැමිණීම
මිස් වෙනව කොළඹ නැහැ අම්මගේ සැළකීම !
අපරිමිත ස්නේහයට එකම එක නිදසුන
අම්මා තමයි ඒ ප්‍රේමයේ සළකුණ
ජීවිතේ ජීවය පිඹින ගෙයි මුලසුන
ආදරෙයී පැලෙන්නට මගෙ ලොවේ පුදසුන !
තිලංක තේනුවර
නොවැම්බර් 27 බදාදා, 2024
Friday, October 25, 2024
දරාගෙන කොහොම ඉන්නේ බිඳි හදක ලතැවිලි !
පෙමාතුර හැඟූම් මඩිනා
මලානික සිතුවිලි
අරාජික මනස වහගෙන
පරාජිත මැසිවිලි
මරාගෙන මැරෙන තරමට
පෙම් කරපු දා කෙලි
දමාගෙන කොනිත්තයි
විරහවක වා සුලි !
ගලෝගෙන ගිය දාට
ප්‍රේමයේ බැඳි තැලි
දරාගෙන කොහොම ඉන්නේ
බිඳි හදක ලතැවිලි !
තිලංක තේනුවර
ඔක්තෝබර් 25 සිකුරාදා , 2024
Sunday, October 6, 2024
මා ආදරය කල ගැහැණුන් සහ මට ආදරය කල ගැහැණුන් !
Tuesday, October 1, 2024
උඹ රබර් බෝලයකි !
ඉගිල විත් වේගයෙන්
වැදී එක නිමේශෙන්
අන්ත්‍රස්දාන වෙන
උඹ රබර් බෝලයකි !
වැදුනු සැර පාරවල්
මඩ ලකුණු දරාගෙන
පිච් එකේ කෙලවරක
මම පරණ බිත්තියකි !
තිලංක තේනුවර
ඔක්තෝබර් 01, 2024
Sunday, August 4, 2024
ඇත්තමයි උස්සගෙන දුවනවා දවසකදි !
මැවෙනවා ලඟ වගෙයි සුන්දරම සිනහව
හිත් යාය ගිණි තියන දිස්නෙ දෙන ඇස් අග
ආදරෙයි නොපවසා මම ඉන්නෙ කොහොමද?
දෑත් පටලවා ගෙන ඔහු එක්ක ඔබ යද්දි
ප්‍රේමයේ ඇල් පෙනෙති ඇනෙනවා හිත රිද්දි
ඉරි ඇන්ද සීමාව බලාගෙන දිය වෙද්දි
නුඹ ගියා ඔහු එක්ක මම අතරමන් වෙද්දි !
තාම හමු උන විටදි හුරතලෙන් ඇඹරෙද්දි
වීදුරු ඇස් වලින් එබී හද පීරද්දි
විහිළුවක් කල පසුව මල් සිනා වපුරද්දි
ඇත්තමයි උස්සගෙන දුවනවා දවසකදි !
අගෝස්තු 4 සෙනසුරාදා , 2024
කොළඹ අහස උඩ
Monday, July 22, 2024
සිය දහස් වර අණ්ඩ දැමූ පිරිමි හදවත් වලට උපහාරයක් පිණිස !
Friday, June 21, 2024
උඹටත් එය අදාලයි !
Friday, June 14, 2024
අමෘතය වගේ බෙහෙතක් !
Tuesday, May 28, 2024
ඈට විරහවකි - මා තනිව රකිනා ප්‍රේමයකි !
සැඩ සුළන් විදුලියත් සමග වැස්සකි
Saturday, May 25, 2024
බලා හිටියත් කල්පයක් !
Wednesday, May 8, 2024
පියුමිගේ කවිය !
Saturday, May 4, 2024
දැක්කොතින් මේ ලියන කවියත් ඇත්තමයි ඔබ මට බනියි !
දැක්කොතින් මේ ලියන කවියත්
උඹ ඍතුවක් විය යුතුය අළුත් !
වසන්තයක ප්‍රාණවත් බව ද
ගිම්හානයක මද රස්නය ද
සිසිරයක හිම සීතල ද
සරත් සමයක ලස්සන ද
එක සේ අන්තර්ගත කොට
උඹ ඍතුවක් විය යුතුය අළුත්
කාලයෙන් කාලයට මාරු වෙන
සම්මත ඍතු සියල්ලම
සම්මත තත්ව යටතේ
තඹේකට විස්වාස කරනු බැරි හෙයින් !
Wednesday, April 24, 2024
ඉඳ හිටක වැටෙන වැහි වලට...
Sunday, April 21, 2024
විශාලාවේ සිට ලියමි !
Tuesday, April 16, 2024
ඉවසලා වෙන් උනෙත් අපි ඉතින් ප්‍රේමයෙන් !
ජීවිතේ උදාවූ සුන්දරම ඍතුව
සැබෑ පෙම්වන්තයෝ කිසිදා වෙන් උනේ නැත පෙමක් බිඳුනත් !
Friday, April 12, 2024
මතක අවුලන උඹට බැන බැන සිටිනවා ඇති හංගගෙන දුක !
ළපටි වැහි පොද
Wednesday, April 10, 2024
මිතුර ජීවිතේ හැටි ලං වීම වෙන්වීම !
Sunday, March 31, 2024
සංවේගයෙන් ලියා තබමි !
Saturday, February 24, 2024
ප්‍රේමණීය ම මිනිසුනේ උඹල තමයි ජීවිතේ මං දිනපු !
මරාගෙන හරි ලඟින් ඉඳපු
අල්පයක් නොදන්න මාතෘකා
කල්පයක් උනත් අහගෙන ඉඳපු
හුස්මත් හිර වෙන්න වගේ එද්දි
පිස්සුවෙන් කෘතිම ස්වසනය දීපු
ප්‍රේමණීය ම මිනිසුනේ
උඹල තමයි ජීවිතේ මං දිනපු !
තිලංක තේනුවර
පෙබරවාරි 24 සෙනසුරාදා , 2024
Friday, February 23, 2024
තිලාගේ ඩයරිය ! අද පෙබරවාරි 22, 2024 - බ්‍රහස්පතින්දාවක් !
තිලාගේ ඩයරිය !
Thursday, February 22, 2024
තිලාගේ ඩයරිය ! අද පෙබරවාරි 21, 2024
Saturday, January 20, 2024
හීන හොරු අරන් !
Thursday, January 11, 2024
එසේනම් මිත්‍රයා අපි එක බෝට්ටුවේ !
මේ මනරම් සන්ධ්‍යාවේ
මදක් මත්වූ හිතවතුනි
මේ කතා කරන්නට යන මාතෘකාව
අසා සිටින්නට නම්
ඔය මදිය - ඔබ තව ස්වල්පයක් මත් විය යුතුය !
මේ මනරම් සන්ධ්‍යාවේ
හුඟක් මත් වූ හිතවතුනි
මේ කතා කරන්නට යන මාතෘකාව
අසා සිටින්නට නම්
ඔබ මත් උනා ඇතිය - දැන් සිහි එළවා ගත යුතුය !
තනිකඩ අපිට ඉතින්
කතා කරන්නට කියා බොහෝ
බර පතල මාතෘකා වැඩිමනක් නැත
තිබෙනවා නම් එක්කෝ සල්ලි ය
ඒත් නැති නම් ඒ ප්‍රේමය හෝ අරක්කුය !
අරක්කු ගැන හැමදාම කතා වෙන නිසාත්
ප්‍රේමය අද මාතෘකාව කල යුතුමැයි
යටි හිත බෙරිහන් දෙන නිසාත්
මා මේ ප්‍රශ්ණය ඔබෙන් අහන්නම් !
හිතෝතුනි ඔබට
පළවෙනියටම වැදුනු ප්‍රේමය මතක ද?
ඒ ගැන මතක් වෙන විට
තවමත් පපුව හයියෙන් ගැහෙනව ද ?
සමනල්ලු පියාඹන හැඟීම
එදා වාගෙම නැතක් ලාවට හරි දැනෙනව ද?
එසේනම් මිත්‍රයා
අපි එක බෝට්ටුවේ !
හැන්දෑවක ඉර බැහැ ගෙන යන මූදු වෙරළක
අඩියක් ගහන ගමන් අපි
ඔය ගැන කතා කරමු !
පළමු ප්‍රේමය හෝ
ඊට පස්සෙ තිබූ එකසිය විසි පස්වන ප්‍රේමයත්
මතක් වෙන විට තවමත්
පපුව හයියෙන් රිදෙනව ද
නහර පලා ගෙන රුධිරය
නටන හැඟීමක් - වෛරයක් දැනෙනවද ?
එසේනම් මිත්‍රයා
අපි එක බෝට්ටුවේ !
හැන්දෑවක කවුරුත්ම නැති පාළු බාර් එකක
අඩියක් ගහන ගමන් අපි
ඔය ගැන කතා කරමු !
තිලංක තේනුවර
ජනවාරි 10, 2024
මූදු වෙරළක - පාළු බාර් එකක