Wednesday, January 10, 2024

එසේනම් මිත්‍රයා අපි එක බෝට්ටුවේ !


මේ මනරම් සන්ධ්‍යාවේ 
මදක් මත්වූ හිතවතුනි
මේ කතා කරන්නට යන මාතෘකාව
අසා සිටින්නට නම් 
ඔය මදිය - ඔබ තව ස්වල්පයක් මත් විය යුතුය !

මේ මනරම් සන්ධ්‍යාවේ 
හුඟක් මත් වූ හිතවතුනි
මේ කතා කරන්නට යන මාතෘකාව
අසා සිටින්නට නම්
ඔබ මත් උනා ඇතිය - දැන් සිහි එළවා ගත යුතුය !

තනිකඩ අපිට ඉතින්
කතා කරන්නට කියා බොහෝ
බර පතල මාතෘකා වැඩිමනක් නැත
තිබෙනවා නම් එක්කෝ සල්ලි ය
ඒත් නැති නම් ඒ ප්‍රේමය හෝ අරක්කුය !

අරක්කු ගැන හැමදාම කතා වෙන නිසාත්
ප්‍රේමය අද මාතෘකාව කල යුතුමැයි
යටි හිත බෙරිහන් දෙන නිසාත්
මා මේ ප්‍රශ්ණය ඔබෙන් අහන්නම් !

හිතෝතුනි ඔබට 
පළවෙනියටම වැදුනු ප්‍රේමය මතක ද?
ඒ ගැන මතක් වෙන විට
තවමත් පපුව හයියෙන් ගැහෙනව ද ?
සමනල්ලු පියාඹන හැඟීම 
එදා වාගෙම නැතක් ලාවට හරි දැනෙනව ද?

එසේනම් මිත්‍රයා
අපි එක බෝට්ටුවේ !
හැන්දෑවක ඉර බැහැ ගෙන යන මූදු වෙරළක
අඩියක් ගහන ගමන් අපි
ඔය ගැන කතා කරමු !

පළමු ප්‍රේමය හෝ 
ඊට පස්සෙ තිබූ එකසිය විසි පස්වන ප්‍රේමයත්
මතක් වෙන විට තවමත්
පපුව හයියෙන් රිදෙනව ද
නහර පලා ගෙන රුධිරය
නටන හැඟීමක් - වෛරයක් දැනෙනවද ?

එසේනම් මිත්‍රයා
අපි එක බෝට්ටුවේ !
හැන්දෑවක කවුරුත්ම නැති පාළු බාර් එකක
අඩියක් ගහන ගමන් අපි
ඔය ගැන කතා කරමු !

තිලංක තේනුවර
ජනවාරි 10, 2024
මූදු වෙරළක - පාළු බාර් එකක

No comments:

Post a Comment