මට මතක් වෙන්නේ,
හිටි හැටියේම දුවන්විත්
බදාගෙන ආදරේ කීමය
අහේතුකවම හිනා වී
සියොලගම කෙනිත්තීමය !
දුක හිතුනු විට ගෙල බදාගෙන
කඳුළු ගංගාවකින් මා නැහැවීමය
ඇඟේ ඇති හයියම දත් වලට ගෙන
තරහ ගිය පූසෙකු මෙන් මා හැපීමය !
සතුටකදී නම් තොල් සායමින්
මාව පින්තාරු කිරීමය
ඇගේ යැයි පුන පුනා පවසා
රැවුල අතගා මුව සිඹීමය !
තරහ ගිය විට බඩ කෙනිත්තීමය
ඒත් මදි නම් ඔරව ඔරවා
සියුමැලි දෑත් එක්කහු කොට
වැලමිටින් පහර දීමය !
හිතේ ඇති සියලු දේ
කොල වල ලිවීමය
රිදුම් දෙන හැඟුම් තෝරා
ගුලි කර බැහැර කිරීමය !
හැඟීම් දැනීම් සියල්ලම
නොබියව ප්‍රකාශ කිරීමය
සමාජෙට බම්බු ගහගන්න කියා
රිසි සේ ජීවිතේ විඳීමය !
ඒ සියල්ලටම වඩා ලෝකෙටම
නිර්ලොභීව ප්‍රේම කිරීමය
සමීපතමයන් වෙනුවෙන්
තමන්වම උනත් පරිත්‍යාග කිරීමය !
අනුන්ගේ සැපත වෙනුවෙන්
මා අත හරින්නට පවා නිර්භීත වීමය
ආදරේ බිඳුවකුත් නැති එකෙකුට
ජීවිතේ දීමට කැමැති වීමය !
මට දරා ගන්න තියා
හිතාගන්නත් බැරි ඒකය
රාත්‍රියේ මා හා තරු ගණන් කල ඈ
පසුදා නොකියාම පෝරුවට නැගීමය !
පෝරුවට නැගි එකා මේ මා නොවීමය
ඒ තරම් දැඩි හිතක් ඔබට හිමි වීමය
ඔබ තරම් ශක්තියක් මා තුල නොවීමය
ප්‍රේමයේ අතරමග අතරමං වීමය !
මා අතීතයේ සිරකාරයෙකු
වී ඇති බව හැබෑය
හැබැයි තාමත් නොවැටහෙන්නේ
මේ සිපිරිගේ ප්‍රේමයද
නැතිනම් විරහවද කියාය !
තිලංක තේනුවර
දෙසැම්බර් 05 බ්‍රහස්පතින්දා, 2024
No comments:
Post a Comment