තිලාගේ ඩයරිය !
අද පෙබරවාරි 22, 2024 - බ්‍රහස්පතින්දාවක් !
අද දවස හරි කාර්ය බහුල දවසක්. ඊයේ පෙරේදා රස්සාවට බායි කියල එළියට බැහැපු එකෙක්ට ඔච්චර බිසි වෙන්න මොනවද තියෙන්නෙ කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්.
රස්සාවත් එක්ක එන කාර්ය බහුලත්වය නිසා අපිට හැම තිස්සෙම අපි කැමති දේවල්ම කරන්න හම්බෙන්නෙ නෑ. අන්න එතනදි අපිට සිද්ද වෙනව ප්‍රයොරිටීස් හදා ගන්න.
කෑම බීම, යෑම ඒම, යාළුවෝ, ලෙශර් ඇක්ටිවිටීස්, මළ ගෙවල්, මගුල් ගෙවල්, දානෙ ගෙවල් ඔය හැම දෙයක්ම කරන්න වෙන්නෙ ප්‍රයොරිටි ලිස්ට් එකට අනූව.
සමහර වෙලාවට ප්‍රයොරිටි ලිස්ට් එකේ උඩම ඉන්න අයව උනත් අපිට මගෑරෙන්න පුළුවන් මේ සාමාන්ය කෝපරේට් සේවක ජීවන චක්‍රය නිසා.
මේ සුළු කාලෙකට ලබපු අසීමිත නිදහස උපරිම කාළකණ්ණි විදියට ගත කරනව කියල හිතාගෙන ඇදෙන් බිමට බැස්සට මොකෝ කරන්න මගෑරිච්ච වැඩ වගයක් ඔළුවට ආපු නිසා කාළකණ්ණි වීමේ ප්ලෑන් එක පොඩ්ඩක් පස්සට දාන්න උනා.
අද උදේ වරුවම වියදන් කරේ ගැල් ගැඩට් (||) වෙනුවෙන්. කලබල වෙන්නෙපා මේ ගැල් ගැඩට් ඇවිල්ල වොන්ඩර් වුමන් නෙමෙයී. මගේ නිල ප්‍රවාහන සහකරු.
( වාහන වලට නම් තැබීමේ චාරිත්‍රය පටන් ගත්තෙ අපේ ඉමන්තයා. ඒ චාරිත්‍ර වලට අනූව යමින් මගේ බයික් රාජයාට ගණ බලල හැඩ බලල දාපු නම තමයී ඔය ගැල් ගැඩට් කියන්නෙ )
හවස් වරුව තනිකරම ගත කරේ විවිධ ජීවන තත්ව නිසා කාලයක් තිස්සෙ හමුවෙන්න බැරිවෙච්ච පරණ හිතවත් කමකට අළුත් මතක ටිකක් එක්කාසු කරගන්න.
ඒක තනිකරම කෝපි පාට හැන්දෑවක්. අපි දෙන්නාම කෝපි වලට අසීමාන්තිකවම ප්‍රේම කල නිසා වරුවක්ම කෝපි ගැන කතා කරන්න වැය කරා.
කොළඹ අවට කෝපි බොන්න තියෙන හොඳ තැන්, වැරයිටීස් , කෝපි ෆීලින් සහ අනම් මනම් හැටහුටාමාරක් දේවල් අපි කතා කලා. ලතේ, එස්ප්‍රෙසෝ, කැපචිනෝ, ඇමරිකානෝ ගැන මේ පඩත්තල ටෝක්ස් දෙන්නෙ ගෙදර හරිස්චන්ද්‍ර කෝපි බිබී ඉඳපු සිරිපාලල නේද කියල විහිළුවකුත් කරල අපි හොදට හිනා උනා.
ඊළගට මගේ මිතුරිය කතා කරන්න ගත්තෙ ජීවිතේ ගැන. අපි හම්බෙච්ච විදිය, කරපු දේවල් සහ කරන්න බැරිවෙච්ච දේවල් ගැන අතීතාවර්ජනය කරද්දි ඒ මතක වලිනුත් ආවෙ කෝපි පුසුඹ.
යුග දිවියට පහන් වැටක්, කසාදය සහ දික් කසාදය, ආදරය කියා ඇටි කෙහෙලක් නෑ වගේ බර පතල මාතෘකා කෝපි කෝප්පයේ අවසාන භාගයම හිස් කරද්දි හැන්දෑ අහසෙ ලා කළුවර ගතිය මේ කෝපි පැහැති හමුවීම ආක්‍රමණය කරල තිබුණා.
හැන්දෑව එහෙම ඉවර උනාට තවම දවස ඉවර නැති නිසා රාත්‍රිය බීර වීදුරුවක ගිල්වමු යැයී මිත්‍ර පාර්ශවයෙන් ලැබුණු ආරාධනය ඉහ මුදුනින් බාර අරගෙන තවත් මිත්‍ර පාර්ශවයක් සිටිනා දිහාවකට අපි කඩිනමින් පිටත් උනා.
ඒක හරි නිස්කලංක තැනැක්. බීර සුවඳැති රාත්‍රියකට කදිම තිප්පොලක් !
එකම මාතෘකාව උනත් කෝපි බොමින් කතා කරද්දි සහ බීර බොමින් කතා කරද්දි ලබා දෙන්නෙ එකිනෙකට සාපේක්ශව වෙනස් තීව්‍ර තා දෙකක්, වෙනස් වයිබ් දෙකක් කියන එක අද මම ප්‍රත්යක්ශ කරගත්තා.
හවස් වරුවෙම කතාන්දර කියලා මහන්සි නිසා සීතල වතුර වීදුරුවක් බොන ගමන් පොඩි රෙස්ට් එකක් ගන්න හිතා ගෙන කතා නායක කම කෙලි සංගමේට දීල මම සිකැරට්ටුවක් දල්වා ගත්තා. ඒ අල්ල පනල්ලෙ මිත්‍ර පාර්ශවයෙන් එල්ල වුන දරුණු බැල්මට්, එරවිලි සහ ගෙරවිලි නිසා අතට ගන්නත් කලින් දෙවැනි සිකැරට්ටුව පැකට් එකේ අඩියටම බැස්සා.
තවත් අඩ හෝරාවක් පමණ අපි ගත කලේ කිසිවක්ම කතා නොකර. ඒ ලද නිවාඩුවේ මං පබ් එකේ හිටි කෙලි පැටික්කියන්ගේ ලස්සන ගවේශණය කරද්දි, මිත්‍ර පාර්ශවය පසෙකින් වාදනය උනු පැරණි ඉංග්‍රීසි සංගීතයට සවන් යොමු කර ඇති හැඩැක් පෙනුණා.
රාත්‍රී 10 පමණ වෙනකම් එකී මෙකී නොකී සියළු දේ කතා කර අපි එතනින් නික්මෙද්දි අපේ හිත් සෑහෙන්න තරමකට හේදිලා තිබ්බ කිවුවොත් මං නිවැරදියී.
බීර සුවඳැති උණුසුම් වැළඳගැනීමකින් අනතුරුව මේ හමුවට විරාමයක් දෙන්න අපි තීරණය කලේ රාත්‍රිය තාම තරුණ උනාට ගෙවල් වල ඉන්න මිනිස්සු පරල වෙන්න ඉඩ කඩ තියෙන නිසා.
බීර වීදුරු කීපයක මේ රාත්‍රිය ගිල්ලූවත්, ලා කෝපි සුවඳක් අවසානය තෙක්ම එහි තිබූ බව අපිට දැනුනා !
ඉවරායී !
No comments:
Post a Comment