Saturday, April 20, 2024

විශාලාවේ සිට ලියමි !


සතර පෙර නිමිති වලට අඩු
පැවිද්දෙක් විතරයි
මේ කවිය ලියන මොහොතෙ ත්
අටේ ඇඳේ හිටි ලෙඩා කම්මුතුයි !

එන්න නම් හිතන්නවත් එපා හිතවත
මේ විශාලා මහ නුවරයි 
සසර කෙසේ වෙතත් මිතුර
ජීවිතේ නම් කළකිරෙයි !

නේක විධ බෙහෙත් ගන්ධයෙන් ආඪ්‍ය
වාට්ටු පරයමින් නැගෙන්නේ ඔය
සකළ කිළි එකතු වූ වැසිකිළියක්
පාලනාධිකාරියට යැවූ රතු නිවේදනයයි !

බොහෝ රළු ඇවතුම් පැවැතුම් ඇති
මිසී ලා මෙහෙ සුලභයි
යාන්තම් හරි හිනාවක් දැක්කේ
ඉන්ටර්න් දොස්තර නෝනගෙ විතරයි !

ඇටෙන්ඩන් සුපිරින්ඩන් වූ විට
මෙහෙ ලෙඩ්ඩුන්ට ඉතින් අබ සරණයි !
උදවූ ඉල්ලා කෑගැසූ එකේ ලෙඩා ගෙත්
ඇඳ වැසිකිළිය වීමට ආසන්නයි !

එක ඇඳේ ලෙඩ්ඩු ඩබල් පිටින්
හුස්මක් ගන්නවත් ඉඩ මදියි !
මේ වගේ අසරණ කමක් ජීවිතේ
කිසිම ප්‍රාණියෙකුට නොදැනිය යුතුයි !

හිතෝතුනි මේ ව්ශාලා මහ නුවර
එක රෝහලක් විතරයි !
තුන් බියට දෙන්න තියෙන්නෙත් මෙහේ
පෙනඩෝල් පෙත්තක් විතරයි !

රාත්‍රිය නම් ඉතා දිගු බව 
අමුතුවෙන් පැවසීමට අනවශ්‍යයි !
මුරුගසන් වරුසාවේ සීතලට 
ඇට කටු පවා පෑස්සෙයි !

ඔබ සිටින්නේ කළු බෝවිල අවට නම් 
මේ ආරාධනය ඔබටයි !
ප්ලේන්ටියක් සමඟ සිකැරට්ටුවක්
මේ වෙලාවෙ පංකාදු පහයි !

හැබැයි දැන් වේලාව පාන්දර තුනයි
කඩ ඇරලා දෝ කියල නම් සැකයි !

තිලංක තේනුවර
අප්‍රේල් 20 සහ 21 සති අන්තය, 2024
විශාලා මහනුවර කළුබෝවිල ශාඛාවේ සිට !

No comments:

Post a Comment