Saturday, May 4, 2024

දැක්කොතින් මේ ලියන කවියත් ඇත්තමයි ඔබ මට බනියි !


දැක්කොතින් මේ ලියන කවියත්
ඇත්තමයි ඔබ මට බනියි
ප්‍රේමයෙන් ගැබ්බර අපේ කතන්දර
අනුන්ට කියනවට ඈ තරහයි !

ඒ සියළු මොහොතවල් අපේ පමණක්ම බව 
පුන පුනා කියමින් ඈ ගුගුරයි
මතක අමුණා කවි ලියනවට විරුද්ධව
හැමදාම විරෝධතා පණිවුඩ එවයි !

ඒ ලියන රාමු ගත හැඟීම් කියවලා 
ඔබ මට කවිකාරයා කියා කියයි
ඒ කවියම කොහෙන් හෝ කියවලා 
ඈ මා වැරදිකාරයකු කරයි !

ඔය තරම් ආදරේ නම් ඉතින්
වෙන් වෙමුයි කීවේ ඇයි ?
තරහ ගිය විටෙක මා අසයි !

ආදරේ හින්දම තමයි මැට්ටෝ !!!
කියා හඬමින් ඇමතුම විසන්ධි කර
තවත් කාලයකට මාව බ්ලොක් කරයි !

නැවතත් ඇගෙන් බොරු බැනුමක් එක්ක
මැට්ටෝ යැයි කියා අසාගනු රිසියෙන්
මා තව තවත් කෙහෙම්මල් ලියයි !

ඒ විකාර කියවලා නැවත නැවතත්
ඔබ මට කවි කාරයා යැයි කියයි
කොහොන් හෝ ඒවා දකින ඈ
ආයෙ මට ඇමතුමක් ගෙන බනියි !

මේ චක්‍රය දැන් මට හුරුයි
බොරු කියන්න ඕනෙ නෑ
මට හරිම සතුටුයි !

හැබැයි ප්‍රේමයට ආගන්තුකයිනි
පුරුදු වෙන්නෙපා උඹල
මේ ප්‍රේමණීය ඇබ්බැහිවීම් හරි භයානකයි !

ඉස්තුතියි !

තිලංක තේනුවර
මැයි 4, සෙනසුරාදා
කෝපි සුවඳැති හැන්දෑවක, බැරිස්ටාවක !

No comments:

Post a Comment