Sunday, December 22, 2024

මේ ලිපිය තව අවුරුදු 50කින් කියවන්න !

මේ ලිපිය තව අවුරුදු 50කින් කියවන්න !




මේ අකුරු දකින වාරයක් ගානේ

මා ගැන මතක

එක පොදියට

ලස්සන සිනහවකින් සැරසී

ඔබේ හදවතේ ඇමිණිය යුතුය !


සිහින් රිදුමක් නම්

අනිවාර්යයෙන්ම තිබිය යුතුය

ඔබ මාගෙන් ගලවා ගෙන

ආකලනය කර ගත් මාගේ කැබලි

මේ අකුරු දකිද්දී

නලියන්නේ නැති නම් පුදුමයකි !


ජීවිතේ එක්තරා දවසක

මේ අකුරු අතරින්

සක්මන් කරන මොහොතක 

මා ඔබෙන් බොහෝ දුර 

ගමන් කර තිබෙන්නට පුළුවන !


සමහර විටෙක සියවස් දුසිමකින්

අප මුණ ගැසී නැති බවත්

සියවස් දුසිම් බාගයකින්වත්

කතා කොට නැති බවත්

එක වරම ඔබට සිහිපත් වනු ඇත !


මා කොහේ සිටිනවා දැයි

මා කුමක් කරනවා දැයි

කල්පනා කරමින් මොහොතකින්

ඔබ දිගු සුසුමක් හෙලනු ඇත !


වෙවූලන ඇඟිලි තුඩු වලින්

මේ මතක අකුරු පිරිමදිමින්

ඔබ හඬනු ඇත - සිනාසෙනු ඇත

මෙහි ඇති පරණ පුසුඹින්

පෙනහළු පුරවාගෙන රුධිරයට

අවශෝෂණය කරගනු ඇත !


වයසක ඔබට වයසක මට

කියන්නට තිබෙන්නේ

ඔබ කොහේ සිටියත් කමක් නැත

මම කොහේ සිටියත් කමක් නැත

මේ වෙද්දී අපි අරමුණු අරඹයා 

කළ සටන් හමාර කර

සාමය සහ නිදහස සමඟ

අපිට රිසි ජීවිතය ගෙවනවා විය යුතුය !


ජීවිතය ඉඩ ලබා දේ නම්

අපි වරක් නැවත හමු විය යුතුය

නැවත හමුවීමක් තිබුණත් නැතත්

ඔබ මෙය දැන ගත යුතුය

මා සැබැවින්ම මැරෙනවා නම්

ඒ ඔබට මා සම්පූර්ණයෙන්ම

අමතක වූ දවසටය !


ඉතින් මේ ඉතුරු හරියත්

ඔබ හොඳින් ජීවත් විය යුතුය

ඔබ ජීවත් වනවා කියන්නෙම

මම ජීවත් වෙනවා කියන එකමය !

    

තිලංක තේනුවර

No comments:

Post a Comment