Monday, December 16, 2019

තාත්තා නොදකින මගේ කන්වකේශන්...

ඔබ අප හැරගිය ඒ මූසල දෙසැම්බරයේම අම්මා සමග තනියම ඔබේ සිහිනය ඔබ නැතිව සම්පූර්ණ කලෙමි.

මේ ගෙවුනු දෑ අවුරුද්ද තුල ඔබව සිහිපත් නොවුනු එකදු මොහොතක් හෝ නැති බවට හොදම සාක්ශිය තවමත් නොසිදුනු අම්මාගේ කදුළු උල්පතය.
ඇය අදත් හැඩුවේය. ඔබේ ඉංජිනේරු විද්‍යාර්ථී හීනය සැබෑ කරමින් උජාරුවය ලෝගුව දමා ගෙන සිවු අතම සිනහව බෙදනා මේ ඉලන්දාරියා දෙස බලා ඈ හැඩුවේය. ඇයට ඔබව මතක් වන්නට ඇත. ඇයට ඔබේ අඩුව වෙනදටත් වඩා අද තදට දැනෙන්නට ඇත. එකෙනෙහිම මේ ලෝගුව ගලවා විසි කරන්නට සිතුන වාර ගණන නම් අනන්තය.

එහෙත් කෙලෙසක නම් එසේ කරන්නද? මා මේ පළදාගෙන සිටින්නේ මම වෙනුවෙන් ඔබ දුටු අම්මා සම්පුර්ණ කල ඒ හීනයයී

මා ඇය සමග තනිව චායාරූප ගන්නාවිට " පුතේ තාත්තා ආවේ නැතිදැයී" අසන හිතවතුන්ගේ මවු පියන් හමුවේ ඇගේ මුව ගොළු විය. දෑස් කදුලෙන් තෙත් විය. මම එය දුටිමි. මා තරම් හොදින් දුක හංගා ගැනීමට ඇයට සමර්ථකමක් නැත. ඒ මොහොතට කුමක් හෝ විහිළුවක් කර ඇගේ සිත වෙනස් කරනු විනා මා හට කළ හැකි අන් දෙයක් නැත.

අද බොහෝ ළමුන් සිය මවූ පියන් සමග සෑහෙන්න සතුටකින්, උජාරුවට ජායාරූප ගත්තෝය. තවකෙකු සිය ලෝගුව සහ ගාලන්ඩ් මාලය තාත්තාටද අම්මාටද පළදා අනේකවිධ අයුරින් ජායාරූප ගත්තෝය.

මම සියල්ල නිහඩවම බලා සිටියෙම්. ඔබත් අද සිටියානම් මටද උන් මෙන් කරන්නට තිබුනා නොවේදැයී සිතමින් මම තනියම ලැතැවුනෙමි.

තාත්තේ ඔබේ වියෝව මා තුල ඇති කර ඇත්තේ ආත්මීය හිස්කමකි. ඔබ නොමැති තැන මේ ජයග්‍රහණයන් සියල්ලක්ම සිතට ගෙනෙන්නේ මහා කම්මැලිකමකි. මලානික හැගීමකි.

අම්මා සහ අයියාව වේලාසන පිටත් කර හැරියේද මේ නිසාය. මේ සතුට ඇතුලේ කොතිති ගසන වේදනාව අම්මාගේ දෑසින් මම දුටිමි. මෙතරම් මහා ජනකායක් මැද ඇයට අද බොහෝ තනියක් දැනෙන්නට ඇත.

ඔබ කොහේ හෝ සිට අප දෙස බලා සිටිනා බව මම දනිමි. සෙවනැල්ලක් මෙන් ජීවිතයේ සියළු තැන්හි ඔබ මා අසල හිදිනා බව මට දැනේ. දැන් ඔබ තව දුරටත් මම ගැන, අප ගැන සිතා විඩාපත් විය යුතු නැත. දැන් ඔබට විවේක ගත හැක. ඔබේ සහ අම්මාගේ සිහින සියල්ලක්ම යථාර්ථයක් කරන්නට දැන් ලොකු පුතාට හැකිය.එතෙක් එය කාලය සම්භන්ධ ගැටළුවක් පමණකි.

   

Wednesday, December 11, 2019

බාර් - මලානික අහු මුළු සහ පිරිමි හිත්...

ගිනියමට රත් වූ ටංග්ස්ටන් දගර
සපුරා එළි කරන්නට දත කන
මේ මලානික අහු මුළුවල තමයී
පිරිමි හිත් තැරි ගැහුණෙ හිතවත...

වේදනා සුවහසක් අභිමුඛ
ශයිලමය වෙස් ගත්ත හිත් මල
හීනයට කොනහමින් ටික ටික
දියකරයී අදුරේම මධු විත...

සොදුර හැර ගොස් එක කතාවක
සබද පිටුපා තව කතාවක
කාගෙ වූවත් හැම කතාවෙම
ඉතුරු හිඩැසකි සදාකාලික...

බදුන් මධු ගැටෙනා සද්ද මැද
බිදුනු හිත් වල හැඩුම් මැකුනට
සාවධානව අහන් ඉදගෙන
ලේ උරාබොයී මදුරු සුමිතුර...


Saturday, August 24, 2019

අසනි වැහි වලට හිතවත තියෙනවා මහ නපුරුම පුරුද්දක්...


අසනි වැහි වලට හිතවත
තියෙනවා මහ නපුරුම පුරුද්දක්
ජීවිතේ ආවාට හාරා
මියදිච්ච මතකයන් හූරා
තුන් සිතම මොහොතකින් අවුලන
මහා නරුමම පුරුද්දක්...

වේලිච්ච කදුළු ගග ගලා ගිය නිම්න ඉව කර
මහා වරුසාවක්ව  පනී අහසින් සෙනේ බර වැහි කැට
වරක් පුපුරා නිහඩ උන මුත් ගිනි කන්දකට
හරිත පැහැ තවරන්නෙ කොහොමද
කන්ද පතුලෙත් හුස්ම ගන්නා ලාවා ඇති කොට...

මැරුණු හිත් අස්වද්දන්න එපා ආයෙම එන්න
මේ සෙනේ දිය රැගෙන හනික දැන් නික්මෙන්න
අතීතය මග හාර හාරා
මතකයන් අවුලවා පාරා
මීදුමට මුහු වෙලා මැකිලා
යන්නෙ නම් උඹ එපා වර්ශා...

Friday, August 9, 2019

එකෝමත් එක දිනක සවසක උඹව දුටු හැටි පවසමී...


ඔහේ තනිවී කළුවරක හිද
ලොවට හොරැහින් මුමුණමී
එකෝමත් එක දිනක සවසක
උඹව දුටු හැටි පවසමී

හීන් වැස්සට ළපටි පිණි පොද
කුඩේ ඔස්සෙම සපැමිණී
බදා සිටියා නෑර සද වත
ඇයත් උන් හා හිනැහුනී

යනෙන වාහන වලම හැපි හැපි
විදුලි එළියෙන් ඔප උනී
ඇදෙස බලමින් බිදෙයි වැහි කැට
උන්ට පාරත් වැරදුනී...

ඉදල හිටලා බ්‍රේක් එළියට
රක්ත වර්ණෙන් හැඩ  උනී
යනෙන වාහන ඈව දුටු කල
යකඩ එංජින් හිර උනී...

පොළවෙ හැපි හැපි හඩන අහසට
පාට  හත කවලම් උනී
ඇගේ මදහස දේව දුන්නක
එතී අහසට යා උනී

සුළග හා පොර බදන මොහොතක
ක්‍රේල් කොන්ඩෙත් වද දුනී
දෙතොල් ලංකර පිඹපු හැටියෙම
කෙහෙරැල්ල දමනය උනී

වැස්ස සුළගද විදුලි එළියද
එක්වරම මග හිට උනී
කාල ඝටිකා ලොවද සේරොම
තත්පරේකට නැවතුනී

මාලිමාවක් උවද එවෙලේ
අතරමං වෙයි නිසැකෙනී
තාරුකා එළි වගේ ලස්සන
දෙනෙත් මා වෙත කැරකුනී

අහෝ හිතවත් රාත්‍රිය උඹ
කොහිද එකවර සැග උනී
පැමිණ හනිකට වෙලා ගන් මා
හොරය ඈ හට අසු උනී

නිමේශයකට අහක බලලා
ආයෙ මදෙසට කැරකුනී
ඇහැක් ගසලා සිනාසෙයී ඈ
හදේ ගැස්මත් නැවතුනී

කොහෙන් දෝ ආ රෝද හතරක්
ඈ සමීපෙම නැවතුනී
අත වනා සමුගන්න අවසර
පතන බැල්මක් එහි උනී

අකුණු සරකින් එළිය වූ ලොව
ඇගේ වත පැහැදිලි උනී
මගේ දෙස ඇස් ඔබා ගෙන හිද
අනේ  කුමරිය නික්මුණී

කුමක් වී දැයී සිතා ගනු බැරි
අමුතු මොහොතක තනි උනී
හිතේ ගැඹුරින් මොකෙක් දෝ
මොර ගහන හඩ නම් රැවූ දුනී

ඉපිද මොහොතින් අතුරුදන් වූ
සොදුරු හීනෙන් නික්මෙමී
හෙටත් හරියට හවස හතටම
නැවත මෙතැනට මම එමී....

Monday, July 29, 2019

තාරකයාගේ උපන්දිනයට - කලින් ලියපු එකක්...

මල් තුහින අස්සෙන් රිවි තුමුල   එබෙනවා
සිල් ගත්ත තුරු පත'ඟ මුදු සුළන් රඟනවා
නිල් අහස පිරෙන්නට වලා තිර       අදිනවා
විල් ලුද පලස් අද ලොව පුරා           එළනවා

කන් කළුය සියොත් ගී රාව දැන් ඇහෙනවා
පින් වන්ත නුබෙ නමට උන් ගීත   ගයනවා
සුන් දරම සේද හැද තුරු ලතා        නටනවා
උන් නුබේ උපන්දිනෙ තවත් හැඩ  කරනවා

ඉර වගේ දිලීයන් ලෝකයම එළිය     කර
සදු වගේ පරිවාර රැදීයන් ලග        නිතර
ජීවිතය හැඩ වේව නැතිව දුක්      කරදර
රැකීයන් සොයුරුදම් පුරාවට අපෙ  සසර

තාරකයාගේ උපන්දිනයට....

කවියක් ලිවුවෙ නැතිනම් මම විස් කරා කියල උඹ පිළිගන්නෙ නෑනෙ..

විදුසර කිරණ විද කළුවර සළුව කපා
පැහැසර පාට තවරයී මල් හිමින් සපා
බඹසර නොබිදි සමනල් කැල මග සතපා
හීසර වගේ කිම සුළගේ දුවනු එපා

යායට පූදිනා නෙක මල් සුවද අරන්
පෝයට වගේ පංසල් යනවාද කියන්
ලාවට පින්න ඉහ සරතැස අවදි කරන්
කීවට කාරි නෑ කිම මේ අරුමෙ බොලන්

වාදිත විහග සංගීතේ සවන පුරා
මීවත පිරෙයී මල් වල අද රේණු ඉරා
යාවෙත සුර ලියන් අහසේ අසිරි දරා
හිතවත උපන් දවසයී තාරක මිතුරා

පිපුනත් නොපිපුනත් යායට මල් පොකුරූ
ගැයුනත් නොගැයුනත් සියොතුන් ගී මහරූ
නැගුනත් නොනැගුනත් ඉර තේජස ඉහිරූ
අදටත් මතු දිනත් අපි උඹ ලග මිතුරූ

උපන්දිනේ සුභ වේවා!!! ජය!!!

Thursday, July 4, 2019

විහාරාගේ උපන්දිනයට

මුදු සුමුදු මල් කැකුළු සිඹ සිඹ හමා ආ මද සුළග නැවතී
සුදු සිනිදු සිදු රළ පෙළක් මෙන් මල් යාය රිද්මයට ඔබතී
මදු පෙරා සවුදිය පුරා අද අසිරි ගී උඹෙ නමට ගැයෙතී
විදු කිරණ ඉර එක්ක ඇති මගෙ සුභ පැතුම් පත මිතුර හිතැතී

ප්‍රේමයම බර්මියුඩාවකි - කප්පිත්තාගේ ලොග් පොත කතා කරයි


මේ උතුරු අත්ලාන්තික් සාගරයේ බටහිර බාගය යි
වතුර නිල්ම නිල් කැටේට දිලිසෙයි
රළ පෙළත් බොහොම සුන්දරයි
එංජින් ගෝරණාඩුව නම් ඉතින් එහෙමම යි
නවුකාවේ වේගය නොට් පනහයි
අපි දැන් පහු කරන්නේ
කැරිබියන් දූපත් පෙළයි...

මේ උතුරු අත්ලාන්තික් සාගරයේ බටහිර බාගය යි
කලින් උන් තැනට වඩා
නාවික සැතපුම් දෙසීය පනහක් දුර හිඳියි
මියාමි ෆ්ලොරිඩා අප දෙස බලා අතවනයි
පූර්ටෝ රිකෝ පහුකරගෙන නැව ඉදිරියටම ඇදෙයි
ඈතින් දූපතක්
ඔවූ ඒ බර්මියුඩා විය යුතුයි...

මේ උතුරු අත්ලාන්තික් සාගරයේ බටහිර බාගය යි
ටෙලස්කෝප් එකෙන් බැලුවම
බර්මියුඩා දූපතට
තව හූවයි බල්ටි දෙකයි
සියල්ල බොහෝම සමාන්‍යයි
පරිසරය හරිම නිස්කලංකයි
මුහුදකට මේ නිස්කලංක ගතිය නොගැලපෙයි
නාවිකයකු දෙන්නෙකු
අහු-මුලු වල කොඳුරනා හඬ ඇසෙයි

මේ බර්මියුඩා ත්‍රිකෝණයයි
කන් බීරි කරවමින් නැවේ සයිරන් හඬ ඇසෙයි
මොනාදෝ මන්දා පවසමින් කෑ ගසා බෙරිහන්දෙමින්
නාවිකයන් හිස් ලූ ලූ අත දුවයි
නවුකාවේ තල භ්‍රමක නවතිනා හඬ ඇසෙයි
එංජිමේ ද හුස්ම හිරවූ බවට කතා පැතිරෙයි
කොම්පාසුවට ද උතුර දකුණ මාරුවී
අතරමං වී ඇති හැඩයි
චිරි චිරි හඬ නගමින් නවුකාවේ බඳ
සාගර රළ තරංග හමුවේ
ඇඹරෙනා ශබ්දය දෝංකාරදෙයි
ක්‍රමක්‍රමයෙන් නවුකාව
සාගරය පතුලට කිමිදුම් චාරිකාවකට සැරසෙයි

මේ නමක් නොදන්නා
අතුරුදන් වූවන්ගේ භූමියට පිවිසෙන ද්වාරය යි
සාගරයේ සියළු රහස් ගිලදමා
අභිරහස් පමණක්ම වැමෑරුව
අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරන නාවිකයන්ගේ
භයානකම හීනය යි
රළ පහරේ එළ්ලීගෙනම
නවුකාව ද්වාරය වෙතටම ත්වරණය වෙයි

මේ ලොග් සටහනේ අන්තිම පරිච්ඡේදයයි
රළ පෙල විනි විදිමින
ලා නිල් සහ කොළ මිශ්‍ර වර්ණයෙන්
මහා රශ්මි කදම්භයක් නවුකාව සමීපයට පැමිණෙයි
කණ්ඩනය වූ ජල කද තිරයක් ලෙසින් ප්‍රසාරණය වෙද්දී
සුන්දර කාන්තා රූපයක් ඒ තුළින් මතුවෙයී
එවන් සුන්දරත්වයක් මිහිපිට කිසිවකු සිහිනෙනුදු
නුදුටු බව නම් ඒකාන්තයි...

විශ්වීය ජීවියෙකුට
සිය ආයුකාලය තුළ දැකිය හැකි
සුන්දරතම සිනහව තිළිණ කරමින්
ඈ අප දෙස බලා සිටියි
තවත් නිමේශයකින්
ඇගේ සිතුවිලි
කුමක් හෝ අදිසි බලවේගයකින්
හදවත විනිවිදිමින්
ප්‍රේරණය වෙන බව දැනෙයි
ඈ මා ආමන්ත්‍රණය කරයි
ඇගේ නම බර්මියුඩා බව පවසයි...

හිතවත,
මේ කප්පිත්තාගේ ලොග් සටහනේ අවසානය යි
මෙතනින් එහාට
අභිරහස් විතරමයි...

Wednesday, July 3, 2019

ඔහේ ලිවීම

සබඳ,
අතීතයේ යම් කිසි තැනැක
මට මා මග හැරී ඇත
මා ඉතා ආයාසයයෙන් පුරුදු පුහුණු කර
රක්ෂා කරගත්
මා නමට තිබූ වටිනාම දේපොළ
මාගේ ආත්මය
කොහේ හෝ තීර්ථයක
අනාථයකු විසින් අතැර දමන ලද
දොයිතුවේ කාසියක මෙන් අතුරුදන්ව ඇත
එය ජීවන වැලි කතර තුළ ගැඹුරටම කිමිදී
චායා මාත්‍රයකුදු ඉතුරු නොකරවමින්
සැඟව ගොසිනි

මිතුර
මම තවමත් කල්පනා කරමි
මා තුළ
මේ ලැගුම්ගත් ආගන්තුකයා
කවරෙක් දැයි කල්පනා කරමි
මේ නම් කිසි කලෙක මා විය නොහැක

විටෙක
ඔහු මා දෙස බලා ඔරවයි
තවත් විටෙක
බලා ගත් අතම බලාගෙන
මොන මොනාදෝ මුමුණමින් හිඳ
අහස දෙස බලා සිනාසෙයි
මට හැඟී ගිය ආකාරයට හේ
වැඩිමනක් කාලය ගත කරන්නේ
අහස දෙස බලාගෙනය
එසේත් නැති නම් අහස මූදේ එබෙන
මනඃ කල්පිත රේඛාව දෙස එබී ගෙනය

කාරණා ඒ ලෙසින් සමායෝජනය වන කල්හි
මහා භයානක කමකින් මා සිත පිරී යයි

හිතවත
මේ සිද්ධි වාචකය
කිසිසේත්ම ලඝු කොට ගත නොහැක්කකි
මා තුළ
මා
අතුරුදන් වී ඇත

ඉදින් මිත්‍රවරුනි
මම දැන් මාවම සොයා යා යුතුය
අතීතයේ මතක මං මාවත් දිගේ
ඉව අල්ලමින් ප්‍රවේශමට
මේ ගවේෂණය ආරම්භ කළ යුතුය

නැවත මට මා හමුවෙනා තුරු,
මිත්‍රයා ඔබට ජය!

භාව
තිලංක තේනුවර
26. 06. 2019

Sunday, June 23, 2019

නිහාරිකාවක ප්‍රේමය...

අංශු මාත්‍රිකයන්ව
අවකාශයට එකතු වූ අතීතයේ නශ්ඨාවශේෂ
දීර්ඝ කාලයක සිට
හෙමි හෙමින්
ප්‍රවේශමට එකතුකොට තබාගෙන
විශ්වයම කළඹමින්
සුපර්නෝවාවක වේශයෙන්
බොහෝ ඈත චක්‍රාවාටයක තාරකාවක්
ස්වර්ගයේ දොරටුව අතික්‍රමණය කළ මොහොතක
සක්වලම දෙදරා යන තරම් ආවේගයෙන්
කෑ ගැසිය හැකි උවත් වේදනාවට
නිහඩවම ඉවසා වදාරා විළි රුදා
දිදුලන තාරකාවියකට උපත දී
උපමා රූපක වලට කොටු කර ගත නොහැකි වූ
අසීමාන්තික ප්‍රේමය නිසාම
කිසිවක් නොමැති
හිස්ම හිස් ප්‍රාණියෙක් වෙනතෙක්ම ජීරණය වී
සදාකාලිකවම නිහඩ වූ
මම වෙමි
නිහාරිකා....




   

Sunday, June 16, 2019

වරුවක් තිස්සෙ මං කල්පනා කරේම තරුවක් ගැන.


උඹත් මාත් අතර පරතරය
ආලෝක වර්ශවලින් මැන්නත්
සෑහෙන්න ලොකු ගාණක්
බිලියනම මිලියනයක් විතර ඇති
අනේ මන්ද
ඊටත් වැඩිද කියල හිතා ගන්න බෑ වෙලාවකට

කොහොම හරි
උඹයී මායී දැන්
එකම කාල රාමුවෙ හම්බෙලා ඉන්නවා
ටෙලස් කෝප් ඕනි නෑ
කොච්චර ඈත උණත් මට උඹව පැහැදිලිව පේනවා

මට උඹව දැනෙනවා
කොයි තරම් කළුවරක උනත් මොකෝ
හැම රෑකම මගේ ඇස් වලට ලං වෙන්න
උඹ කොහොම හරි විදිහක් හොයා ගන්නවා
උඹත් හරි හිතුවක්කාරියක් වෙලාවකට
අමාවකද පසළොස්වකද කියල අදාල නෑ
හැමදාම
හැම රෑම
උඹ මොන වංගු ගහල හරි
මගේ හිත පතුලෙ නාභි ගත වෙනවා
අන්න ඒ හිතුවක්කාර දඩබ්බර ගතිය නිසයී
අනිත් උන්ට වඩා මං උඹට ආදරේ

අපේ ආදර කතාවත් හරි අපූරුයි නේද
උඹ ඔහේ
මං මෙහේ
අපි අතර හිඩැස පුරවන්නෙ
හිස්ම හිස් අවකාශය

දන්නවද උඹ
හිස් බව
වෙන මෙලෝ මගුලක් වත් නැතිව
හිස් බවින්ම පිරුනම
ඒකෙත් තියෙනව අමුතු හැඩක්
හරිම ලස්සන හැඩක්
හිත ඇදිල බැදිල යන හැඩක්

ඔන්න ඉතින්
උඹත් එක්ක කතා කරන්න ගත්තම
හැමදාම වෙන්නෙ මේක
කතාව කොහෙද මේ යන්නෙ
පොඩ්ඩක් ඉදපං බලන්න
අපි මොකක් ගැනද කතා කර කර හිටියෙ
ම්ම්ම්හ්...අහ්.. ඔවූ...අවකාශය
අපි අතර පරතරය
ඒක සෑහෙන්න ලොකු දුරක්
ආලෝකයේ වේගෙන් ආවත්
උඹ ගාවට එන්න
අවුරුදු බිලියනම මිලියන ගාණක් යාවි...

මේ කතාවෙ පොඩි පරහක් තියෙනව වගේ නේද
උඹ ගාවට එන්න මට එච්චර කාලයක් යනව නම්
මම ගාවට එන්නත් ඒ කාලෙම උඹට යාවී නේ

එතකොට හැමදාම මාව හොයාගෙන එන මේ උඹේ දීප්තිමත් කිරණ
ඒ ඇවිත් උඹ අවුරුදු බිලියනම මිලියන ගාණකට කලියෙන්
විහිදාපු එළියද?

ඇත්ත කියපන් තාරකාවී
උඹ තාම ජීවත් වෙනව නේද
තරුවක ආයු කාලය
අවුරුදු බිලියනම බර ගාණක් නෙ
ඉතිං උඹ කොහේ මැරෙන්නද දැන්ම

ඒ උනත් එක අතකට
අපේ දුර පරතරය ගත්තම
සමහර විට දැන් උඹ මැරිල
අවුරුදු ගාණකුත් ගෙවිල ඇති
ඒ බවක් අපි තාම දන්නෙ නැතිව ඇති
සමහර විට මේ ජීවිත කාලෙ ඇතුලත
අපි ඒක කවදාවත්ම දැන ගන්නේකුත් නෑ
මොකද උඹේ අන්තිම හුස්ම පිට කරන කිරණෙටත්
මාව හොයාගෙන එන්න යන කාලෙ ගත්තම
ආත්ම බර ගාණකම
මැරි මැරී ආයෙ උපදින්න පුළුවන්  මිනිහෙක්ට...

ඉතිං තාරකාවී
බලපං ඒකෙත් හැටි
කොයිතරම් ආදරේ උනත්
තරුවක් කියන්නෙ සමහර වෙලාවක
ලොකුම ලොකු බොරුවක්
තාමත් ඉන්නව කියල පෙන්නගෙන
මැරිලත් එළිය විහිදන
තනිකරම බොරුවක්















   

Wednesday, June 5, 2019

සඳ හා බොහෝසෙයින් උරණ වූ තරුවක්

සඳ හා බොහෝසෙයින් උරණ වූ තරුවක් අහසින් බිමට පැන සිය දිවි නසා ගැනීමට ප්‍රථම සිය ඥාති හිත මිත්‍රාදීන් අමතා එවූ ලිපියක මෙහෙම තිබුණා.

වයස යාන්තමට
අවුරුදු බිලියන දෙකයි දවසයි
එළිය විහිදද් දි කිරණින්
ඇන්ඩ්‍රොමීඩා පවා බැබළෙයි
ඔරායන් ගේ දුන්නෙ ඊතල
‍යොමු උනත් කුමරියන් හත වෙත
සීරුවට බැලුවොතින් ඇස් දෙස
නුඹ දකියී මේ මාව කෙළවර

ඉතිං හිතවත
කාරණේ දැන් ඔන්න ඔහොමයි
තරුණ තාරකාවියකට
යෝජනා නම් මෙහේ එමටයි

සඳත් ඒ දවස් වල
හැමදාම වගේ අපේ ගේ දොරකොඩ
දුකත් හිතෙනවා ඉතිං
පවු එයත් එක වෙලාවකට
ආදරේ හින්දනෙ
මේ තරම් මං වෙනුවෙන්ම නහින්නෙ
බේරෙන්න බැරිම තැන අන්තිමට
දුන්න මං කැමැත්ත චන්ද්‍ර කුමාරට

බලන්න එපැයි හඳේ සතුට
මුලදිම මං දැම්ම නීතිය
වහාම දක්කන්නෝන ඔය ගෙදර හාව කූඩුවට
මොකද හාවොන්ගෙ බූල් වලට
තරුවක් උනත්
ලෙඩ වෙන්න පුළුවන්නෙ ආයිබෝවන්ඩ

ආවාට එක දෙකක් තිවුණට මොකෝ
ඒවට කොහෙ වැහෙන්න ද ඒ මූණෙ ලස්සන
බලන්නෙපැයි පුර පෝය දවසට
උපමා රූපක කොහෙද ඒ සිරියාවට
ඒ විතරක් ද
පුදුම සනීපයක්නෙ තියෙන්නෙ ඒ එළියෙ උණුහුම

කාලයක් ගත වෙද්දි ටික ටික
වට පිටේ කසු කුසුව හින්දම
හොයා බැලුවම දිනක් රෑ මැද
සුදු වළාකුලක් ළග කුලී තානායමක
මෙන්න මූ ඉන්නවා
තව ගෑණු හත අටක් එක්කම

තරුපති තරුපති කියාගෙන
නාඹර තරු කැකුලියො ආවට හොයාගෙන
කවුද දෙයියනෙ හිතුවෙ මේ වග
සලෙළ බඹරෙක් කියා මගෙ සඳ

තාරකාවියක හදවත
කෑලි වෙන්නම කැඩුණම
දන්නවද හිතවත
සුපර් නෝවා පරාදයි පිපිරුම

ඒ ලෙසින් වේදනා විඳ පිපුරුනහම
කළු කුහරයක් ලෙසින් අහසේ
රැඳෙන්නට වෙනවලු සදාකාලිකවම
එකදු ආලෝක අංශුවක්වත් අත නොහැර ගිලිමින්

එහෙම වෙනවට හොදයි මිතුරනි
වෛරයෙන් මා පුපුරන්ට පෙර
පනිමි අහසින් හනික පොළවට
අනේ වරදක් උනේ නම් මට
සමාවෙනු ආදරෙයි උඹලට

එසේ පවසා තාරකාවිය
වේදනා උහුලන්න බැරි තැන
කදුළු උල්පත් වහා හිස් කොට
ක්ෂිතිජේ ඔස්සෙම බිමට පැන්නා

බිමට වැටෙනා ඈව දුටු කල
භූමි වාසී හුදී ජනයා
අන්න තරුවක් කියා මොරගා
දෑස් පියමින් දෑත් එක්කොට
උන්ගෙ අරමුණු සඵල වෙන්නට
මියෙන තරුවෙන් හීන යැද්දා


කඩා වැටුනා තරුවක්...

තුහ් නෙද්දකින් සද
වටේටම ගෑණු නොවැ තොට
මේ තරම් ආදරේ දුන් මට
වේදනා උඹ දුන්නෙ කොහොමද
අහස කිවුවෙක ඇහුවනම් මම
වෙන්නෙ නෑ මේ ඇබැද්දිය අද...

අහස දෙස ටික වෙලාවක ඉද
බලාගෙන ඔය ලෙසින් දෙස් දී
අලුත මල්වර වෙච්චි තරුවක්
බිමට පැන්නා කැඩී අහසින්...

බිමට වැටෙනා තරුව දකිනා
අහසෙ හදවත කෑලි කැඩුනා
වියරු අහසේ විලාපය දුටු
සදත් කළුවර අස්සෙ ගිලුනා...

අනෝරාවක කදුළු හංගා
අහස හඩනා අතර වාරේ
කඩා වැටෙනා තරුව දුටු එක්
තරුණ මහතෙකු එදෙස බලමින්
හනික ඇස් දෙක පියාගනිමින්
පතයි පැතුමක් මැරෙණ තරුවෙන්....

Tuesday, June 4, 2019

සබද එනිසාම මම පවසමි. ප්‍රේමය යනු ඇබ්බැහිවීමකි...

මිත්‍රවරුනි, ප්‍රේමය වනාහි ආගමක් යැයි බොහෝ දෙනා පවසනවා මා අසා ඇත. එය කොතරම් දුරට සාධාරණ ප්‍රකාශයක් දැයි විවේචනය කිරීමට තරම් සමාජ පරිඡයක් හෝ අත්දැකීමක් මා හට නොමැත. එහෙත් උක්ත ප්‍රකාශය පිළිබඳ මාගේ හැඟීම් සටහන් කරන්නට මේ නිදහස් සමාජය තුළ කිසියම් හෝ බාධාවක් නොවන බවට මාගේ විශ්වාසය යි.

එහෙයින් පවසමි...

ප්‍රේමය කිසි කල්හි ආගමක් නොවනු ඇත. එය උමතුවකි. එය ගැහැණියක් හෝ කිසියම් පිරිමියෙකු වෙනුවෙන් පමණක් හට ගන්නා හැඟීම් ගොන්නක සංගෘහිත පුපුරා යෑමක් ලෙසින් ලඝු කොට දැක්වීම කිසි කලෙක සාධාරණ නොවනු ඇත. මේ විෂය ඊට වඩා සංකීර්ණය. එකී උමතුව කිසියම් භෞතික සාධකයක් උදෙසා වුව ද පැන නැගිය හැක.

එම නිසා පවසමි...

ප්‍රේමය වනාහි උමතුවකි. නහර ඇද්දුම් කවමින් හදවත කෑලි-කෑලි වලට පළා නැගෙන වේදනාවකි. එකී වේදනාවට ආත්මීය වශයෙන් ඇතිවන බැඳීමකි. ඇබ්බැහිවීමකි.

එක් විඩෙක ප්‍රේමය යනු, අලුත් කතාවක ආරම්භයකි. තවත් මොහොතක ආරම්භයක් හෝ නැති කතාවක අවසානයකි.

ඒ කෙසේ වෙතත් ප්‍රේමයේ සුලභතම ආකාරය වෘත්තයකි. එහි ආරම්භයක් නොවන්නා සේම අවසානයක් ද සොයා ගත නොහැකිය.

එනිසාම මම පවසමි...

ප්‍රේමය යනු, උමතුවකි! ඇබ්බැහිවීමකි! මළ විකාරයකි!

භාව
තිලංක තේනුවර
04. 06. 2019

Monday, June 3, 2019

දවුවාගේ උපන්දිනයට...

අහසෙ පුරවල තිබ්බ තරු ටික එකක් නෑරම හූරලා
රහසෙ ඩ්‍රෝවින් පොතක පිටුවක ගම් ටිකක් ගා අලවලා
විගසෙ හැදු සුභ පැතුම් පත උඹෙ උපන්දිනයම සිහිවෙලා
දවසෙ අද හම්බුනේ නැතිනම් කියාපං මට දවුසලා


 

Saturday, June 1, 2019

ප්‍රේම අවක්ශේපය...

දෙවරක් නොව කිහිප වතාවක්ම
නැවත නැවතත් පෙරා ගතිමි
හදවතේ නුඹ ගැනම වූ ප්‍රේමය
එකතු කොට බඩ බෝල ප්ලාස්කුවට
එතනෝල් සීයට තිස් අටක් සමග
කාබන් ඩයොක්සයිඩ අඹුල් රස ගැන්වූ ජලයද
සම ප්‍රමාණයන්ගෙන් ගෙන මිශ්‍ර කොට
ප්‍රවේසමට සොලවමින් සිතුවිලි ද්‍රාවණය
අනුමාපනය කලෙමි එක ගැම්මට...

ප්‍රතික්‍රියාවට සමානුපාතිකව
සිතුවිලි ද්‍රාවණය තුල වූ සියළු ප්‍රේමය
අවක්ශේප වූ බවට තහවුරු කර ගත්තෙමි
ආන්ත ලක්ශය පහු කරන විට
ද්‍රාවණය ලබාදුන් වර්ණ වෙනසින්...

තවත් තහවුරු කර ගනු වස්
ඉතුරු නොවූ බවට ඈ ගැන කිසිදු ආල හැගුමක්
අමුවෙන්ම කෑවෙමි
නිල් ලිට්මස් පත්‍ර අහුරක්...

කළඹගෙන ප්ලාස්කුව
ගොජ ගොජ සද්දෙට ප්‍රතික්‍රියා වූ ද්‍රාවණය
ප්ලාස්කු කටින් පැන්නේය එළියට
තබා එහිම ප්‍රේම අවක්ශේපය..

විඩෙක දියවෙමින්ද
තවත් විඩක අවක්ශේප වෙමින්ද
ප්‍රත්‍යාවර්ථ ප්‍රතික්‍රියාවක් ලෙසින්
පවතී ඈ නමට උපන් ප්‍රේමය
සදාතනික සිරකරුවකු කොට
ප්ලාස්කුව
සිතුවිලි ද්‍රාවණය තුල..

Friday, May 24, 2019

ඉතින් සොඳුරියෙ මෙයයි ඒ තැන...

එක්ව ගත කල මතකයන් වල
සුවඳ විතරක් අරන් දෝතට
යන්න ඈතට මගෙන් දුරකට
කඳුලු එක්කර රෑට පින්නට...

නුඹේ හදවත මගේ හදවත
ගැහෙන රිද්මයෙ නොමැති ගැලපුම
රල ගහන සිත් වලට ඉඩ දී
ගතින් ලංවී සොයනු හැකි වෙද...

ඉතින් සොඳුරියෙ මෙයයි ඒ තැන
අපේ කව ඉවරයක් වෙන තැන
නමක් නැති තේරුමක් දන්නැති
හැඟුම් එක්ක දුර නොයා ඉමු අපි

ඔහේ ලියමි...

බෙහෙතකට තරුවක්වත් නැති අමාවක රෑක
මෙලෝ ප්‍රාණියෙක් නැති පාළු පාරක් මැද්දෙ ඉදගෙන
ආසයි මට උඹට වෙරි වෙන්නම පොවන්න
ඊට පස්සෙ උඹත් එක්ක
සූස්තියක් අදින ගමන්
ඉර පායනකම්ම දොඩමළු වෙන්න...

මචං අහස,
මේ ලෝකෙ කොයී කාටත්ම වඩා
කියවන්න දේවල් ඇති නේද උඹට සිරාවට...

මොනා කරන්නද කරුමෙට
උඹත් ආවෙ සෙට් වෙන්න මරුම දවසක
අමාවක උනත් පෝය කොට
අරක්කු කොහෙ හොයන්නද රෑ දොළහට එකට....

Wednesday, April 17, 2019

දවසක් දා හවසක - වැස්ස සහ මම...

මම -

වැස්සකට පුළුවන් හදවතක් අවුලන්න
හිතේ අඩියක් නෑර මොහිතකින් පුච්චන්න
විරහ වේදනාවන් සිවු කොනම වපුරන්න
ඒ ලෙසින් ටිකෙන් ටික මිනිහෙක්ව මරවන්න...

වැස්ස -

වැස්සකට පුළුවන් හදවතක් සනසන්න
සෝ තැවුල් වේදනා සදහටම හෝදන්න
මියැදිච්ච හීන අංකුර වලට පණ දෙන්න
මහත්තයො පොඩ්ඩකට කුඩේ අකුලා ගන්න...


Tuesday, April 16, 2019

නුවර වැව ලග ඈත දවසක...

නුවර වැව ලග ඈත දවසක දෑත් පටලා
ස්නේහයෙන්
කවර දිනකත් වෙනස් නොවෙනට බැදුන මතකයී
ප්‍රේමයෙන්
නඹර තෙද බල නොමැති අද උව වාරුවී
පෙරදාක මෙන්
සසර ගමනින් යමන් මැණිකේ බරක් නෑ මට
උඹ ඉතින්


Friday, March 1, 2019

මිකියාට පිං පිණිස...

වෙලෙමින් දැවෙටෙමින් දෙපතුල ඉව කරමින්
බුරමින් කෙදිරිගාමින් උඩ පැන නටමින්
දුවමින් පෙරලෙමින් ගෙයි බඩු විසිරුවමින්
මොහොතින් නිදිමතෙන් උකුලට එයි වැනෙමින්...

වීදුරු බෝල වගෙ දිලිහෙන නෙතට හොරෙන්
කෝදුරුවෙකුත් මට ලංවෙනු කොහොම  ඉතින්
රෑ තරු සදක පාළුව මකනා විලසින්
පෑ වරු ගනන් තනි මැකුවා ලග රැදෙමින් ...

සෙනෙහෙන් ආදරෙන් අපෙ ජීවිත පුරවා
නටමින් හුරතලෙන් ගෙදරම හැඩි කෙරුවා
නොයපන් මායිමෙන් නෙත් මතකද කිවුවා
කියපන් ඇයි ඉතින් ගියෙ අපෙ හිත් මරවා...

ප.ලි -

තුරු පතක පිණි බිදක් බිමට බට විලසිනා
සරු මතක රැගෙන ඈ අපෙන් අද නික්මුනා
පෙරු කිරක දිය අතර වෙනස දත මොහොතිනා
මරු සැනෙක පලායයී නිවනෙ දොර හරිමිනා...


Wednesday, February 20, 2019

එතකල් මට කල් දෙන්න එපා පවූ නම් පිරෙන්න...

මොකද්ද යකෝ මේ කරගත්තෙ කියලා
බෙරිහන් දීල අහන්න හිතුනෙ දැක්කම
අච්චර දිගට තිවිච්ච කොණ්ඩෙ
තට්ටෙ පෑදෙන්නම බූ ගාල
ඔය කොණ්ඩෙට උඹ කොච්චර නම්
සාත්තු කරලද බලා ගත්තෙ
ශැම්පොද කන්ඩිශනර්ද විටමින්ද
නොකරපු සාත්තුවක් තියෙද කෙල්ලෙ ඕකට?

ඩෙනිමට ටී ශර්ට් එකට
තව උඹ ලස්සනයී ගවුමට
ඉදල හිටල ඇන්දත් සාරියට
එක වගේ ලස්සනයී පෙනුමයී සිරියාවට....

ඒත් අද ඒ සේරම උනා දාලා
කකුල් දෙකේ ඉදන් බෙල්ල ගාවටම වැහෙන්න
කහ සිවුරක් පොරවගෙන
තව ඒ පාටටම මහපු
මොකද්දෝ මන්ද මල්ලකුත් උරේ එල්ලගෙන...

කෝ අර වෙනද උඹේ අතේ තිවිච්ච
රෝස පාට හාවො අල්ලපු හෑන්ඩ් බෑග් එක?

මහණ වෙන්නෙ
සංසාරෙ කලකිරිච්ච් අය කියලයී
පොඩි කාලෙ ඉදලම මං අහල තීන්නෙ...
කියාපං කෙල්ලෙ
උඹට සංසාරෙ කල කිරෙන්න තරම්
මොකද්ද අපෙන් උන මදි පාඩුව?

අඩෝ මචං කියල කතා කරපු කටින්
හරිම නිවිච්ච කටහඩකින්
වෙනද කවදාවත්ම නැති විදිහට
මගේ නම කියල
උඹ කතා කරනකොට
අම්මප පපුව ඇවිලෙනව එක යායට
මහා මේරුව අපි අතරට ආව වගේ
පුදුමාකාර දුරස් බවක්
දැන් උඹේ වචන අස්සෙ හැංගිලා...

කොහොම කතාකරත් කමක් නෑ
මට උපාසක අම්ම කියනව හෙම නෙමේ
දෙන්නෙ ටොක්කක් ඔළුව හිල්වෙන්න...
ඒත් කොහොමද දෙයියනේ එහෙම කරන්නෙ
කොණ්ඩ ගහක්වත් නැති උඹෙ ඔළුව දකිද්දිත්
ආයෙ කදුලු උනනවා ඇස් දෙකට එක පෝලිමට...

තාමත් වෙනස් නොවිච්ච උඹෙ හිනාව
කොහොමද මයෙ අම්මා ගලප ගන්නෙ මේ සිවුරට
ඔහොම හිනා උනාට මුකුත් නෑ වගේ අද
මං දන්නව කෙල්ලෙ
උඹේ පපුවත් පිච්චෙනව ඇති මයේ ගානටම...

මේ අන්තිම වතාව
ආයෙ නෑ ඉතිං වාඩි වෙන්නෙ උඹ එක්ක එක බංකුවක
ඒව ඇකැපයිනෙ කෙල්ලෙ ගිහි අපිට
උඹේ හිත රිද්දන්න බැරි හින්දම
ඩිංගක් හිනා උනාට මං මෙහෙම
තාම තරහයි උඹ එක්ක ඇත්තටම
දාල යනවට මාව තනියෙන්
මේ ඉවරයක් නැති සංසාරෙ අතරමග...

හැමෝම කට පුරා
අපේ මෙහෙණින් වහන්සෙ කියල කිවුවට
තාම දිව නැමෙන්නෑ නෙවැ ඒකට...
වටේ පිටේ උන් ඉස්සරහ
අත් දෙක නලලෙ තියන්
දණ ගහල වැන්දට මොකෝ
ගන්නෙපා මේව සිරාවට...
අමතක කරන්නෙ කොහොමද කෙල්ලෙ මං
අපි කරපු පිස්සු වැඩ එකට ඉස්සර....

අනේ බුදු හාමුදුරුවනේ
පවක් නම් වෙන්නෙපාමං මේ හිතන ඒවට...
අද මෙහෙම සාසනේට ආවට මොකෝ
මට හිටපු හොදම යාළුව ඒකි කොට
යන්න දෙන්නෙ කොහොමද මෙහෙම එක පාරට...

ඊළග පාර කට්ටිය එක්ක
ආස්‍රමේට එනකොට උඹව බලන්න
හිත හදාගෙන එන්නම් මං
කට පුරා මෙහෙණි කියන්න...
අත් දෙක නලලෙ තියාගෙන
දණගහලත් වදින්නම්
අද වගේ නෙමේ
හිත පිරිච්ච භක්තියෙන්....

එතකල් මට කල් දෙන්න
එපා පවූ නම් පිරෙන්න
තරහකට කියන කරන දේවල් නෙමේ මේවා
උඹ දන්නවනෙ හොදටම
එහෙම තමයී ආදරේට...

 

Tuesday, February 19, 2019

පරදා බැතිය සිහිවේ මතකයට උනා...


පෙරදා කෝළ හැගුමන් කෙලි කවට සිනා
පරදා බැතිය සිහිවේ මතකයට උනා
හැරදා ගියත් තරහක් නෑ කියනු විනා
සැරදා බණිනු තහනම් උඹ මෙහෙණි උනා...



    

Wednesday, February 13, 2019

පුංචි සුරංගනාවිට අවුරුදු දෙකයී

සුමුදු මුදු මල් කැකුළු පූදින ඉරේ පැහැසර කිරණ වැටුනා
පළුදු කළුවර සළුව ඔත ඔත නිශා හැංගී ඈත ඇදුනා
එකදු මොහොතක් විඩා නොමගත් විහග ගී නද සවනෙ රැදුනා
සිනිදු සුසිනිදු විලස පවනිදු අහස පිරිමැද හිතේ එතුනා ...

අදින් හරියට වසර දෙකකට කලින් ඈ සුරගනක් විලසට
අරන් සිනහව සතුට සාමය එළිය එක්කම අපේ ගෙදරට
හෙමින් සුරතල් දෝණි මැකුවා පාළු විරහා දුක් වහලෙ යට
පතන් ආසිරි ලියන්නෙමි කවි පුතේ ලොකු මාමා දුරක සිට...

එපා පුපුරන ඉරේ ගින්දර වැටෙනු කිසිදින ඇගේ ලෝකෙට
සපා ලන මල් බඹර තුඩු අඹරනා ශක්තිය ලැබෙන් ඈ හට
නොපා කෝලය විදා ආලය සදේ ඈ ගෙන නුඹේ තුරුලට
පපා ස්නේහය සදා රැකගන් තාරකාවක් විලස අහසට...

Thursday, February 7, 2019

සසිරි වඩවන උපන්දින සුභ පැතුම එවුවා ඔතා කවියේ...

අසිරි මල් වැහි ඉහිරි ඉහිරී අරුණල්ල හැඩ කරන උදයේ
රුසිරි බර සුරලියන් වඩිතැයී බල බලා මල් කැකුළු පොරයේ
පැතිරි කූජන සරතැසම ලොව අමුතු මිහිරකි හිත වෙලූයේ
සසිරි වඩවන උපන්දින සුභ පැතුම එවුවා ඔතා කවියේ...

ප.ලි -

ඉස්සර වගේ දැන් බෑ කෙල්ලේ ඉන්න
විසි පහ උනා වයසයී උඹ දැන් ඔන්න
ගෙදරින් අල්ලලා උඹ බන්දල දෙන්න
නිළමෙක් හොයනවලු නුවරම වැඩ ඉන්න...

බඩ තඩි හතලිහත් පැන තව වයස ගිය
හිස කේ පැහුණු දත් ටික බොල්ලෑ හිටිය
හොටු පෙර පෙරා කාසෙයී සෙම දා හතිය
නිළමෙදු වඩී ඇම්බියුලන්ස් අසු පිටය...

අයියෝ කංචියේ වෙන්නට යන හදිය
නවතාලන්න නම් ඉක්මන් කල යුතුය
කොල්ලන් බලා ටෝකින් විතරක් මදිය
සෙට්වී හනික අපෙ පාටිය දිය යුතුය...

Monday, February 4, 2019

ගොරව ගොරවා වහින විටකදි කොළඹ අහසම කළු කරන්...

ගොරව ගොරවා වහින විටකදි කොළඹ අහසම කළු කරන්
පොරව පොරවා සෙටියෙ ගුලිවී ගෙදර ඉන්නට තිවුනන්
හරව හරවා හිතට බැට දෙන අතීතය හිත අඹරමින්
මරව මරවා  මතක අවුලයී ගන්න හුස්මත් විසයි දැන්...

විදුලි එළි නට නටා බෝඩිමෙ ජනේලයෙ මැවුවා රටා
සිතුලි ඒ රිද්මයට මුහුවී මැවුවෙ පාළුව හිත වටා
පැටලි පැටලී ජනෙල් පළුවෙන් ආපු සුළගේ කොහි සිටා
තැවිලි ලැතැවිලි ගෙනාවේ උඹ අරන් පලයං හනිකටා...

කඩින් කඩ විසිරෙනා හිරිකඩ උළුවස්සෙ උඩ කවුලුවෙන්
අඩින් අඩ ගත වෙලා ගද්දී සියොලගම හිරි වට්ටමින්
ගොඩින් ගොඩ ස්නේහයම තැවරුන සිනාවෙන් ගේ පුරවමින්
විඩින් විඩ වත් ඇවිත් යන්නකො තාත්තේ හීනෙන් ඉතින්...

Monday, January 28, 2019

සද උඹ හරිම කුප්පය...


සද උඹ හරිම කුප්පය...

ප්‍රේමයේ ළපල්ලක් ඉපදිච්ච පමණකින්
ගුණ කලා වැඩි කලා සිය දහස්වාරෙකින්
මතුවෙන්නෙ ඇයවමයි ආවාට පුරවමින්
අපූරුම වස්තුවක් සදේ උඹ නම් ඉතින්...

විරහවේ පුලිගුවක් ඇවිලිච්ච නිමේශෙන්
ගුණ කලා වැඩි කලා සිය දහස් වාරෙකින්
මතුකලේ ඇයවමයි කිරණ ගිනි දළු මතින්
සද තරම් කුප්ප නැත අහිමිපෙමවත් ඉතින්...

ඒකයි මිත්‍රයා මං කිවුවෙ උඹට
හද කියන්නේ
ගුණ කිරීම විතරක්ම දන්න
කැල්කියුලේටරේකට...

රළු පරළු කළු ගල් වලට...

රළු පරළු කළු ගල් වලට
සොදුරු සියුමැලි වෙන විදිහ
කියාදුන් දඩු අත් වලට
වාරු නෑ මගෙ දෝණි අද

මුදු වදන් වලට නොනැමෙනා පර්වත
කුළු පහර ඉල්ලා බලන් වැලපෙන අයුර
හැඩ වෙලා මට සිලුටු පිළිමයක් වෙන්නට
නොකිවුවට ආස ඇති උනුත් මතු දවසක..

හිත් පිත් නැතු උන්ට රළු වෙලා පුරුද්දට
මගෙ දෝණි වචන මගෙ උබේ හිත රිදෙවුවද
අප්පච්චිට ඕන කළුගලක් වගෙ මලක්
මහ පොළවෙ ඌස්නෙට වගෙම පිණි වැස්සටත් හැඩ ගැහුන කෙල්ලෙක්...

V- 2
රළු පරළු කළු ගල් වලට
සොදුරු සියුමැලි වෙන විදිහ
කියාදුන් දඩු අත් වලට
වාරු නෑ මගෙ දෝණි අද

මුදු වදන් වලට නොනැමෙනා පර්වත
කුළු පහර ඉල්ලා බලන් වැලපෙන අයුර
හැඩ වෙලා මට සිලුටු පිළිමයක් වෙන්නට
නොකිවුවට ආස ඇති උනුත් මතු දවසක..

හිත් පිත් නැති උන්ට රළු වෙලා පුරුද්දට
මගෙ දෝණි වචන මගෙ උබේ හිත රිදෙවුවද
අප්පච්චිට ඕන කළුගලක් වගෙ මලක්
බඹර තුඩු අඹරවන පෙති හයිය සියපතක්...

Saturday, January 19, 2019

Imaa's b'day

පින්න එක දෙක කපාගෙන ඉර හෙමි හෙමින් සිතිජයෙන් එබුනේ
අන්න බලපං වන්නමක හැඩ කැකුළු මල් සිප සුළග යන්නේ
පැන්න විතරයී උනත් විසි පහ සලෙලකම් දැන් නවත්තන්නේ
ඔන්න සුභ පැතුවා කවෙන් මා සොයුර සුමිතුර ජයම වෙන්නේ

Thursday, January 17, 2019

ප්‍රේමයම මනරම්...

නුඹ කෙරේ පපු තුරේ ප්‍රේමයම මනරම්
එති එතී එකතු වී ගොඩ ගැහෙන හැටි නම්
ගිලි ගිලී යලි මැවෙන මහ මුහුදෙ රල මෙන්
එරි එරී සන්තානෙ කිමිදයයී සැනෙකින්...

රැය පුරා දුටු හීන පොකුරු මිටි අතරින්
පෙර පෙරා හොයන්නේ නුඹේ රුවමයී දැන්
අපි අපේ වෙන හීන නැති උනත් හැබැහින්
පෙම් කරමි දුරින් ඉද ලං වෙන්න බැරිනම්...



   

ප්‍රේමයම කොතරම්...

නුඹ කෙරේ පපු තුරේ ආලයම කොතරම්
පෙරි පෙරී ගොඩ ගැහෙයි මටත් නෑ ඉඩ නම්
රළ වගේ වෙරළ දුටු සුසුම් නැති ඉවසුම්
ගොළු වෙලා ගිලුන හැටි ප්‍රේමිය දනී නම්...

සොදුර නුඹ ප්‍රේමයට නව අරුත් සොයාවී
මගෙ හිතේ දිග පළල ටිකෙන් ටික මනීවී
හිත පුරා සැරි සරන නුඹෙ රුවම දකීවී
මේක නම් පිස්සුවක් ආදරෙන් කියාවී...

හීනෙකින්වත් එහෙම නොවෙන බව ඇත්තයී
හැමදාක මගෙ හැගුම් නිහඩ බව සත්තයී
දුරින් ඉමි සොදුරියට සැපතනම් එයමයී
මිතුර තහනම් පෙමට නම් තබනු අකැපයී