සබඳ,
අතීතයේ යම් කිසි තැනැක
මට මා මග හැරී ඇත
මා ඉතා ආයාසයයෙන් පුරුදු පුහුණු කර
රක්ෂා කරගත්
මා නමට තිබූ වටිනාම දේපොළ
මාගේ ආත්මය
කොහේ හෝ තීර්ථයක
අනාථයකු විසින් අතැර දමන ලද
දොයිතුවේ කාසියක මෙන් අතුරුදන්ව ඇත
එය ජීවන වැලි කතර තුළ ගැඹුරටම කිමිදී
චායා මාත්‍රයකුදු ඉතුරු නොකරවමින්
සැඟව ගොසිනි
මිතුර
මම තවමත් කල්පනා කරමි
මා තුළ
මේ ලැගුම්ගත් ආගන්තුකයා
කවරෙක් දැයි කල්පනා කරමි
මේ නම් කිසි කලෙක මා විය නොහැක
විටෙක
ඔහු මා දෙස බලා ඔරවයි
තවත් විටෙක
බලා ගත් අතම බලාගෙන
මොන මොනාදෝ මුමුණමින් හිඳ
අහස දෙස බලා සිනාසෙයි
මට හැඟී ගිය ආකාරයට හේ
වැඩිමනක් කාලය ගත කරන්නේ
අහස දෙස බලාගෙනය
එසේත් නැති නම් අහස මූදේ එබෙන
මනඃ කල්පිත රේඛාව දෙස එබී ගෙනය
කාරණා ඒ ලෙසින් සමායෝජනය වන කල්හි
මහා භයානක කමකින් මා සිත පිරී යයි
හිතවත
මේ සිද්ධි වාචකය
කිසිසේත්ම ලඝු කොට ගත නොහැක්කකි
මා තුළ
මා
අතුරුදන් වී ඇත
ඉදින් මිත්‍රවරුනි
මම දැන් මාවම සොයා යා යුතුය
අතීතයේ මතක මං මාවත් දිගේ
ඉව අල්ලමින් ප්‍රවේශමට
මේ ගවේෂණය ආරම්භ කළ යුතුය
නැවත මට මා හමුවෙනා තුරු,
මිත්‍රයා ඔබට ජය!
භාව
තිලංක තේනුවර
26. 06. 2019
No comments:
Post a Comment