ඔබ අප හැරගිය ඒ මූසල දෙසැම්බරයේම අම්මා සමග තනියම ඔබේ සිහිනය ඔබ නැතිව සම්පූර්ණ කලෙමි.
මේ ගෙවුනු දෑ අවුරුද්ද තුල ඔබව සිහිපත් නොවුනු එකදු මොහොතක් හෝ නැති බවට හොදම සාක්ශිය තවමත් නොසිදුනු අම්මාගේ කදුළු උල්පතය.
ඇය අදත් හැඩුවේය. ඔබේ ඉංජිනේරු විද්‍යාර්ථී හීනය සැබෑ කරමින් උජාරුවය ලෝගුව දමා ගෙන සිවු අතම සිනහව බෙදනා මේ ඉලන්දාරියා දෙස බලා ඈ හැඩුවේය. ඇයට ඔබව මතක් වන්නට ඇත. ඇයට ඔබේ අඩුව වෙනදටත් වඩා අද තදට දැනෙන්නට ඇත. එකෙනෙහිම මේ ලෝගුව ගලවා විසි කරන්නට සිතුන වාර ගණන නම් අනන්තය.
එහෙත් කෙලෙසක නම් එසේ කරන්නද? මා මේ පළදාගෙන සිටින්නේ මම වෙනුවෙන් ඔබ දුටු අම්මා සම්පුර්ණ කල ඒ හීනයයී
මා ඇය සමග තනිව චායාරූප ගන්නාවිට " පුතේ තාත්තා ආවේ නැතිදැයී" අසන හිතවතුන්ගේ මවු පියන් හමුවේ ඇගේ මුව ගොළු විය. දෑස් කදුලෙන් තෙත් විය. මම එය දුටිමි. මා තරම් හොදින් දුක හංගා ගැනීමට ඇයට සමර්ථකමක් නැත. ඒ මොහොතට කුමක් හෝ විහිළුවක් කර ඇගේ සිත වෙනස් කරනු විනා මා හට කළ හැකි අන් දෙයක් නැත.
අද බොහෝ ළමුන් සිය මවූ පියන් සමග සෑහෙන්න සතුටකින්, උජාරුවට ජායාරූප ගත්තෝය. තවකෙකු සිය ලෝගුව සහ ගාලන්ඩ් මාලය තාත්තාටද අම්මාටද පළදා අනේකවිධ අයුරින් ජායාරූප ගත්තෝය.
මම සියල්ල නිහඩවම බලා සිටියෙම්. ඔබත් අද සිටියානම් මටද උන් මෙන් කරන්නට තිබුනා නොවේදැයී සිතමින් මම තනියම ලැතැවුනෙමි.
තාත්තේ ඔබේ වියෝව මා තුල ඇති කර ඇත්තේ ආත්මීය හිස්කමකි. ඔබ නොමැති තැන මේ ජයග්‍රහණයන් සියල්ලක්ම සිතට ගෙනෙන්නේ මහා කම්මැලිකමකි. මලානික හැගීමකි.
අම්මා සහ අයියාව වේලාසන පිටත් කර හැරියේද මේ නිසාය. මේ සතුට ඇතුලේ කොතිති ගසන වේදනාව අම්මාගේ දෑසින් මම දුටිමි. මෙතරම් මහා ජනකායක් මැද ඇයට අද බොහෝ තනියක් දැනෙන්නට ඇත.
ඔබ කොහේ හෝ සිට අප දෙස බලා සිටිනා බව මම දනිමි. සෙවනැල්ලක් මෙන් ජීවිතයේ සියළු තැන්හි ඔබ මා අසල හිදිනා බව මට දැනේ. දැන් ඔබ තව දුරටත් මම ගැන, අප ගැන සිතා විඩාපත් විය යුතු නැත. දැන් ඔබට විවේක ගත හැක. ඔබේ සහ අම්මාගේ සිහින සියල්ලක්ම යථාර්ථයක් කරන්නට දැන් ලොකු පුතාට හැකිය.එතෙක් එය කාලය සම්භන්ධ ගැටළුවක් පමණකි.
No comments:
Post a Comment