Friday, August 9, 2019

එකෝමත් එක දිනක සවසක උඹව දුටු හැටි පවසමී...


ඔහේ තනිවී කළුවරක හිද
ලොවට හොරැහින් මුමුණමී
එකෝමත් එක දිනක සවසක
උඹව දුටු හැටි පවසමී

හීන් වැස්සට ළපටි පිණි පොද
කුඩේ ඔස්සෙම සපැමිණී
බදා සිටියා නෑර සද වත
ඇයත් උන් හා හිනැහුනී

යනෙන වාහන වලම හැපි හැපි
විදුලි එළියෙන් ඔප උනී
ඇදෙස බලමින් බිදෙයි වැහි කැට
උන්ට පාරත් වැරදුනී...

ඉදල හිටලා බ්‍රේක් එළියට
රක්ත වර්ණෙන් හැඩ  උනී
යනෙන වාහන ඈව දුටු කල
යකඩ එංජින් හිර උනී...

පොළවෙ හැපි හැපි හඩන අහසට
පාට  හත කවලම් උනී
ඇගේ මදහස දේව දුන්නක
එතී අහසට යා උනී

සුළග හා පොර බදන මොහොතක
ක්‍රේල් කොන්ඩෙත් වද දුනී
දෙතොල් ලංකර පිඹපු හැටියෙම
කෙහෙරැල්ල දමනය උනී

වැස්ස සුළගද විදුලි එළියද
එක්වරම මග හිට උනී
කාල ඝටිකා ලොවද සේරොම
තත්පරේකට නැවතුනී

මාලිමාවක් උවද එවෙලේ
අතරමං වෙයි නිසැකෙනී
තාරුකා එළි වගේ ලස්සන
දෙනෙත් මා වෙත කැරකුනී

අහෝ හිතවත් රාත්‍රිය උඹ
කොහිද එකවර සැග උනී
පැමිණ හනිකට වෙලා ගන් මා
හොරය ඈ හට අසු උනී

නිමේශයකට අහක බලලා
ආයෙ මදෙසට කැරකුනී
ඇහැක් ගසලා සිනාසෙයී ඈ
හදේ ගැස්මත් නැවතුනී

කොහෙන් දෝ ආ රෝද හතරක්
ඈ සමීපෙම නැවතුනී
අත වනා සමුගන්න අවසර
පතන බැල්මක් එහි උනී

අකුණු සරකින් එළිය වූ ලොව
ඇගේ වත පැහැදිලි උනී
මගේ දෙස ඇස් ඔබා ගෙන හිද
අනේ  කුමරිය නික්මුණී

කුමක් වී දැයී සිතා ගනු බැරි
අමුතු මොහොතක තනි උනී
හිතේ ගැඹුරින් මොකෙක් දෝ
මොර ගහන හඩ නම් රැවූ දුනී

ඉපිද මොහොතින් අතුරුදන් වූ
සොදුරු හීනෙන් නික්මෙමී
හෙටත් හරියට හවස හතටම
නැවත මෙතැනට මම එමී....

No comments:

Post a Comment