Sunday, November 26, 2023

Happy birthday Amma ❤️

සුභ උපන්දිනයක් අම්මා !


තාමත් ඉඳ හිටක ඔළුව බර වෙලාවට

මතක් වෙන්නෙම නිතර ඔබේ ඇකයේ සුවය

ඇඟිලි තුඩු කොනහමින් පිරි මදිද්දී ඔළුව

ඒ තරම් නිදහසක් කොහෙද අම්මේ මෙ මට !


කුස්සියේ උයන කොට වරු ගණන් කියවීම

දවසේ රපෝර්තුව එක්ක හිත හේදීම

තේ එකද කෑම එක අත ළඟට පැමිණීම

මිස් වෙනව කොළඹ නැහැ අම්මගේ සැළකීම !


අපරිමිත ස්නේහයට එකම එක නිදසුන

අම්මා තමයි ඒ ප්‍රේමයේ සළකුණ

ජීවිතේ ජීවය පිඹින ගෙයි මුලසුන

ආදරෙයී පැලෙන්නට මගෙ ලොවේ පුදසුන !


තිලංක තේනුවර

නොවැම්බර් 27

, සඳුදා

මහ ගෙදර




Wednesday, November 22, 2023

ඉතින් ඔබට ආදරෙයී නොකියා මම තව වෙන මොනව කියන්නද?





නොකියාම ඇවිදින්
නොකියාම නික්මයන
හරියකට නිච්චි නැති බැඳීමක
සළකුණු කොටා පපුව මත,

සමහර හමුවීම් තියෙනවා - ජීවිතේ
වරක් පමණක් උනත්
මහා ලොකු හිඩැසක් 
හදවතේ ඉතුරු කර යන !

කාලයක් යද්දි බලා ඉද්දිම
මේ හිඩැස් පිරෙනවා ඉබේටම
ඒ මුණගැහුනු උන්ගේ අවශේෂ
නිර්මාණය කරනවා අපිව ආයෙම !

විශ්වාස කරන්න මිත්‍රයා
වර්ථමාන උඹ සහ මම කියන්නෙම
එහෙවූ මායාකාරී හමුවීම් වල
සම්ප්‍රයුක්තයක් තනිකරම !

යුගයෙන් යුගයට
සුන්දරම මතක දී නික්මුණ
ප්‍රේමණීය මිනුසුනේ
ඉතින් ඔබට ආදරෙයී නොකියා
මම තව වෙන මොනව කියන්නද?

තිලංක තේනුවර
නොවැම්බර් 22, බදාදා 2023

Saturday, November 18, 2023

වැව රවුම ලඟ තනිය නෑ අද - නුවර අහසම හඬනවා...



අදත් ඉඳහිට මතක් වෙනකොට

පපුව හයියෙන් රිදෙනවා

දුරක ඈතක මඟ නතර කල

අපේ ප්‍රේමය දැනෙනවා...


තාම තනිකඩ වෙන්න හේතුව

උඹමදැයි මට හිතෙනවා

යන්න දුන්නට තවම ලෝබයී

මතක රහසෙන් ඉඹිනවා...


අහම්බෙන් මුත් දකින මොහොතක

තවම හදවත නටනවා

කිරි සුවඳ මැද සුව ලබනු දැක

ආයෙ මම මඟ හැරෙනවා...


සුබ පැතුම් කවි ලියා දහසක්

සුළඟටම විසි කරනවා

වැව රවුම ලඟ තනිය නෑ අද

නුවර අහසම හඬනවා !


තිලංක තේනුවර

නොවැම්බර් 18 ඉරිදා, 2023

නුවර අහස යට නෙමෙයී...

Thursday, September 28, 2023

Janiya's farewell ✍️💐

ප්‍රිය මිතුර,
ඉදින් නුඹෙ දිවි අඹර
නැතිව දුක් කරදර
වේවා සුමට සුකුමර !

දිවිය ජය වේවා
ගමන සුබ වේවා
මතු දිනෙක නැවත අපි
යළිදු හමු වේවා !

දුකින් කවි නොලියමි
සතුට පමණක් පතමි
බැඳි සොයුරුදම් අපේ
අකාලික බව කියමි !

ජය ! සතුට ! සාමය !
ඉස්සරහටම පලයං ජනියා,
ආදරෙන් තිලා!
    

Monday, September 25, 2023

Just Typing

බේරේ වැවට බිලී කොක්කක් දමා
අල්ලා ගතිමි අහඹුලෙස 
හොඳින් මේරූ ඉස්සන් පහ හයක්...

ඩයී දමා අලංකාර කල
ඉන්දියාවෙන් ගෙනා මයිසූර් පරිප්පු
ග්‍රෑම් සීයක් ගෙන පාට යන්නට හෝදා
අන්තිමට ඉතුරු වූ
පරිප්පු යැයී නාමයක්වත් නොගෑවුනු
හඳුනා නොගත් ද්‍රව්‍ය සියල්ලම වංගෙඩියට දමා
මෝල් ගහෙන් වැර යොදා පහර දී
සුන්නද්දූලි වූ පසුව
අනන් මනන් සියල්ල කවලම් කර
වඩයක් හැටියට රූපය සකසා
දුම් පිඹිනා දර ලිපේ ගිනියමට රත් වූ
යකඩ තෙල් තාච්චිය මතට දැම්මෙමි
ඉස්සන් පහ හයම එහි අලවා...

මේ කර වෙන්න බැදුනු පිවිතුරු ඉස්සො වඩේ එක 
ඇත්තමයී රිසිනි හැදුවෙ ඔයාට
තරහ අවසර, අපි දැන් යාළුයී නේද?

    

Saturday, September 23, 2023

මැදැයී ඔය උඹ තනි උනා !

බීර වීදුරුවකින්
ගිලිහී වැටුනු පිණි බිංදු කීපයකින්
මේසය මත ඇඳුනු බලි කුරුටුවක
පුනරාවර්ථනය වෙයී
නොස්ටැල්ජික අතීතය !

සියුම් ලෙස සවන් සිපගනිමින්
පසු බිමෙන් ඇහෙන මායාකාරී සංගීතයට 
අනුනාද වෙමින් එහා මෙහා දුවන ඒ පිණි බිංදු
ජීවිතේ එක එක පරිච්චේද වල කාලාවකාශයක
රූප රාමු නිරූපණය කරයී නෙක !

ප්‍රේමය ගැන නම් චිත්‍රපට තවත් එපා
කියූ හින්දාම වෙන්නැති
සැනින් බොඳ වුනේ ඔබෙ රුවත්
ජීවිතේ මට හමු උනු
ප්‍රේමණීයම මිනිසුන් ගේ ලැයිස්තුවෙන් !

දැන් නම් මේ මතක වේදිකාව හරිම හිස්
බීර කඳුළු මත පෙරලෙමින්
දෑත් ඔළුවේ තබාගෙන
ඉබා ගාතේ දුවමින් පවසයී
හඳුනා ගත නොහැකි ඉලන්දාරියෙක් !

ඔහුගෙ මුහුණත් මගේ මුහුණත්
සමපාත උනු අහඹු මොහොතෙ දි
එකිනෙකට ඇස් හමු උණා
ඒ දෑස් වල තිබුණු ලඟ බව
නිසා හදවත ගැස්සුනා !

වැරෙන් කම්මුලට පහරක්
දෙමින් ඒ රුව දිය උනා
අන්තිමට කියු වචන ටික නම්
පපුව හූරන් කිමිදුනා !

උඹට අමතක උඹ තමයී මම
ඔරලෝසුවට මං යට උනා
නැගිටපන් දැන් වත් ඉතින් හා
මැදැයී ඔය උඹ තනි උනා !

තිලංක තේනුවර
සැප්තැම්බර් 22 සිකුරාදා , 2023
ආකාස භවන බැල්කනිය

Friday, August 18, 2023

දන්නෙ කීපයයී - උනුත් හරි අසරණයී !


බොහෝ පාටින් හැඩ උනත්
මේ ගෙවෙන හැන්දෑවන්
බොහෝ රළුයී - වෙහෙසකරයී !

දාහය නිවායන සුළං පහරක් උනත්
හිරි ගඩු නිවෙන මොහොතෙදි
ඇඟට හරි බරයී - කර්කෂයී !

කොයිතරම් ගැඹුරට හෑරුනා උනත්
හිතක් හිස් කරන විට
ඒ හිස් බව හරිම ප්‍රේමණීයයී - මේ ඇත්තමයී !

වැවූ තාවුල්ල මත හුඟක් හිත නිවෙනවා කීවට
බිඳුනු හිත් මැරි මැරී උපදිනවා
දන්නෙ කීපයයී - උනුත් හරි අසරණයී !

-තිලංක තේනුවර-
අගෝස්තු 18 සිකුරාදා , 2023
පරාක්‍රම සමුද්‍ර තාවුල්ල

Sunday, August 13, 2023

අහම්බ !



මා ජීවිතේ අහම්බයන් 
විශ්වාස කරනා මනුස්සයෙක්මි !

බැලූ බැල්මට නොපෙනුනත්
සෑම අහම්බයකටම ද
හේතුවක් ඇති බවත්
එකී අහම්බයන් ජීවිතයේ යුග
නිර්මාණය කරන බවත් දනිමි !

අහම්බයකින් හමු වූ මිනිසුන් මෙන්ම
අහම්බයෙන් සිදු වූ බොහෝ සංසිද්ධි වලින්ද
පෝශණය වූ ජීවිතය දෙස බැලූ විට
මේවා තව දුරටත් අහම්බ ම දැයී
මා මගෙන්ම ප්‍රශ්ණ කෙරූ වාර අනන්ත ය !

අගක් මුලක් තෝරා බේරා ගත නොහැකි තැන
මේ අහම්බයන් සියල්ල
මායාකාරී සංසිද්ධියක් ලෙස ලඝු කොට
සදාකාලික අභිරහස් ලේබලය අලවා
පසු අධ්‍යනය සඳහා වසා තැබී මි !

අහම්බයන් ගැන කතා කරන විට
ඔබ ගැන නිරායාසයෙන් මතක් වීම නම්
තවදුරටත් අහම්බයක් නොවන බව ප්‍රත්‍යක්ෂය!

මා ජීවිතයේ ප්‍රේමණීයම යුගය
නිර්මාණය කල කලාකාරිනිය
කිසිසේත්ම හුදු අහම්බයක් විය නොහැක !

එනිසා බොහෝ සේ කල්පනා කර - ඈ
කිසියම් ගුප්ත මැජික් බලයක් හිමි
දිලිසෙන තටු සහිත සුරංගනාවක් ලෙසින් නම් කොට
සදාකාලික ප්‍රේමය ලේබලය අලවා
පසු ආවර්ජනයන් සඳහා නිධන් කර තැබී මි !

-තිලංක තේනුවර-
අගෝස්තු 13 ඉරිදා , 2023

Tuesday, July 11, 2023

ඔයත් හිටිය නම් මෙතන මගෙ ජීවිතෙත් තාම එළිය යි...!!!


අයිස් කැට දෙක යි
විස්කි මිලි ලීටර තිහ යි
වීදුරුවෙ භාගෙ කට්ටෙට
සෝඩා තව චුට්ටක් මදි යි!

හැත්තෑවෙ සිංදු සෙට් එක
එකොස්ටික් සංගීතය
ඇල්කොහොලුත් මත් වෙන්නෙ
ජෝති කපුගේ බැස්සම යි එළියට!

ලා මඩ පාට ටංග්ස්ටන් බල්බ
අදුරු මුළු එළි කරමින් ගැස්සෙ යි
මේ ජර මර අස්සේ මැවෙන
ඔබේ රුව දැක මා තිගැස්සෙ යි!

හදවතේ මිලියක්වත් අත නෑර
ආදරෙන් පුරවපු විදිහ ඔබ පුදුම යි
මේ තරම් විරහවක් දීලත්
වෛරයක් ගෑවිලා නැත්තෙවත් ඒක යි!

දැන් පොඩ්ඩක් නටන්න ඕනෙ මට
රාත්‍රිය තාම තරුණ යි
ඔයත් හිටිය නම් මෙතන
මගෙ ජීවිතෙත් තාම එළිය යි...!!!

තිලංක තේනුවර
ජූලි 11, 2023 බොරලැස්ගමුව 1979
සිංහල ග්‍රැමර් සහය - Tharaka Samman

Saturday, June 10, 2023

දරාගන්නත් බැරිය විටෙක මේ තනිවීම !


ලියන්නට හදනවිට අකුරු අමතක වීම
හේතුවද හිතෙනවා හදවතම හිස්වීම
විස්වාස කල නොහැකි ඔබගෙ ඒ නික්මීම
දරාගන්නත් බැරිය විටෙක මේ තනිවීම !

තිලංක තේනුවර
ජූනි 9 සිකුරාදා , 2023

Thursday, June 8, 2023

ඈ තමා ප්‍රේමයෙන් ගැබ්බර සුන්දරම නුවර අහස !


හිටපු ගමන්
ඔහේ කඩා ගෙන වැටෙන
ඈ තමා 
අප්‍රමාණික ප්‍රේමයෙන් ගැබ්බර
සුන්දරම නුවර අහස...

පතොක් මල් වලට විතරක්ම
පිපෙන්නට අවසර
මා තමා
කාශ්ඨක ප්‍රේමයෙන් ඔත්පල
යාල්පානම් පොළව...

හිටපු ගමන්
යාය පිටින් ඔහේ ඇවිළී යන
ඈ තමා
උග්‍ර රෝමාන්තික බවේ 
සියුමැළිම ගිනි පුපුර...

විටෙක ගිනි නිවන
විටෙක ගිනි අවූළුවන
මා තමා - ඈ කියපු විදිහට
අධි මාත්‍රික ප්‍රේමයෙන්
දිශා මාරු උන උතුරු සුළඟ...

-තිලංක තේනුවර-
ජුනි 8 බ්‍රහස්පතින්දා, 2023

Tuesday, June 6, 2023

සදාකල් හීනයක ඒ නිසා කල් ගෙවමි...


ඔබ ඔබම නොවී 
මමද මම නොවී
හමු වෙමුද මොහොතකට
එකම එක හවසක...

මැණික යැයී නොකියමි
පෙමින් බස් නොදොඩමි
ඒ නමුත් තරයේම
වැළඳ ගෙන හිස සිඹිමි...

බර ඔළුව හකුළලා
දෑත් මත ඔබෙ තබමි
සියුම් රතැඟිලි අතර
ස්වකීයව සිර වෙමි...

ප්‍රේමය නො ඉල්ලමි
රිදුනු බව නොකියමි
උණු කඳුළු කඳු වලට
නොලිහෙන්න වැට බඳිමි...

සඳක්වන් මුහුණතේ
සිනහවක මුල් සොයමි
ගැඹුරු නිල් දෙනෙත් වල
ගිලී නින්දක් පතමි...

ඇහැරිච්ච වෙලාවක
සමු ගන්න බව දනිමි
සදාකල් හීනයක
ඒ නිසා කල් ගෙවමි...

-තිලංක තේනුවර-
අඟහරුවාදා ජූනි 06, 2023

(චායාරූපය ෆේස් බුක් අඩවියෙ
න්. හිමි කම් මුල් අයිති කරු සතුය)

Monday, May 15, 2023

මිත්‍රයා උඹට මම ඉන්නවා !

නිමාවක් නැති යුද්ධ ජීවිතේ එමටයී
ඒ සටන් මැද දිනෙක තනි වීම උරුමයී...

කිසිවෙකුට නොතේරෙන දුක හරිම රුදුරුයී
වේදනා පිච්චුවේ දුම් දමන කඳුළුයී...

උඹ වගෙම ඒ පාරෙ බඩ ගෑව මතකයී
මට උඹව තේරෙනව කියන්නෙම ඒකයී...

පපුව හිර වෙන තරම් මේ ප්‍රශ්ණ නපුරුයී
කියාපන් අහන්නම් මට මේව පුරුදුයී...

මිත්‍රයා උඹට මම ඉන්නවා !

We all fight our own wars in this journey of life. There are times where we feel that no one in the world understand our struggles other than ourselves. When that happens it's innavitable to avoid feeling desperately alone and down.

What I want to say is that I've taken the same path as you are and I know how it's like to feel broken and left behind.

I may be still figuring out how to fight my own wars, yet I want you to know that eventhough I can't provide exact solutions to your situations, I can be the listener you seek !

Cheer up ! You are not alone ! 

#motivationthila #forallbeautifullsouls #මිනිස්සුහරිලස්සනයී ❤️

Sunday, May 14, 2023

අමතන්න ඔහුට - ඒ මම...


ඉබා ගාතේ යන වැහි මන්දාරමක් යටින්
තෙමි තෙමී කුඩයකුත් නැතිව
අහස දිහා විතරක්ම බලාගෙන 
ඔහේ ඇවිදින්නෙකු දුටුවොතින්
අමතන්න ඔහුට - ඒ මම...

කාශ්ටක අවූවට
කෑලි වලට පොළොව පැලී උණුවෙද්දි
රත් වී දුම් දමන තාර කට්ට වල පුළුටු සුවඳ
ඔහේ ඉව කරමින් ඇවිදින්නෙක් දුටුවොත්
අමතන්න ඔහුට - ඒ මම...

උදේ පාන්දර රාජකාරියට ප්‍රමාද වූ
ලහි ලහියේ වැඩට දුවන නෝනා මහත්වරු අතරේ
පාර අයිනේ තාප්පවල - වැටවල්වල
පිපුනු කැලෑ මල් සුවඳ ඉවකරමින් - ඇවිදින්නෙක් දුටුවොත්
අමතන්න ඔහුට - ඒ මම....

සඳ අතුරුදන් වූ
ඝණ කළුවර රාත්‍රියකත්
හීනියට හෝ දිලෙන තාරුකා එළියක් සොයමින්
අහස දිහා බලාගෙන ඇවිදින්නෙක් දුටුවොත්
අමතන්න ඔහුට - ඒ මම....

තිලංක තේනුවර
ඉරිදා , මැයී 14 , 2023

Tuesday, April 18, 2023

ගහක අයිතිවාසිකම...

 


උර උරා සාරය පොළෝ ගැබ විදලා
ඉර ඉරා අවකාසෙ සරුවටම වැඩිලා
සැරි සරා එන සුළන් රැල්ලකට කියලා
මල් දරා ඵල දියන් උඹ මදිද හැදිලා...

පරාගනෙ වෙන එක නොවෙන එක
අයිතියක් විය යුතුම මලෙක
ඵල දරන එක හෝ නොදරන එක
ඉඳුරාම අයිතියකි ගසක...

පොරෝ තල අමෝරා බිම්බරක් මාර සේනා
මහා වෘක්ශයක් වට කර ඵල තවම නොදෙනා
එහි සෙවනේම ලැග  පවත්වා සම්මුති ගායනා
සිඳ ලන්නට මුලින් උදුරා ලංසු කැඳ වන්නා...

අරටුවත් පෑරෙන ඒ රළු වදන් නෑසුනා සේ ඉවසා
පතරංග අතු රිකිලි ලිහිල් කර වරක් ගස්සා
කඳ වටේ එතී හුන් ඵල බරිත වැලක සුව විමසා
දිගු සුසුමක් හෙලනා ගමන් ඔක්සිජන් අහුරක්ම ඉස්සා...


තිලංක තේනුවර
අප්‍රේල් 18 අඟහරුවාදා , 2023

Monday, April 17, 2023

අහසක් උනත් කළු වෙනවා විඩින් විඩ...

 අහසක් උනත් කළු වෙනවා විඩින් විඩ

පොළොවක් උනත් ඉරි තැලුනම වැඩියී හැඩ

සයුරක් කියන්නෙම එකමුතු රළයී සැඩ

කවියෙක් මරනු බැහැ ප්‍රේමිය විද උණ්ඩ...


-තිලංක තේනුවර-


ප්‍රේමය දරාගනු බැරි තැන විශ වෙනවා

තේරුම් ගන්න බැරි අය වෙන් වී යනවා

කවියෙකු පෙම නිසා දවසක පරදිනවා

විරහව උණ්ඩ වී කවියා මරවනවා...


අහසක් උහුලගෙන ප්‍රේමය පුදනු හැකී

පොළොවක් හැරෙන්නට කවුරුද සමත් සකී

කවියෙක් දරා ගන්නත් හැමටම නොහැකී

මුහුදක ගැඹුර ළඟ පහුරක් විහිළුවකී...

Tuesday, March 28, 2023

උග්‍ර ලෙස රෝමාන්තික හදවතක්...


උග්‍ර ලෙස රෝමාන්තික හදවතක්
තනා ප්‍රේමයට විසල් පාරාදීසයක්
තනිවී සුසුම්ලයී කෙලවරෙක - එහිම
නික්ම ගිය නිසා සොඳුරිය - පෙර දිනෙක
ඉතුරු කර තබා බිහිසුණුම විරහවක්...

මල් පිපී ඇත තාම - සමනල්ලු සැරි සරති
පිටතින් බැලූ කල තාමත් ප්‍රේම මධු ඉතිරෙති
සැලුන් දොර හැර වන්දනා නඩත් මෙහි පැමිණෙති
ගිමන් හැර සාධු කාර දී එහෙම
සැනෙන් නික්ම යති - අමු සොහොන නොදකිති...

ඉඳහිටකදී හමන සුළඟක් - මේ ක්ශේම භූමිය දැක
වැරෙන් පහරක් දී කම්මුලට - දීර්ඝ නිද්‍රාව බිඳියී
උඹ කොතරම් රෝමාන්තිකද මිනිහෙක්ද?
ප්‍රශ්ණාර්ථයකින් හේ විමසයී...

නෙද්දකින් විතරක්,

සුවඳ හඳුනන උඹත් මේ පෙරිනියල් බව නොදකියී
මීතේන් අධික පොළොවක් ප්‍රේම මල් පූදින්න අකැපයී
උග්‍ර ලෙස රෝමාන්තික ප්‍රේමය විශ වූ නිසා
මං දැන්  මාරාන්තික විය හැකියී !

-තිලංක තේනුවර-
මාර්තු 28 අඟහරුවාදා , 2023


    

Saturday, March 18, 2023

ප්‍රේමයේ වඩිය...


ප්‍රවේශමට තෝරා බේරා ගෙන
සූදානම් කර ඇවැසි අමුද්‍රව්‍ය
දෙවරක් නොව කිහිප වරක් පෙරා
ඉවත් කර සියලු අපද්‍රව්‍ය
සකසා ගතිමි මේ ප්‍රේමයේ වඩිය...

කිහිප වරක් පළුදු වූව ද
කිහිප තැනකින් කාන්දු වූව ද
තාමත් ප්‍රේමයක් පෙරාගන්නට
උඳුනට බයක් නැත - වේදනා කිසිත් නැත
තරමක් බිඳුනත් මේ ඉපැරණි බඳුන...

කැමැති අයෙක් වෙතොත් විමසන්න
මේ පිරිසිදු ප්‍රේම වඩිය ම නොමිලේ 
ඔබට ලබා දෙමි - නමුත්
හිත හොඳ නෝනාවරුනි - බඳුන
ඇති හැටියෙන් ම තබා යන්නේ නම් යෙහෙකි...

තිලංක තේනුවර
මාර්තු 18 සෙනසුරාදා , 2023
ගල්කිස්ස වෙරළ තීරයේ ඉස්ටේසමේ - ඔළුවෙන් හිටගෙන

Saturday, March 11, 2023

අයිස් කැට දෙකයී විසිකි වීදුරුවකට පදම - ඒ ඇතියී...


අයිස් කැට දෙකයී
විසිකි වීදුරුවකට පදම - ඒ ඇතියී
මුළු කතාවම කියන්නට නම්
මේ රාත්‍රියත් බෝතලුත්
දෙකම මදිවෙනවා විස්වාසයී...

සෑම හමුවීමකම කෙලෙවර
වෙන්වීමක් ලියූවේ කවුරුද
සදාතනික යැයී හිතා සිටි ප්‍රේමයක්
මගින් අවසන් කලොත් කොහොමද?

මහාමේරුව උනත් හිතකට
ඒ වේදෙනා නම් හරි බරයි - කැක්කුමයී
කඳුළක ලිංග භේදය හොයන ලෝකෙක
මං හරි අසරණයී - මේ ඇත්තමයී...

බයිට් එකට එක හැඳැල්ලෙක් ඇති
මෙතනින් මේ කතාව නිමයී - ස්ථාවරයී
ඇල්කොහොල් වලට පුළුවන්නම්
ප්‍රේමයක වේදනා හෝදන්න
වකුගඩුත් ඇඹරෙනව මිත්‍රයා - අක්මාව කපෝතියී...

-තිලංක තේනුවර-
මාර්තු 11 සෙනසුරාදා, 2023 , වස්ති ඒක බාර් - තාම කකුල් දෙකෙන් හිටගෙන

Friday, March 10, 2023

ජීවිතේටම වරක් පමණක්ම පූදින - මලක් දෝ කියා හිතෙනවා ප්‍රේමය !



ආදරේ නෙක වර්ණ හදවතේ තවරලා
ප්‍රේමයක දිග පළල මෘදුව තේරුම් කලා
පිරිමි හිත් දිය කරන වස්සානෙ කැන්දලා
මට මාව අහිමිවෙන තැනක ඈ නික්මිලා...

ජීවිතේකට වරක් පමණක්ම පූදින
මලක් දෝ කියන් ප්‍රේමයත් යෞවන
ඇදුම් දෙන රිදුම් කන මතකයන් අපමණ
තරහ නෑ ඒ තමයී කවි හිතට ඉන්ධන...

තිලංක තේනුවර
මාර්තු 10 සිකුරාදා , 2023

Wednesday, March 8, 2023

මේ කවිය ඒ උතුම් ගැහැණුන්ට පිරිමින්ට පෙම් කරපු - ගොඩ දාපු !



වැටුනු තැන් වල දි ජීවිතේ
නැගිටින්න වාරු දී ළඟ ඉඳපු

රිදුනු තැන් සෙනෙහසින් පිරිමැද
වේදනා ගිලිමින් මදහස දීපු

හිස් තැන් නොවෙන්නට හදවතේ
ප්‍රේමයම දොව දොවා පුරවාපු

මේ කවිය ඒ උතුම් ගැහැණුන්ට
පිරිමින්ට පෙම් කරපු - ගොඩ දාපු !

තිලංක තේනුවර
මාර්තු 8 බදාදා , 2023

Monday, March 6, 2023

ඉතින් කන්ථක...




ඉතින් කන්ථක,

නේරංජනා ඉවුරෙන්
සිදුහත් එතෙර වූ සොවට
පපුව දෙපළු වී මිය යන්න
කෙතරම් නම් වේදනාවක්
දැනෙන්න ඇතිද උඹට?

පපුව පැළිලත් කෑලි වලට
අණ්ඩ දා ගෙන හදවතට
තාමත් හුස්ම ගන්නවලු අරහෙ යශෝධරා
කඳුලක් වත් නොහෙලා - තනියම
මැරෙන්න බැරි නිසා දරුවත් එක්ක...

යශෝධරා ලා තමයී
ලෝකයක් හදවතේ දරාගෙන
සුවහසක් වේදනා ඉවසගෙන
සසරින් එතෙර කලේ පිරිමින් ව
දන්නවද නේද කන්ථක?

මම නේරංජනා ගඟ.
තිලංක තේනුවර
මාර්තු 6 සඳුදා , 2023

Friday, March 3, 2023

රිදුම් ගිලිමින් සිනහ පෑවෙක් තමයී දන්නේ ගැඹුර ප්‍රේමෙත්...



අමාවක රෑ නැතිව තරුවක්
මුහුද මැදකදි රුවල් බිඳුනත්
හබල ගෙන වෙරලක් සෙවූවෙක්
තමයී දන්නේ අඳුරෙ ගැඹුරත්...

හෙමින් හා උණු දරුණු කැපුමක්
කොනහමින් පාරවන විටෙකත්
රිදුම් ගිලිමින් සිනහ පෑවෙක්
තමයී දන්නේ ගැඹුර ප්‍රේමෙත්...

තිලංක තේනුවර
මාර්තු 03 සිකුරාදා, 2023
  

Wednesday, March 1, 2023

ප්‍රේමයේ නදිය මග...



ප්‍රේමයේ නදිය මග
නැංගුරම් ලා හිඳිමි
උඩු ගං බලා ගිය
උඹ කොහේදැයි සොයමි...

අතීතයෙ නටඹුනුත්
අත වනන හැටි දුටුමි
වරක් අඬ ගසාපන්
මේ ගඟම හිස් කරමි...

තිලංක තේනුවර
මාර්තු 01 බදාදා , 2023

Friday, February 24, 2023

ගැබක් එක්ක ඈ සුර ලොව යන්න ගියා...




සියක් මකරන්ධ උදුරා කෙවෙනි මුලින්
මලක් විසිකරා සුළඟට කඳුළු බොමින්
හුඟක් ඉරුනු පෙත්තක ලේ වගුරුවමින්
කවක් ලියා තිබුණා මිය යන්න කලින්...

පෙමක් දරා මල් පාවඩ හිතේ දරන්
රැයක් ගෙවුනි බඹසර අඳුරේම බිඳන්
ඵලක් දරනු බැරි තැන මුල් අහිමි කරන්
කුමක් කරමි යමු පුත ස්වර්ගයම හොයන්...

තිලංක තේනුවර
පෙබරවාරි 24 සිකුරාදා, 2023

පසුව ලියමි - 

තල් අරණේ මල් මැරුණේ යුද්ධයෙන් විතරද?

යුද්ධය නිමා කොට ජාතීන් සමඟි කරනු වස්, වසර දෙදහස් පන්සීයක අභිමානයෙන් විළි රුදා දී ජාතක කලා වූ සිය පුරිශෝත්තම අවිය ආදරේ මාත්තු කල වෙඩි උණ්ඩ වලින් පුරවා හතර අත වෙඩි වරුසා පතිත කොට අවසානයේ පාර්වතී නම් ත්‍රස්ත වාදිනිය දමනය කලා වූ ඒ මහා අමන තිරිසනාට සාප කොට සහ,

තල් කොළ හෙවෙලි කල, මැටි වරිච්චියෙන් හැඩ උන කළුවර කාමරයේ බාල්කයක සාරි පොටෙකින් එල්ලී කිරි සුවඳ දෝතින්ම දරා ස්වර්ගය අතික්‍රමණය කලා වූ පාර්වතී නම් අහිංසකාවියට පිං පිණිස.

    

Monday, February 20, 2023

ඇගේ එක සිනහවක් ඇති...



ඇගේ එක සිනහවක් ඇති කල්පයක් පණ ගැහෙන්න

කිසිම දවසක එපා කඳුලක් නීල දෙනයනෙ නැගෙන්න

අහම්බෙන් හරි බරක් දැනුනොත් ඉතින් කුමරියෙ කියන්න

නැංගුරම වෙමි කැමැති දුරකට කමක් නෑ විසි කරන්න...

    

Saturday, February 18, 2023

කටු අකුළේ අවනඩුව


පණ දෙවැනි කොට මලක් රක්ශා
කරන නටුවක විස කටූ
දුටුවෙ නෑ මල මිලින වෙද්දිත්
දෑස් හෙවුවේ පැණි හොරූ...

මලක් ගිලිහුන විටදි නටුවත්
එක්ක අර අසරණ කටූ
සොවින් ඉතිරී පපුව පිපිරී
මැරෙණු නෑ කිසිවකු දුටූ...

මලට ලියු කවි දුටුව නම් උඹ
නේක සමනළ කවි වරූ
මලගෙදර උන්ගේද වෙනවා
සාප වැදිලම පැණි හොරූ...

කිසිම කවියෙක් නොකී තැන ඒ
අපරිමිත ප්‍රේමයෙ විලාපය
අනේ කටුවක් වලෙන් ගොඩවිත්
ලියා තිබුනා මලක සොහොනක...

"ඇගේ එක සිනහවක් වෙනුවෙන්
බොහෝ දෑ මට කෙරිය හැකි වග
කල්පයක් කල් ළඟින් හිටියත්
වැටහුනේ නැති එකයි කරුමය..."

කටු අකුළ වෙනුවෙන් මේ අවනඩුව කතා කලේ,
ඇටෝනි තිලංක තේනුවර
පෙබරවාරි 18, සෙනසුරාදා රෑ දොළහට පමණ, 2023

Wednesday, February 15, 2023

"දන්නවද සුදූ වැලන්ටයින් කියන්නෙ මහ තේරුමක්ම නැති කතන්දර..."


මහා ලොකු ප්‍රශ්ණෙකින් බර උන
දෙනෙත් යුග මා වෙතට හරවා
ගැඹුරු සුසුමක සැඟවෙමින් ඈ
උරේ පැත්තක් ලියා ගත්තා...

දවසෙ තිස්සෙම හුගක් ඈයෝ 
උඹ සොයාගෙන එන්නැතී
කාසී උණු කර ලැමට වක්කර
ප්‍රේමයම අය දින්නැතී
වේග රිද්මෙන් නටන හිතකට
යටව නිසලව ඉන්නැතී
අනේ පඬි පුර ගින්න නිවපන්
පත්තිනිට අයදින්නැතී...

රාත්‍රිය සුන්දරයී තරුණයී 
කියූවේ කවුරුන්ද විමසයී
නොකීවට දන්නවනෙ සේරොම
ඇගේ රැය මහ දිගයී වෙහෙසයී...

සිරස පිරිමැදි ඇගිලි තුඩුවක්
වැරදිලා ඇහැ කොනක වැදිලා
යාන්තම් ඇස් ඇරපු මොහොතොක
ඇගෙන් මං මේ පැණේ ඇහුවා...

කියන නොකියන කතා සේරොම
අකුරු හැටියට පෙරරලා
ලියනවා නිසඳැසක් උඹටම
වැලන්ටයින් දිනෙ සමරලා...

ලිවිය හැකි නිසඳැස්ම පොතකට
කතා කිව හැකි දවස් ගාණක්
ඒත් අපි මෙතනින්ම නවතිමු
ගැලවෙනවා රෙදි උන්ගෙ දාහක්...

නිමේශයකට හමුවෙලා
මොකට අපි හිත් පාරලා
ටික වෙලාවක් උරේ දෙනවද
නිදන්නට තුරුලට වෙලා...

වැඩ කරල මහන්සිද ජීවිතය කොහොමද
අසා මොනවට හිත් පාර ගන්නවද
පැත්තකින් තියා ඒ උත්තරත් නැති ප්‍රශ්ණ
බලා ඉමි නිහඬවම ඈ නිදයී සනීපෙට...

මටත් ඇස් පිය වෙන්න මොහොතක් තියා
ඈ මෙසේ මිමිණුවා මතකයී
කොපුලේ මුදු හාදුවක් තියා...

"දන්නවද සුදූ
වැලන්ටයින් කියන්නෙ
මහ තේරුමක්ම නැති කතන්දර" කියා...

තිලංක තේනුවර
පෙබරවාරි 15, 2023 

Saturday, January 28, 2023

ආදේශක විරහිත ප්‍රේම...


නුඹ නැතිව මොහොතවල් එකින් එක ගෙවෙනා
ප්‍රේමණීයම හවස් තනිකමෙන් දැවුනා
ජීවිතේකට ඇතිය වරක් හිත බැඳුනා 
ප්‍රේමයක දිග පලල තවම මම සොයනා...

සීතලම රාත්‍රියෙ උණුහුමක් ගෙන එන්න
කෝපි පුසුඹත් ඇතිය හිතේ ගිනි දැල් වෙන්න
ඇල්කොහොල් පිරෙවූවත් ඒ ගින්න යට වෙන්න
මට ඕන මතකයක ඈ එක්ක ගුලි වෙන්න...

පුරවලා ආත්මය අපරිමිත ස්නේහයෙන්
ඇයී ගියේ අතරමග නුඹ හැරී වේගයෙන්
දරාගනු බැරි තරම් පෙම් කරපු හදවතින් 
වඩා හිඳුවනු කෙසේ වෙන කෙනෙකු නුඹෙ තැනින්...

තිලංක තේනුවර
ජනවාරි 27 සිකුරාදා , 2023