Tuesday, June 6, 2023

සදාකල් හීනයක ඒ නිසා කල් ගෙවමි...


ඔබ ඔබම නොවී 
මමද මම නොවී
හමු වෙමුද මොහොතකට
එකම එක හවසක...

මැණික යැයී නොකියමි
පෙමින් බස් නොදොඩමි
ඒ නමුත් තරයේම
වැළඳ ගෙන හිස සිඹිමි...

බර ඔළුව හකුළලා
දෑත් මත ඔබෙ තබමි
සියුම් රතැඟිලි අතර
ස්වකීයව සිර වෙමි...

ප්‍රේමය නො ඉල්ලමි
රිදුනු බව නොකියමි
උණු කඳුළු කඳු වලට
නොලිහෙන්න වැට බඳිමි...

සඳක්වන් මුහුණතේ
සිනහවක මුල් සොයමි
ගැඹුරු නිල් දෙනෙත් වල
ගිලී නින්දක් පතමි...

ඇහැරිච්ච වෙලාවක
සමු ගන්න බව දනිමි
සදාකල් හීනයක
ඒ නිසා කල් ගෙවමි...

-තිලංක තේනුවර-
අඟහරුවාදා ජූනි 06, 2023

(චායාරූපය ෆේස් බුක් අඩවියෙ
න්. හිමි කම් මුල් අයිති කරු සතුය)

No comments:

Post a Comment