ඉබා ගාතේ යන වැහි මන්දාරමක් යටින්
තෙමි තෙමී කුඩයකුත් නැතිව
අහස දිහා විතරක්ම බලාගෙන
ඔහේ ඇවිදින්නෙකු දුටුවොතින්
අමතන්න ඔහුට - ඒ මම...
කාශ්ටක අවූවට
කෑලි වලට පොළොව පැලී උණුවෙද්දි
රත් වී දුම් දමන තාර කට්ට වල පුළුටු සුවඳ
ඔහේ ඉව කරමින් ඇවිදින්නෙක් දුටුවොත්
අමතන්න ඔහුට - ඒ මම...
උදේ පාන්දර රාජකාරියට ප්‍රමාද වූ
ලහි ලහියේ වැඩට දුවන නෝනා මහත්වරු අතරේ
පාර අයිනේ තාප්පවල - වැටවල්වල
පිපුනු කැලෑ මල් සුවඳ ඉවකරමින් - ඇවිදින්නෙක් දුටුවොත්
අමතන්න ඔහුට - ඒ මම....
සඳ අතුරුදන් වූ
ඝණ කළුවර රාත්‍රියකත්
හීනියට හෝ දිලෙන තාරුකා එළියක් සොයමින්
අහස දිහා බලාගෙන ඇවිදින්නෙක් දුටුවොත්
අමතන්න ඔහුට - ඒ මම....
තිලංක තේනුවර
ඉරිදා , මැයී 14 , 2023
ඉරිදා , මැයී 14 , 2023
No comments:
Post a Comment