Sunday, August 13, 2023

අහම්බ !



මා ජීවිතේ අහම්බයන් 
විශ්වාස කරනා මනුස්සයෙක්මි !

බැලූ බැල්මට නොපෙනුනත්
සෑම අහම්බයකටම ද
හේතුවක් ඇති බවත්
එකී අහම්බයන් ජීවිතයේ යුග
නිර්මාණය කරන බවත් දනිමි !

අහම්බයකින් හමු වූ මිනිසුන් මෙන්ම
අහම්බයෙන් සිදු වූ බොහෝ සංසිද්ධි වලින්ද
පෝශණය වූ ජීවිතය දෙස බැලූ විට
මේවා තව දුරටත් අහම්බ ම දැයී
මා මගෙන්ම ප්‍රශ්ණ කෙරූ වාර අනන්ත ය !

අගක් මුලක් තෝරා බේරා ගත නොහැකි තැන
මේ අහම්බයන් සියල්ල
මායාකාරී සංසිද්ධියක් ලෙස ලඝු කොට
සදාකාලික අභිරහස් ලේබලය අලවා
පසු අධ්‍යනය සඳහා වසා තැබී මි !

අහම්බයන් ගැන කතා කරන විට
ඔබ ගැන නිරායාසයෙන් මතක් වීම නම්
තවදුරටත් අහම්බයක් නොවන බව ප්‍රත්‍යක්ෂය!

මා ජීවිතයේ ප්‍රේමණීයම යුගය
නිර්මාණය කල කලාකාරිනිය
කිසිසේත්ම හුදු අහම්බයක් විය නොහැක !

එනිසා බොහෝ සේ කල්පනා කර - ඈ
කිසියම් ගුප්ත මැජික් බලයක් හිමි
දිලිසෙන තටු සහිත සුරංගනාවක් ලෙසින් නම් කොට
සදාකාලික ප්‍රේමය ලේබලය අලවා
පසු ආවර්ජනයන් සඳහා නිධන් කර තැබී මි !

-තිලංක තේනුවර-
අගෝස්තු 13 ඉරිදා , 2023

No comments:

Post a Comment