Tuesday, December 26, 2017

කරුමෙ කිම වදවෙන හිරු සදිසි මිනිස්සූ



ගං තෙරේ   කවි කරේ   අපට තුට
සදන්න
තුන් සැරේ   පින් කරේ   නිවන් මග
සොයන්න
මන්දිරේ   සුන් කරේ   මරුව නේ
අහන්න
චන්දරේ   වෙන් කරේ   කිමද මට
කියන්න

පංසලේ   සල් පිලේ   හිටුවනම
කියනවා
මංසලේ   දන්සැලේ   දනට දන්
පුදනවා
පපු තලේ   සිවු පොලේ   මෙත් සිසිල
තියෙනවා
බඹතලේ   ගුණ බලේ   ගැන නිතර
දොඩනවා

ගම පුරා   සැරි සරා   අඩුපාඩු
සොයනවා
රස පෙරා   කවි කරා   පත්තරේ
ලියනවා
සොහොයුරා   ගුණ සරා   ලැබැදි බස්
දොඩනවා
හෙනහුරා   මොහු හොරා  ගෙන ගිහින්
තියෙනවා

හාමුදුරුවරු   තරම් බණ දහම්
දන්නවා
කෝදුරුවටත්   පණක් ඇති බවද
කියනවා
මා මැදුරු   නැති උනත් තුටින් කල්
ගෙවනවා
වාකදුරු   වැරදි වැඩ ගැන හෙලා
දකිනවා

බව කතර   සරණතර   අප අතර
ඉපදුනා
දිවි කතර   කර නතර   කියන දේ
වැටහුණා
අතු පතර   ඇති වතුර   බිමට බට
විලසිනා
ප්‍රිය මිතුර   නිවනෙ දොර   හරිති පා
මල් සිනා

තාත්තාගේ මිත්‍රයෙකු අතින් ලියැවුනු කවි පෙලක්.

Friday, December 22, 2017

තාත්තා!!!

තාත්තා!!!

ඉස්සර පංසලට ගියහම
පූජාව ඉවර වෙලා ආයෙම ගෙදර යනකොට
තාත්ත මාව තියාගන්නව කර උඩ
අහසෙ තරු රටා පෙන්නගෙන
ලොකුවට රවුම් තැටියක් වගේ දිලිසෙන
හදේ ඉන්නව කියපු හාව ගැන
එක එක කතා කිය කිය
මතකයි ආපු හැටි ගෙදරට පයීන්ම
කට්ටියම ගෙදර දොර ලග
මං තාම තාත්තගෙ කර උඩ
සත්තයි උළුවස්ස උහ උනා නම් තව
මං ඉතිං ඉදියි මුළු රෑම එහෙමම...

අපේ තාත්ත කියන්නෙම
රස කතා ලෝකයක් තනිකරම
ලංකාවෙ ඉතිහාසෙ ගැන
හිටපු ලොකු රජවරු ගැන
ගුත්තිලය මහාවංශය
උම්මග්ග ජාතකය බුත්සරණ
කව් සිළුමින අමාවතුර සකස්කඩ
ගණදෙවි හෑල්ල සිරිත් මල්දම
මේ වගේ එක එක ජාතියෙ
පොත්වල නම් ඇහුවෙත් තාත්තගෙන් ඉස් ඉස්සෙල්ලාම...

තව ලෝක සිතියමේ තිවිච්ච අහලවත් නැති රටවල් ගැන
ඒ රටවල හිටපු එක එක බාසාවල් කතා කරන මිනිස්සු ගැන
මේ ලෝකෙ වෙනස් කරපු යතිවර ජීවිත ගැන
වෙන කවුද මෙච්චරම දන්නෙ අපේ තාත්තම ඇර...

තාත්තෙ අරක මොකද්ද
ඒක වැඩ කරන්නෙ කොහොමද
මේ බටන් එක එබුවම මොකද වෙන්නෙ
මේ වයර් එක ගැලෙවුවොත් මොකද වෙන්නෙ
මේ වචනෙ තේරුම මොකද්ද
අතොරක් නැතිව අහපු හැම ප්‍රශ්ණෙකටම
උත්තර තිවුන අපේ තාත්ත ලග හැමදාම..

එළිවැට එළිසමය
විරිත මාත්‍රා ගැලපුම
කවියකට වචන අමුණන විදිහ ගැන
තාත්ත කියාදෙනව ඉස්සර
ලිය ලියා පෙන්නුවා මතකයි තාත්තට...

කරන්ට් එක ගියපු දවසක
පැට්‍රොල් මැක්ස් ලාම්පුව පත්තුකර
සාලෙ මැද එල්ලලා කොක්කක
ගෙදර හැමෝවම වටකරන්
තාත්තගෙ රස කතා සංගමය
සමහර වෙලාවට මතකත් නෑ ඉවර උනේ කොහොමද
උදේ ඇහැරිලා බලද්දි ඉන්නෙ ඇද උඩ...

ගෙදර කැද ටිකක් හැදුවත් මුල් කොටහ පංසලට
මල් වට්ටියක් පිරෙන්න
කිරි ඉද්ද මල් කඩන්
අඩු පාඩුවට පිච්ච සේපාලිකා අරලියා කහමල්
තවත් හැඩ වෙන්න රෝස මලක් ඉන්දලා වට්ටිය මැද
පොත් ටිකත් අතට අරගෙන
දහම් පාසල් යන්න හැම ඉරිදිම
පුරුදු කෙරෙවුවෙ පොඩි සංදියේ ඉදලම
හොද නරක ගුණ ධර්ම මේකයි
මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්නෙ මෙහෙමයී කියා දුන්නා ඒත් එක්කම...

ගැරිජ්ජෙක පල්ලෙහා පොඩි මට
විස්කම් ලන්තයක් වගේ දැක්කම
කළු පාට ඇග පුරා ගාගත්ත
මාමලා රොත්තක්ම වට කරගෙන
තාත්තත් ඉන්නවා මජං නාගෙන
එක එක විදිහෙ ආයුද
ඇණ වර්ග වාහන කෑලි එකතුව
ඇස් ගෙඩි ඉලුප්පගෙන
මං බලන් ඉන්නෙ කටත් ඇරගෙන
ඔන්න එක පාරටම
ඇහෙනවා තාත්තගෙ ගෝරනාඩුද
මජං සුවද හිර කරන් පපුවෙම
දුවනවා මං හනික ගෙදරට
තාමත් ඒ මජං සුවද
දැනෙනවා මට පෙණහලු පාරගෙන
තාත්තගෙ මතක එක පෝලිමට අවුස්සන...

උදේ පාන්දර ඉස්කෝලෙ යන්න
පාන්දර පහට බස්සෙක
ආයෙ පන්තිත් ඉවර වෙලා
එද්දි රෑ හත අටට ඉස්ටෑන්ඩ්ඩෙකට
තාත්ත ඉන්නවා බලාගෙන
එක්කං යන්න මාව ගෙදරට...

ලෙඩ උනාම උස්සන් දිවුවෙ දොස්තර ගාවට
වැරැදි කරහම වේවැල් කසාය සංග්‍රය
එක්කල බැනුම් කෝටියක් ඇහුවට
මං දන්නව තාත්තෙ එහෙම තමයි ආදරේට...

ඉස්කෝලෙ දහම්පාසලේ
විභාග තරග දිනුවම
ඉස්සෙල්ලාම කප් එක සහතිකත් උස්සන්
මං දුවන් ආවෙ තාත්තට පෙන්නන්න
මගේ පුංචිම ජයග්‍රහණයක් උනත්
ඒක ලෝකයක් දිනුව වගෙයි තාත්තට...

අතීතයෙ ලස්සන මතක තාත්ත ගැන
සුනාමියක් වගේ එනව ඔලුවට
පපුව පලාගෙන ඇස් උළුප්පගෙන
නහර ඔස්සේ දුවන වේදනාවට
විලාප තියන්නට හිතෙනව මට
ඒත් මං තාමත් ඉන්නව ඉවසගෙන
ඇස් වලින් පනින කදුලකට
කම්මුල් පහු කරන්නට ඉඩක් නොතබාම
හොද වෙලාවට තාත්ත මට කියල දුන්නෙ
දුක වේදනාව අකුරු අස්සෙ හංගන විදිහ
නැතිනම් කොහොමද දෙයියනේ මං ඉන්නෙ හයියට...

ඉස්පිරිතාලෙ ලෙඩ ඇදේ ඉන්නකොට
සේලයින් බට කැනියුලා ගහල
හිල් කරල අතට බෙල්ලට
ඒත් ඒ අස්සෙත් කතාකරේ
හිනාවෙලා හොදට ලස්සනට
කවුද දෙයියනේ හිතුවෙ
තාත්ත හුස්ම අතාරියි කියල
ලොකු පුතා ලග නැති ටිකට...

කොළඹ ඉදන් රෑ දහයට එකොළහට
මං ආවම මාපලගමට
දැන් කවුද තාත්තෙ එක්කන් යන්නෙ
පාළු හීතලේ මාව ගෙදරට...

කන්වකේශන් ගන්න තා අවුරුදු දෙකක් විතරනෙ තියෙන්නෙ
දැන් කොහොමද තාත්තෙ
ලෝගුවත් දාගෙන ගන්න ෆොටෝ එකට
තාත්ත නැතිව මං අම්මත් එක්ක විතරක් ඉන්නෙ...

ඒ ඔක්කොටම වඩා දැන් කාගෙන්ද මං ප්‍රශ්ණ අහන්නෙ අරම???
වෙන කවුද ඒ ප්‍රශ්ණවලට උත්තර දෙන්න දන්නෙ තාත්ත තරම් හොදට???

දළදා මාලිගාවට නුවරට
ගියා ළගදී සිරීපාදෙට
ගිහින් ඉල්ලුව එකමදේ මං
බේරාල දෙන්න තාත්තව
පිං කරාට පස්සෙ ඒ පින
දෙවියොන්ට දෙන්න කියල
මට උගන්නපු මනුස්සයව...
කොහෙද දෙයියනේ හිටියෙ
ඇහුනෙ නැද්ද මගෙ කන්නලවුව???

ලොකු පුතා තමා තාත්තෙ මං
ඒත් මේ විරහව බර වැඩියි හිතට
ඉගෙන ගන්නම් කොහොම හරි මං ජීවත් වෙන්න
වීරයා මැරිච්ච ලෝකෙක...

නිතරම අඩ ගහයී මට ලොකු පුතේ
කියා
පැතිරම තිවුනෙ හැම වදනක සෙනෙහෙ
නියා
නතරම නොකර හඩනා වැහි වළා
තියා
අඹරම හැඩ කරපු තෙද හිරු බැහැල
ගියා













   

Monday, December 18, 2017

පවනැලි අතීතයෙ දුහුවිලි කදු     
පිසිනා
හසරැලි මකයි සැනෙකින් හිත් වැට
පනිනා
මහවැලි පරයලා කදුලුම ගොඩ   
ගසනා
සෙවනැලි කතාවක් හැම හිතකම 
නිදනා

Monday, September 18, 2017

#හිතුමතේ කවි ජීවිතේ

අම්මෙ මට හරි මහන්සියි දැන්
ගෙදර එන්නම හිතෙනවා
කන්දෙ නුග ගහ ගාව මොහොතක
සනීපය හිත හොයනවා...

ලන්ද බැහැගෙන හනික දිව එන
සුළං රැල්ලේ එතීලා
යන්න ආසයී යාය කෙලවර
සරුංගල් පොල බලාලා...

මල් සුවද පරයලා පැතිරෙන
සිල් සුවද මග ඉවකරන්
පංසලට ගොඩ වැදුනු සවසක
මතකයක් ඇත හිත අරන්...

බෝඩිමේ රත් වෙච්ච වහලේ
සීට් කොට මට ඔරවමින්
ඇවිළුවා තොල් අතර හිර උන
දුම් බටය එක නිමේශෙන්...

ආයෙ ආයෙත් ගෙදර මතකය
සන්තාන විද මතුවෙලා
පුරුදු සුවයක් අනවරත ලෙස
මනෝ පාරක ගුලි වෙලා...

ටයිකෝට් ජීවිතය වෙනුවෙන්
අහිංසක ගති හෝදලා
රළු පරළු ගති වාත්තුව දී
ගත්ත කැම්පස් ලෙක්චර් ලා...

කොළඹ අහසට සේම හදවත්
වලත් නැහැ කිසි ලස්සනක්
කාස්ටක ගති මිනිස් හිත් වල
පුරවලා කවුදෝ කෙනෙක්...




   

Sunday, September 17, 2017

#මං කැලෑ අස්සයෙක්...



මං කැලෑ අස්සයෙක්
නිදහසේ හිටි එකෙක්
කදු මුදුන් තුරු විමන්
වලට පෙම් බැදි එකෙක්...

මං කැලෑ අස්සයෙක්
ජවය පිරි අස් රජෙක්
එහෙම කියනව ඇහුන
මාව ගත් මහත්තෙක්...

මං ඉතිං අස්සයෙක්
කරත්තෙක බැදි එකෙක්
කසපාර ඉවසුවත්
විප්ලව කාරයෙක්...

මං තාම අස්සයෙක්
අකීකරු නැති එකෙක්
නිදහස උගස් ගත්
අසරණ ජීවියෙක්...

දැන් මං බූරුවෙක්
බර අදින හාදයෙක්
උන් කැමැති අහ දුවන
පුත්තලං බූරුවෙක්...

Thursday, August 17, 2017

සෙවන දෙන්නට කියා ඈ හට
වෙලා කුඩයක් දිග ඇදුන මම
හිසට ඉහලින් වැටුන ජල කද
ඉහිලුවා මං වැස්ස තිස්සෙම....

වැකුණු දූවිලි  ඉරුණු සම මගෙ
මසා එක්කොට ලන්ට මිනිසෙක්
අළුත් වැඩියාවකට දුන්නලු
කාණුවක හිද මා සොයාගත්...

බයයි මං දැන් අනෝරාවට
එපා මා ඉහලන්න අහසට
රිදුම් දෙන්නේ ඉරද්දී නොව
ආයෙ ආයේ මහන විට හිත...

Sunday, July 2, 2017

ඉරුණු  ඉහිරුණු  හිතක  පෑරුණු
මැරුණු මැලවුනු  හීන   නැහැවුනු
නසනු  ඉඩදෙනු  එපා      පැසවනු
රහිනු  විස උනු  මතක    වත්සුනු


   

Saturday, July 1, 2017

සීරුවට හැගුම් ගෙන එකින් එක
අමුනලා
මාරුවට හිතේ ගිනි නිවන්නට
තැත් කලා
වාරුවට පෑනගෙන බලි කුරුටු
පුරවලා
පාළුවට ගිය හිතේ ඇන්ද ඈ
ඉගිලිලා

Tuesday, May 16, 2017

මල්සරාට ආයෙම...

වසා   දෙනයන     පතා     ඔබෙ අත රෑ පුරා මං
            හීන              මැවුවා
අසා    ඈ ගැන      ගොතා   කවියක පරවියෙකු
            අත හසුන්    යැව්වා
නසා    මගෙ දුක   සිතා   මගෙ ගැන මල්සරෝ
              හී දුන්නෙ     පුරවා
ඉසා     පෙම් වැසි  ලතාවට  දැන් තියාපන් හී  
             ඔන්න           කිවුවා

Sunday, May 14, 2017

#යන_ගමන්_එක_තැනක

දැනටමත් මේ පෙට්ටියෙ ඉන්න ඔක්කොම උන් බුදි...වාඩ් වෙච්ච වෙච්ච තැන එක එක විදියට නිදි.රේල්ලුවෙ ඇදේට කෝච්ච්ය තාල අල්ලද්දි නිදි යහනෙන් බිමට පත බෑවෙන්න යන එකෙක් එකපාරටම නැගිටින්නෙ ලෝකෙවත් පෙරලෙන්න එනවද කියනව වගේ හැගීමක් මූණෙ ලියාගෙන...හැබැයි ඉතින් වැඩිවෙලාවකට නෙමේ..ආයෙම ටික වෙලාවකින් කෝච්චිය තොටිල්ල වෙලා පැද්දෙන ගනිද්දි ආපහු අර නිදිබරිත ඇස් පියවෙන එක කූඥ්ඥ ගහලවත් නවත්තනව බොරු.ඇත්ත තමයි...කෝච්චි පෙට්ටිය පිරිල තියෙන්නෙ උහුලන්න බැරි සීතලකින්.ඒ විතරක්ය කෝච්චිය වංගු එක්ක ඔට්ටු වෙවී දෙපැත්තට පැද්දෙන අපූරුව.සැප නින්දකට ඕන කරන ඔක්කොම සාධක මේ විදියට ගෙඩි පිටින් සම්පූර්ණ වෙලා තියෙද්දි ඇස් දෙක ඇරන් ඉන්නව කියන්නෙ අමාරු වැඩක් නෙමේ...කරන්න බැරි වැඩක්....

ඒත් තාමත් මම ඇහැරගෙන...මේ සිතල අස්සෙ අහසෙ බටහිර පැත්තෙ කෙලවරට වෙන්න පාරින් පාර මතුවෙන තරු එළියක් ඇස් ඇරන් ඉන්න කියල දිගටම මට බල කරනවා...මම නැගිටල ෆුට් බෝඩ් එක පැත්තට ගියා...අම්මේ සීතල..ඇටකටු පෑස්සිල නහරත් ගල් වෙලා යනවා...පපුව පිරෙන්නම ගත්ත හොඳ හුස්මක්..ඒපාර නම් පෙණහලුත් අයිස් වෙලා ගියාද කොහෙද...අඩ අදුරෙම සාක්කුව අත ගෑවෙ ලයිටරේ හොයාගන්න...අහ් මේ තියෙන්නෙ..සීතලේ ගිලුනු අත්වල තිබිච්ච මුලු හයියම මාපට ගිල්ලට එකතු කරල අත් දෙකෙන්ම බදල මන් ලයිටරේ එබුවෙ මේ නුපුරුදු දේශගූනේ අඩත්තේට්ටම් ඉවසගන්න බැරිව පෙගිච්ච සිගරට් එක පුපුරු ගහන තොල් අතරට තද කර ගන්න ගමන් මයි. මෙච්චට වෙලා සාක්කුව කෙලවරක හොදටෝම බුදියාගෙන හිටපු ලයිටරේ ඈලි මෑලි කඩල පත්තු වෙන්න හදනකොටම කොහේදෝ මන්ද ඉදල කඩන් පාත් උනු නාහෙට අහන්නෙ නැති හුලං පාරක් කුළුදුලේ පිපිච්ච ගිනි පොහොට්ටුව නිවල දැම්මේ තත්පර අරික්කාලක්වත් ඒගැන හිතන්න පරක්කු වෙන්නෙ නැතිව...හුහ්..සුළග උඹ විතරද හිතුවක්කාර...ඉඳහංකො මාත් පත්තුවෙලා පෙන්නන්න...ලයිටරේ ඉඳං අර නාහෙට අහන්නැති හුලං පාරත් එක්ක එක දිගටම පොර බදන්න ගත්තා....ලයිටරේ විඳින මේ වේදනාව දැකලද මන්ද පිපිච්ච ඊළග ගිනි පොහොට්ටුවෙන්ම දේසගුණේ අඩත්තේට්ටම් වලින් හෙම්බත් වෙච්චි සිගරට් එක සද්දයක් බද්දයක් නැතිවම ඇවිලිලා ගියා..වේලිච්ච තොල් අතරෙ මිරිකිච්ච ෆිල්ටර් කොටේ පහුකරන් දුම් ගුලි රොතු පිටින් පෙනහැල්ල හොයාගෙන ඇදෙද්දී මෙච්චර වෙලා සීතලේ ගුලිවෙලා තිවිච්ච පපු කුහරෙම ටිකවෙලාවකට හරි අසම්මත උණුහුමක රසය බදාගත්තෙ හරිම පෙරේතකමකින්...හුස්ම එක්ක ලේ වලට මුහුවෙලා නහර වැල් දිගේ මාව හොයාගෙන දුවන් ආපු මේ දුම් කැරලි වල උනුහුමට මාත් මොහොතකට ආදරේ කරන්නැති...හදවත එහෙම කිව්වා....ඔය ඇතුලට ගියපු අහකින්ම ආපහු එළියට යන එකයි ඇත්තේ...මේ පැත්තෙන් නම් එන්නෙපා...පාර වහලා...නිදහසේ සුළගට මුහුවෙන්න කියල ආයෙ එළියට එන්න දගලපු දුම් වළාවකට නහය ගෝරණාඩු කරා...මේ නහයෙ පුස් පාට් මොකට බලනවද....මන් උඹලව එළියට යවන්නම් කියපු තොල් දෙක දුම් ගුලි පෝළිමට එළියට තල්ලු කරල දැම්මා...

මෙන්න යකෝ ඒපාර ඇස් කරකවල බලද්දි සේරෝම දුම් ගුලි ටික මගේ වටේ එක්කාසුවෙල...එක දුම් වළාවක්වත් පොඩ්ඩක්වත් එහාට යන්නෙ නෑ...අඩේ හුළඟ නැවතිලාවත්ද? ම්ම්හ් මන් හෙමීට ඔලුව එලියට දාලා විපරං කරල බලන්න හැදුව විතරයි මෙන්න සුනාමියක් වගේ ආපු සීතල සුළං පොකුරක්ම මූනෙ හැපිලා විසිවෙලා ගියා.
අඩේ හුළඟ තීනවනේ...එහෙනම් මොකද මේ දුම් ගුලි තාම රොතු ගැහිලා එක තැනම...?මන් මගෙන්ම ඇහුවා...
ටික වෙලාවක් යද්දි මෙන්න ආයෙම කවුරුහරි රණ්ඩුවෙන සද්දයක්...හෑ කවුද යකෝ ඒපාර...
අහ්..මේ අර දුම් වලාවනේ...පාවෙන්නෙ නැතුව එකම තැන ගෙම්බ පොළවෙ ගැහුව වගේ ඉන්න මූ කාත් එක්කද මේ ගෝරිය....සුදුම සුදුපාට ගණ දුමාරයක්...මීදුම වෙන්න ඕන...
මොකද මේ මීදුමත් එක්ක වලිය කියල මන් පොඩ්ඩක් විපරම් කරල බැලුවා....ඒපාර තමා මට මේ ඉලවු ඉස්ටෝරිය තේරුනේ...
මෙච්චර වෙලා සිගරට් දුම් වළාවට එලියට යන්න නොදී හිර කරන් ඉදල තීන්නෙ මූනෙ...කොටියම කාපිය...ඇයි යකෝ එහෙම කරේ?මන් මීදුමීගෙන් ඇහුවා...

උඹට ඒක අදාල නෑනෙ.ඒක අපේ කේස් එකක්.උඹගිහින් බුදියගනිං...මීදුමී මට කිව්වා...

මොනමඟුලක්ද අයිසෙ තමුසෙලත් හරියට ඒකාබද්ද විපක්සෙයි ස්‍රී ලංකා නිදහස් පක්සෙයි වගේනේ...එකෙක්ටවත් ඉස්සරහට යන්න දෙන්නැතුව උන් උන් කබඩි ගහනවා..යූ ඇන්පී එක ගේමක් නැතුව මැච් එක දිනනවා... උබල දෙන්න මෙතන සූමෝ සෙල්ලන් කර කර ඉද්දි අන්න හුළඟ ගියා...

මන් කිව්වෙ උන්ට කිසිම අදාල නැති මෙලෝ පදනමක් නැති ආත භූත කතාවක් කියලා උන්ට තේරෙන්න කලින් ඉක්මනට ෆිල්ටර් කොටේ විසිකරලා මන් කෝච්චි පෙට්ටිය ඇතුලට ආවා...

Monday, April 3, 2017

සමනළයා හා මදාරා මල..


දැන දැනත් එක මලක
නොනවතින බව මම
පෙම් කරන මදාරා
දුකයි මට උඹ ගැන....

-සමනළයා

කිසිදිනෙක මා ගාව
නොනවතින ප්‍රේමය
විඳගන්න ඉඩ දෙන්න
පරවෙන්නට ප්‍රථම....

-මදාරා මල

Wednesday, March 29, 2017

#........

වනසන හැටි ලොවම මිහි මවගේ   පුත්තූ
දකිමින කෙසේ ඉවසනු මේ නිරි       සත්තූ
සනසන ලෙසට ඇගෙ හද සරතැස  පත්තූ
කරමින අහස හැඬුවයි සිල් බිඳ       ගත්තූ

#just_type

වෙන කරන්නට දෙයක් නැති නිසා ලියමි....

කොයි වෙලාවේත් ම්නිසුන්ගෙන් පිරීගිය නිවනක් නැති කොටුව ස්ටේශම සිතට එක් කරන්නේ නොරිස්සුම් සහගත කලබලකාරී හැගුම් ගොන්නකි...නිමේශයකටවත් නිවාඩුවක් නොගෙන එකදිගට බෙරිහන් දෙන දුම්රියපොලේ ඇති ශබ්දවාහිනී පද්දතිය ඒ කලබලකාරීකාරී බවට ලබාදෙන්නේ නොනිමි සහයෝගයකි....
සුපුරුදු පරිදි කටුනායක යන්නට ස්ටේශමට ගොඩ වැදුන මා අත් ඔරලෝසුව දෙස බලා නිහඩවම පියමැන්නේ එකළොස්වන වේදිකාව වෙතටය...දුම්රිය පැමිණීමට තවත් බොහෝවේලාවක් ඉතුරුව ඇත...සැබවින්ම වැසිබර දිනයක් වූ අද දිනයේ හයිලෙවල් මාර්ගයම වසාගත් මාර්ග තදබදය අතරේ මේ තරම් ඉක්මනට කොටුවට පැමිණිය හැකිවෙතයි නුගේගොඩින් බස් රියට ගොඩ වෙද්දී මම සිහිනෙකින් වත් නොසිතුවෙමි..හෝමාගම සිට පැමිණි මා ගොඩවූ බස් රථයේ රියදුරු මහතාගේ නොයිවසිලිමත් ධාවනය නොවන්නට මේ තරම් ඉක්මනට කොටුවට ලගා විය හැකි නොවනු ඇත...

පාන්දර සිට දුහුවිලි වැකුණු කොළබ වීදි සෝදාහරිමින් ඇද වැටුන අනෝරා වැස්සට තෙතබරිත වූ කසිකබල් ඩෙනිම සිතට මෙන්ම ගතටද එක්කරන්නේ අලුත් බරකි...දුම්රිය වේදිකාව කෙලවරට වන්නට පිහිටි වැහි බිදු හැරෙන්නට කිසිවකුත් අසුන්ගෙන නොතිබුණු බන්කුවක් වෙත මා පියමැන්නේ උරහිසෙහි රැදි බෑගය ගලවා තබා වේදනා දෙන උරපත්තට මද විවේකයක් ලබා දීමේ අටියෙනි.....

ස්ටේශමේ තැනින් තැන නවතා තිබුනු පතාක දුම්රිය එන්ජින් සවන්පත් පාරවන අන්දමට ගෝරනාඩු කරමින් විටින් විට විවිද ගමනාන්තයන් බලා පිටත් වන්නේ පිටු පසින් බැදි ටොන් ගනනක් බර යකඩ කදන් සියල්ලම එක නිමේශකට සලිත කරවමිනි....තවත් මොහොතක වාතලයම දෙබෑකරමින් හූ හඩ නගා විලාපතබන්නේ පිටුපසින් බැදි ගැලේ බර දරා ගැනීමට නොහැකිවදෝ කියා විටක මට සිතේ.....

දුම්රියපොළම නිමේශයකට භූමිකම්පාවකට හසුවූවාක් මෙන් දෙදරවමින් එකොළොස්වන වේදිකාව වෙතට හලාවත බලා පිටත්වීමට නියමිත දුම්රිය හෙමි හෙමින් සම්ප්‍රාප්තවූයේ රාජකීය ලීලාවක් මවාගෙනය...යකඩ රෝද කීස් කීස් ගා මොර දෙමින් පීලි හා පොරබදමින් ඇතිල්ලෙන්නේ වේදිකාව මායිමේ දුම්රිය නතර කරවීමට ඉමහත් වෙහෙසක් ගනිමිනි....

හිතවත මා මෙතුවක් වේලා බලා සිටි මා ගොඩ විය යුතු දුම්රිය මෙයයි...අකමැත්තෙන් හෝ මේ වාක්ය රචනය නැවැත්වීමට දැන් මට සිදුවී තිබේ..සමාව භාජනේක දමා ඒ සදහා ඔබ මට අවසර ලබාදේ යැයි විශ්වාස කරමි...

ඔබට ජය...!!!

#......

මල් තුහින අස්සෙන් රිවි තුමුල   එබෙනවා
සිල් ගත්ත තුරු පත'ඟ මුදු සුළන් රඟනවා
නිල් අහස පිරෙන්නට වලා තිර       අදිනවා
විල් ලුද පලස් අද ලොව පුරා           එළනවා

කන් කළුය සියොත් ගී රාව දැන් ඇහෙනවා
පින් වන්ත නුබෙ නමට උන් ගීත   ගයනවා
සුන් දරම සේද හැද තුරු ලතා        නටනවා
උන් නුබේ උපන්දිනෙ තවත් හැඩ  කරනවා

ඉර වගේ දිලීයන් ලෝකයම එළිය     කර
සදු වගේ පරිවාර රැදීයන් ලග        නිතර
ජීවිතය හැඩ වේව නැතිව දුක්      කරදර
රැකීයන් සොයුරුදම් පුරාවට අපෙ  සසර

දුටුව දවසේ ඉඳන් සඳවත

දුටුව දවසේ ඉඳන් සඳවත
නුඹේ නමටම ගැහේ හදවත
ලිව්ව කවි පද මගේ කවිසිත
ප්‍රියේ නුඹටම ලියැවිලා ඇත..

නුඹේ වත ගොත මට වැඩක් නැත
ඇසුරු කරලත් දැන් කලක් වෙත
මගේ හැගුමන් නොහදුනන සිත
කෙලෙස ඉවසමි කියන් හිතවත...

Tuesday, March 28, 2017

මැදඟිල්ලට ප්‍රථම වෙදඟිල්ල

මැදඟිල්ලට ප්‍රථම වෙදඟිල්ල....

කොහේදී හෝ දුටුව මතකයි
ලියා තිබුනා ඒ ලෙසින්
මුද්ද දාලා යහන්ගත වෙනු
සම්මතේ එහෙමයි මචං....

රූම් අස්සේ පඳුරු පල්ලේ
ආදරේ හෙවු අයියලා
හොයයි පතිවත බැන්ද දවසට
ඇඳේ සුදු රෙදි අතුරලා....

මගේ හදවතෙ ඉඩ ගොඩයි
තව ආවොතින් අය දොර ඇරෙයි
එහෙවු අක්කල බඳින දවසට
ලිලී මල් මෙන් පිවිතුරුයි.....

ඔන්න ඔහොමයි සමාජය නම්
නින්දිතයි චපලයි මචං
කාගෙ කාගෙත් කිල්ලෝට හුණු
වලින් පිරිලා බලාපං....

නිදාගත්තට එකට අත්සන්
නොකර අර මහ ලොකු පොතේ
තොපිට මොකටද උන්ට හොඳනම්
බකට් නො අදින් හිතුමතේ....

රෑට පේමන්ට් එකේ විකිණෙන
ලිංගිකත්වය දහවලේ
හරිම පුදුමයි පූජනීයයි
ගොළුවෙලා ඇත සමාජේ...

විලිවසාගෙන නිරුවතින් යන
අපේ මහ ලොකු සම්මතේ
වෙනස් විය යුතු හිතනවිදියයි
ඔහේ පාවෙන හිතවතේ....

සමාජය දැන් හරි විසයි බං
මිනිස් හිත් හැම දූශිතයි
ඒ නිසා මොන මඟුල කෙරුවත්
පරිස්සම් උනොතින් හොඳයි...

පෝය දවසට හවසට...

පෝය දවසට හවසට
තෙල් මල් එහෙම අරගෙන
ගෙදර සේරොම එක්ක
අපි යනව ගමේ පංසලට...

ගුණේ මාමලැයි වහලට
උඩින් අහසට පැන්න හඳ
දිහා බල බල බුර බුර
ටොමියත් එනව පස්සෙන්ම....

කොන්ක්‍රීට් පාර දිගටම
හුළඟ එක්කල පොරබදන
පහන් එළි රෑනෙ දිස්නෙට
තාරකා එළි පවා පැරදුන....

ඝන්ඨාරෙ වදින සද්දය
ඇහෙනවා දඩි බිඩියට
කවුරු හරි පොඩි ඇච්චෙක්
එල්ලිලා ඇති ලණුවෙ තක්කෙට....

හනි හනික අහුරන්න මල් ටික
පුතේ මල් වට්ටියක් අරගෙන
පහන් තිර හෙම දාල වැටටම
හඳුන් කූරුත් ගන්න මිටියට....

තවත් ටික මොහොතකින්
වඩින කල පොඩි හිමි නම
සාධු නාදෙන් පිරී ඉතිරේ
උඩහ මුළු වැලි මළුවම.....

අහවර වෙද්දි පිංකම
නිදිමතින් බොඳ වෙච්ච ඇස් දෙක
නලියනව මටත් බැන බැන
යමං ඉක්මනට ගෙදරට.....

මතක් වෙනවා ඉස්සර
පොඩි කාලෙ පංසල් ආවම
තාත්තගෙ උර හිසේ ඉඳගෙන
යනෙන හැටි තරු රටා බලමින....

කර දඬු උහ ගියපු කල
කොහොම යන්නද එහෙම
දෙපය ඉක්මන් කර හනික
පියඹනව ආයෙ ගෙදරට....

මොහොතකට එකම තැන නැවතුන
හිතේ ගැඹුරට කිමිදෙන
සඳේ එළියේ වෙලෙමින
නිදා ගන්නව හීන දකිමින.....

Monday, March 27, 2017

#ස්වභාදහමේ දරුවො අපි


රීරි මාංසෙම ඇගේ
හූරා ලෙවකා ගෙන
ආත්මාර්ථයම තකා
තරඟෙට බුදිද්දී
සම්මත කරගත්
අසම්මත සමාජය
එයට දුන්නු නම
සංවර්ධනය.......

#දේදුන්න


පොළව පෙඟෙන්න කලින්
වැස්ස බිමට හලපු වතුර ටික
ආයෙ හොරකම් කරගන්න
දෙපිට කාට්ටු අහස දාපු
උප්පටවැට්ටියක තරම....

Friday, March 24, 2017

#සමාජෙ_ප්‍රශ්ණ

සූරියකාන්ති
උඹ ඇයි
බලාගෙන හඳ දිහා
පිපුනෙ නිශාවක
දීපං උත්තර

-සමාජෙ

පිපුනාට දහවලේ
ඉරට මා අයිතිද
වරදක් ද කලේ මා
පෙම්කර සඳවතියට
දීපන් මටත් උත්තර....

-සූරියකාන්ති

Thursday, March 23, 2017

කවුන්සිලෙ සහ නඩුව



රෑ පිපෙන මල් වල
රොන් ගන්නෙ කවුරුද
කඩුපුලී සේපාලි
ගැබ් ගත්තෙ කොහොමද
ලෝක මල් මණ්ඩලෙන්
තරුපතිට ප්‍රශ්නයක්...

කවුන්සිලෙ සේරෝම
එක්කාසු කරෝලා
අහන්නට මේ නඩුව
තරුපතිත් සැරසිලා
පළමුව මීමැස්සො
කවුන්සිලෙ අණකලා...

මීමැස්සො අපි රෑට
බුදියනවා සේරෝම
ඒ නිසා අපි නෙමෙයි
සමනළ්ලු වෙන්නැති
මී මැසි ජනපදෙන්
නිවේදනයක් දුන්න....

කළුවරේ මල් අස්සෙ
රිංගන්නෙ කොහොමද
සියුමැලි තටු කැඩෙයි
රෑ පින්නෙ තටු පෙඟෙයි
අනේ අපිනං නෙමෙයි
සමනල්ලුත් කිවුව....

එහෙනම් වෙන කවුද
වන බඹරු වෙන්නැති
මෙන්න එකපාරටම
කොහේදෝ හිඳ ආපු
බට්ටිත්තො රෑනකුත්
කට උත්තර දුන්නා...

සල්ලාල බව ඇත්ත
අපේ ජනපදේ උන්
ඒ උනත් අපි වැඩක්
කරොත් එළිපිට මිසක්
කළුවරට මුවාවී
නෑ පදිරි වෙන්නෙ අපි....

එහෙනම් කඩුපුලී
සේපාලිකා හා
අසම්මතයේ හැසිර
පරාගනෙ වෙලා ඇති
කවුන්සිලෙ අන්තිමට
තීරණයක් දුන්නා.....

Wednesday, March 22, 2017

රණසිංහ බාසුන්නැහේ.....



ගතේ නැති විරියක් හිතට ගෙන
මිටිය ඔසවා හිසට ඉහලින
හෙලන්නට පෙර පහර අතහැර
යකඩෙ නැවුනා සද්ද නැතිවම...

කහට දත් පෙල දිගේ මතුවෙන
සිනා රැල්ලක අහිංසක කම
දකින යකඩත් දිගට බැටකන
තරහ මලකඩ අතැර හිනැහෙන...

රිදුම් දෙන වියපත් ශරීරය
නොකර මායිම් පායිසයකට
ජීවිතේ සැප විඳිය යුතු කල
කුමට මේ දුක් උඹට උරුමද....

රණසිංහ මෙහෙ වරෙං හනිකට
කියන ලොකු මහතුන් නොදැක්කට
උඹේ අසරණ කම දකින කල
යකඩ උණුවේ කෝව නොදැකම......

Tuesday, March 21, 2017

ස(නු)රාගය Vs විරාගය

වලා සළුපිලි උනා දමලා
සඳවතී නිරුවතින් උන්නා
තරුත් ලැජ්ජාවටද මංදා
වහන් වෙන්නට මාන බැලුවා...

සරාගී රැස් ඇවිත් දැවටී
මලේ කඩුපුල් දැහැන බින්දා
නුරාවේ රස බිබී රඟනා
කදෝ පණියකු දැවෙනු දුටුවා.....

#නෝ කැප්ශන්



කිමිදිලා හදවතේ පතුලට
සොයමි තාමත් එකම හුස්මට
යතුර ඈ විසි කලේ කොයිබට
දමා තනිකර මාව හිරගෙට...

#මට හිතෙන හැටි..



සෙන්ට් පුයර නෑවට
සුවඳ නැති මලකට
ඇදේවිද මී මැස්සො
වන බඹරු ආවට....

Sunday, February 12, 2017

ලියමි මේ ලෙස ආදරෙන්....❤




ඉරයි හඳයි එක පාරට
පෑයුව වාගෙයි අහසට
ලපටි සිනා කැන් මැවෙනවා
සෙත් පිරිතක් වගෙයි හිතට....

විහඟ ගීත ගැයිච්ච දෙන්
ආසිරි ගෙන මගෙ දෝණිට
මුදු සුළගේ සුව සදපන්
විඩා නොදෙන් සිනිඳු සිතට....

මගෙ හිතෙ පිරි හැඟුම් අසිරි
අරගෙන පියඹා අහසට
සමනළුනේ සරසාපන්
සරතැස සුර ලොව විලසට....

සතර වරම් දෙවු වරමින්
සුවපත් වී සියලු සතන්
ලෝකය සුන්දර වේවා
පිය නගන්න මගෙ දෝණිට.....

තව කොහොමද කවි ලියන්නෙ
මොර ගහනව හිත සතුටට
විභාගෙකුත් මේ අස්සේ
තියෙනව මතකයි ලාවට...

දුර ඈතනෙ ලොකු මාමා
එන්නෙ කොහොම හදිස්සියට
ඉවසාපන් මගෙ දෝණී
මන් එනවා බලන්න හෙට....❤

Wednesday, February 1, 2017

පැදුර ඉවරයි...

ස්තුතියි හිතවතුනි...

ඉවසලා රළු වදන්
පවසනා මගෙ මුවින්
දුන්නාට බකප් එක
ස්තුතියි මුල ඉඳන්...

කොටන් බර අදින කල
කෝ කොහිද දළ ඇතුන්
උදවුවට ආපු උඹ
සදා මට රත්තරං..

කෝස් වර්ක් ලෙක්චර්ස්
කියා මග ඇරිය උන්
මොකට අපෙ බැච් එකට
උඹල පට්ටයි මචං...

දැක දැකත් වැඩ මෙහේ
ඔහේ පාවෙච්ච උන්
හැගීමක් නැති එවුන්
එපා බොරු ෆිට් මචං...

හෙලූ දහදිය කඳුළු
සැරසුවේ අපෙ මවුන්
ජීවිතේ කිසිදිනෙක
වරදින්නෙ නෑ ඉතිං...

ෆිට් එකේ ඉමු සදා
ඉන්න ටික එක්කරං
ජයම වේ බැච් එකට
දා හතර අපි මචං....
❤👍👌✌

I really don't know how to thank you for what you did @ padura 14.but i should say that without you PADURA would have been remained as dream forever.hats off guys..& gals..❤💪

පැදුරෙ කතාව

ස්තූතියි මිත්‍රයා...අපි ඒක කරා.නොහිටියානම් උඹ හයියට,හීන ඔක්කොම බොඳවෙලා.....

වේදිකාව පිටිපස්සෙ ඉදන් උඹ ගහපු ගේම වීඩියෝ වල ෆොටෝ වල නැති වේව්...ඒත් මතක තියා ගනිල්ලා...14ම බර උහුලපු වේදිකාව තමා උඹ...අපේ එවුන් ලස්සනට නටපු සින්දු කියපු රඟපාපු ඒ වේදිකාවම තමා උඹ.උඹ කරපු කැප කිරීම හැමෝටම කරන්න බෑ...ඒකෙනුයි පැදුරෙදි උඹව විශේශ වෙන්නෙ...හනිකට එහාට මෙහාට දුවල,නළු නිළියො ලෑස්තිද බලලා,උන්ට කොස්ටියුම් අන්දවල,මයික් ගහල,මේකප් කරවල උන්ව වේදිකාවට එවන්න උඹ ගහපු ගේම,පසුතල අස්සෙ හැන්ගිලා ස්ටේජ් එකට ඩෙස්ටික පුටු ටික සෙට්ස් ටික අදින්න උඹ ගහපු ගේම, මික්සරේ පිටිපස්සෙ හැන්ගිලා-මියුසික් ඉන්ස්ටෘමන්ට් අස්සෙ හැන්ගිලා හරි වෙලාවට සින්දුව ගහන්න-ට්‍රැක් එක ප්ලේ කරන්න උඹ ගහපු ගේම...කැන්ටිම පිටි පස්සෙ ලොකු ලිප් බැදන් මංඥොක්කා තම්බ තම්බ උඹ ගහපු ගේම ඕව වෙන කාටවත් කරන්න පුළුවන් වැඩ නෙමේ....බැච් එකේ උන් ගැන සිරා ආදරයක් උඹේ හිතේ තියෙන නිසා තමා උඹට ඒවගේ කැපකිරීමක් කරන්න පුලුවන් උනේ....අච්චර ලස්සනට අඹ සෙවන හැඩ කරපු වේදිකා පසුතල හදන්න උඹ වෙච්ච මහන්සිය,තොරණ ගහල විලක්කු පත්තු කරලා පාත් එක ලස්සන කරන්න උඹ ගහපු ගේම ඒවගෙ ලස්සන දකින හුගක් උන් ඒක පිටිපස්සෙ හිටපු උඹේ මූන දැක්කෙ නෑ....ඒත් මතක තියාගනිල්ල...මට උඹලව මතකයි...බැච් එකට උඹලව මතකයි...ඒකයි උන් හැමෝම අන්තිමට අඹ සෙවනෙදි අත් අල්ලගෙන තේමා ගීතය වාදනය වෙද්දි උඹට ඔලුව නමල ආචාර කරල ගියේ....පැදුර ඉවර වෙද්දි මිනිස්සු අත් එකතු කරල විසිල් ගහද්දී,වැහි වැටෙනව වගේ අත්පොල්සන් සද්දෙ පැතිරෙද්දි කොහේ හරි අස්සකට මුල්ලකට වෙලා අමුතුම සතුටක් උඹ අත් විදින්න ඇති...ඒක තමා සැබෑ ජයග්‍රහනයේ සතුට...ඒක තමා සැබෑ කැපකිරීමේ සතුට....තමන්ගෙ උන් වෙනුවෙන් හැකියාව ශක්තිය කැපකිරීමේ සතුට තමයි ඒ....ඉතින් මචං ස්තූතියි උඹට මේ හැමදේටම...ආයෙ ෆන්ක්ශන් එකකදි සෙට් වෙමු...මේ විදියටම වැඩ කරන්න....

වේදිකාව පිටිපස්සෙ හැන්ගුනු අපේ උන් වෙනුවෙන්

Saturday, January 28, 2017

හිතවත් මිත්‍රයා අසඩක් වෙත...

ලියන්නට හිතුන මට
කාලෙකින් ලිවුමක්
දුර ඈත හිතවතා
නඩුකාර අසඩක්....

කාලෙකින් නැහැනෙ බන්
කිසිම ආරංචියක්
කොහොමද ජීවිතේ
නැද්ද කිසි වෙනසක්...

මේ දවස්වල ඉතින්
මට නම් හරි ප්‍රශ්න
නඩු ගොඩක පැටලිලා
යුශ්මතා මම වෙලා...

තේරෙන්නේ නෑ බන්
මෙලෝ හත් ඉලවුවක්
ඇහුවෙවත් නෑ නඩුව
ඒත් මං වැරදිකරු....

ඒකමයි අසඩක්
අහන්නට හිතුවෙ මං
කියාපන් විසදුමක්
මම දැන් අතරමං...

යාළුවෙක් විදිහට
එපා මට සලකන්න
අහපන් මේ නඩුව
යුක්තියම ඉටුවෙන්න....

මම දන්න එකම එක
සාධාරණ මිනිහ
උඹ තමයි අසඩක්
නෑ වෙනත් පිහිටක්....