Friday, December 9, 2022

ප්‍රේමණීය දැවීම...


මෙරුවෙක්මි
පොළෝ ගැබ පලාගෙන මතු උනෙමි
සභාවෙන් අවසරයී
දැන් ඉතිං පියාපත් දිග හරිමි...

ටංග්ස්ටන් සූත්‍රිකා පහනක් මි
සැඩ සුළං පහරට නොනිවෙමි
එල්ලී බාල්කයක අගිස්සේ
අඳුරු අහු මුළු එළිය කරමි...

මෙරුවෙක්මි
ආලෝකයට පෙම් කරමි
බල්බයක් සිප ගතිමි
ආදරෙන් පිච්චිලා මළෙමි...

ටංග්ස්ටන් සූත්‍රිකා පහනක්මි
අඳුර පලවා හරිමි
කිසිවෙකුට ලං වෙන්න තහනම්
සාපලත් - ප්‍රේම සොහොනක්මි...

රාත්‍රිය නොනිදා ලොව පහන් කරමි
ඉර ඇහැරුනු විටෙක නිවෙමි
ප්‍රේමය නිසාම මෙසේ කියා තබමි
ලං වෙන්නෙපා මෙරු - මරමි...

තිලංක තේනුවර
දෙසැම්බර් 08, 2022


    

Thursday, December 8, 2022

නූතන පරපුරේ මුල් කොන නම රැන්දූ උපන්දිනේ සුභ වේ - අයියේ බන්දූ ❤️🥂

අමුතුම රහක් මුහු කොට කවි මන බැන්දූ
අක්ශර වලට පෙරලා තව පණ කැන්දූ
නූතන පරපුරේ මුල් කොන නම රැන්දූ
උපන්දිනේ සුභ වේ - අයියේ බන්දූ ❤️🥂

-තිලංක තේනුවර-

Monday, December 5, 2022

සුභ උපන්දිනයක් වේවා නෑනේ ❤️ මච් ලවූ සිරිමත් මස්සිනා 🌸

මිහිරිය මුදුය තෙපලන ඈ වදන් මුවින්
අසිරිය සිරිය ඉහිරෙයී පෑ සිනාවකින්
සපිරිය විරිය දෑතින් ලොව එළි කරමින්
මිතුරිය දිරිය කවි පේ වෙයී උඹේ නමින්...

රළ සහ වෙරළ කිසිදා වෙන් නොවෙනා සේ
සඳු අත නෑර තරු පිරිවර ඉන්න ලෙසේ
පොළොවට සුව සදන විල්ලුද අහසක් සේ
නුඹ අත නෑර ඉන්නෙමි හෙවනැල්ල ලෙසේ...

ලෝකෙම තියෙන මල්වල මකරන්ද උරා
මධු විත පෙරමි අම රස කවි මත තවරා
ස්වරයට ගැයෙන සියොතුන් ගී හඬ වපුරා
ආසිරි උපන් දින පතනෙමි කවි අහුරා...

සුමුදු මුදු මල් සේද ඇදිලා යනෙන මග උඹ සුවඳ වේවා
සිනිදු සිත රිදවනා කිසිදේ උඹේ දිවියට හමු නොවේවා
පිණිදු වැහි බිදු දිවිය කතරේ විඩා නොමදී ඇද වැටේවා
රිවිඳු සේ දිලි දිලී සැමදා ජීවිතය සරු සාර වේවා !!!

සුභ උපන්දිනයක් වේවා නෑනේ ❤️ මච් ලවූ සිරිමත් මස්සිනා 🌸

Friday, December 2, 2022

සමහර පොළොව වල් තියෙනවා වර්ශාවට වඩා ඉඩෝරයට පෙම් කරන...


අවුවට කරපට්ටම් වෙච්ච
ඉරි තැලී හම විරූපි වෙච්ච
ආත්මයකට වැහි පොදක් තියා 
පිණි පොදක් වත් දැක්කෙ නැති
සමහර පොළොව වල් තියෙනවා
වර්ශාවට වඩා ඉඩෝරයට පෙම් කරන...

සමනළයෙක් තියා
කුරුල්ලෙක්වත් බලන්නෙ නැති
සුවද මල් සංගමය විසින් 
ලේබල් ගසා අතහැර දමන ලද
සමහර පොළොව වල් තියෙනවා
පතොක් මල් විතරක්ම පීදෙන...

අනෝරාවක කුර ගැටී 
පොළෝ ඝර්භයේ නිධන් කර තිබූ
පරණ තුවාල පෑරිච්ච හවසක
මඩ පාට රුධිරයට විදිමින් සී සී කඩ
සමහර පොළොව වල් තියෙනවා
වස්සාන අහසට - අඬ අඬා සාප කරන...

සුවඳ මල් පීදෙනවට අකැමැති
සමනල්ලු එනවට අකැමැති
අහේතුක වර්ශාවට අකැමැති
කිවුවට විස්සාස කරනවද
සමහර පොළොව වල් තියෙනවා
වසන්තය ගැන - සත පහකට විශ්වාසයක් නැති...
 
තිලංක තේනුවර
දෙසැම්බර් 2, 2022

Wednesday, November 30, 2022

රළ - වෙරළ - මුහුද සහ ප්ලේටෝනික ප්‍රේමය...




මහා විස්ථාරයකින් යුතුව සිය තරංග ආයාමය ඔස්සේ ගබඩා කරගත් ප්‍රේමය රළක් වෙරළට නිදහස් කරන්නේ මහත් ආවේගයෙනි. එකී ප්‍රේම ප්‍රකාශන ක්‍රියාවලියේදී වෙරළේ සමහර තැන් වල ඉතා ගැඹුරු කුහර පවා ඇතිවේ. මුහුද නම් කියන්නේ මේවා ප්‍රේම හුඹස් කියාය. නමුත් මේ ගැන වෙරළ නිහඬය. 

වෙරළේ නිශ්ශබ්ධතාවය පිටතින් බලා හිඳින්නෙකුට ඒත්තු ගන්වන්නේ මුහුද නිරන්තුරුවම වෙරළට අඩත්තේට්ටම් කරන බවක් සහ වෙරළ මුහුදේ කෲරත්වය හමුවේ අගතියට පත්වී ඇති බවකි. 

යථෝක්ත සිද්ධි දාමය වසර සිය ගණනක් තිස්සේ බලා සිටි කැස්බෑවෙක් පසු ගිය දවසක මේ දීර්ඝ කාලීන පැණයට පිළිතුරක් ලියා එවා තිබුනා. එය පහත පරිදිය...

රළ - වෙරළ - මුහුද සහ ප්ලේටෝනික ප්‍රේමය...

එකම රළකට දෙපාරක් බැහැ 
වෙරළෙ උණුසුම විදින්න
ඒ නිසාවෙන් උන් හදන්නේ
හැකි තරම් කල් රැඳෙන්න...

ඇදෙන තරමට ටිකක් ඈතට
ගෙවෙන කාලය වැඩියි වෙරළක
විසිර දහසක් පෙණ බිදිති ලෙස
රළක් ඇහිඳියි තවත් ප්‍රේමය...

කාලෙ හරි සීමිතයී ඇත්තයී
ඒත් මේ පෙම නන්දනීයයී
චාරිකාවේ මතක සේරොම
නැවත මහ සමුදුරට බාරයී...

එකට හමුවී ඉන්න බැරි තැන
දහසකුත් රළ පෝශණය කර
විඩින් විඩ අත හරී වෙරළට
අසා සැප දුක් උඹට කොහොමද...

ටිකක් හයියෙන් ඇවිත් හැපුනට
මදක් ගැඹුරට කුහර හැදුවට
උඹේ ප්‍රේමය වේදනාවක්
කියූ වෙරළක් තියෙද මුහුදට...

නිමි.

කැස්බෑ ලියුම පරිවර්ථනය කරේ,
තිලංක තේනුවර

නොවැම්බර් 30, 2022

ප.ලි - පොටෝ එක පේස් බුක් එකෙන්. මේ ලියවිල්ලෙයී පොටෝ එකෙයි උක්ත ආඛ්‍යාත ගැලපීමට උත්සාහ කිරීමෙන් වළකින්න. 

ප.ලි 2 - මේ ඉන්නෙ කැස්බෑව කියල හිතන්නත් එපා. 

Tuesday, November 29, 2022

Happiest birthday Amma ❤️ අම්මේ, මේ කවි ටික ඔයාට 🌸🙏

සුභ උපන්දිනයක් වේවා !!! 

නොකිවුවට නිතරම, දන්නවනෙ මං ඉතින් ආදරෙයී පැලෙන්න ❤️ 

කළු වලා මහ වෙලා ජීවිතය ගිලිද්දී
තනි වෙලා හිස් වෙලා කියා මට හිතෙද්දී
වෙස් වලා ඉර වෙලා එළිය මට දොවද්දී
ඉරි තලා ගිය තැනුත් හා වෙනවා වහිද්දී...

රුධිරයම පෙර පෙරා කිරිවලට හරවලා
ජීවයම කැප කලා ස්නේහයෙන් පුරවලා
මුළු ලොවම මං වෙලා දුක් ගැහැට හංගලා
ප්‍රේමයම බෙදන්නේ කොහොම මේ පේවෙලා...

ඉර මොටද සඳ මොටද තරු අහක බලද්දෙන්
ඝණ අඳුර කමක් නෑ මා මරා නැගෙද්දෙන්
ජීවිතේ හැම දාක ඔබෙ පුසුඹ දැනෙද්දෙන්
අම්මේ ඔබ සදා මගෙ අහසෙ දිලෙද්දෙන්...

සුභ උපන්දිනයක් වේවා අම්මේ !!!

Sunday, August 28, 2022

කිචි බිචි සහ බණ්ඩාගේ ඇනිවසරිය...

කටුක කර්කශ දිවිය කතරකි
බොහෝ කරදර දුක් සුසුම් ඇති
තබන හැම පියවරක මගෙ සකි
සෙවනැල්ල මෙන් හිටියොතින් ඇති...

චණ්ඩ හිරු රැස් ගෙනෙන දාහය
නිවාලන මුදු සුළං කෝඩෙකි
මිලින මල් ගොමු පුබුදුවාලන
පවස නිවනා අමා වැස්සකි
යනෙන මග නිති සුවය සදනා
සේද සුසිනිදු සුමුදු පළසකි
ප්‍රේමයෙන් ජීවිතය පුරවපු
මගේ හිමි සමුදුරකි අහසකි...

හැමදාම මේ ලෙසින් මගෙ ලඟින් ඉන්න
සසර වෙන් වෙන තුරුම එකම මග යන්න
මගෙ හුස්ම මගේ පණ මගේ පෙම අහන්න
කිසි දිනෙක එපා මේ දැත් අත හරින්න...

සුබ විවාහ සංවත්සරයක්!!!

Friday, August 26, 2022

කොහේ දිවුවද මන්දා , සින්ඩරෙල්ලා...



සාදෙ මැද්දට පැනලා
හොඳට නට නට ඉඳලා
සපත්තුවකුත් තියලා කලබලේ
කොහේ දිවුවද මන්දා , සින්ඩරෙල්ලා...

ඒක උල් සපත්තුවක්
හිල් කරන්නට සමත් හදවත් 
නැටුම අතරේ නිල් වෙන්න පෑගුනත් කකුල
කුමාරයට කොහෙ දැනෙන්නද බං වේදනාවක්...

දොළහේ කණිසමෙ සද්දෙ අස්සේ
මධු බිඳේ - ප්‍රේමාලිංගන සැරදේ - බඳුන් ඉස්සේ
දෙනෝ දාහක ඇස් ඉදිරිපිට - හොරාටම
කුමාරිය මණ්ඩපෙන් බැස්සේ...

හතර දිග් බාගෙම අණ බෙරින් වරුසා
යවනු බෑ කුමරියට නැගෙයී අපහාසා
ගෙවල් අහවර කොට - තව ගුබ්බෑයම් අස්සෙත් රිංගා
හොයා හෙම්බත්ව - කුමරා, සොවින් පසු බැස්සා...

සාදෙ මැද්දට පැනලා
බාල් නැටුමුත් නටලා
සපත්තුවක් විතරක්ම තියලා
කොහෙද බං ගියේ, කියාපන් සින්ඩරෙල්ලා...

-තිලංක තේනුවර-

අගෝස්තු 26, 2022
ලයිට් කණුවක් යට - ටවුන් හෝල්.

Wednesday, August 24, 2022

දරුණුවට පෙම් කරලා අත හරින එකම පාපයක්...



දරුණුවට පෙම් කරලා
අත හරින එකම පාපයක්
දන්නවද ප්‍රේමිය
ප්‍රේමය කියන්නෙත්
එක්තරා විදියක සාපයක්...

දුටුව පලවෙනි දවසෙදිම
ආදරෙන් බැඳුන එකත් පුදුමයක්
අමතකද සොඳුරිය
අපේ පෙම් කෙරුවාව
ලෝකෙටම ඒ දවස්වල පිස්සුවක්...

හමුවීම් සියල්ලට උරුම හිමිවීම නම්
කොහෙද බං ඒකෙ ලස්සනක්
ප්‍රේමයෙන් සන්නද්ධ උන් ලඟ
වෙන් වීමකදි උවත් කිසිවිට
තිබුනෙ නැහැ  ප්‍රියාවියෙ වෛරයක්...

-තිලංක තේනුවර-
අගෝස්තු 24, 2022
දියත, ජපන් පාලම උඩදී.

Sunday, August 21, 2022

මේ වැහි බර රාත්‍රියේ ඔබට යමක් පවසන්නට සිතමි...





මේ වැහි බර රාත්‍රියේ
ඔබට යමක් පවසන්නට සිතමි
සඳ පමා කල යුතුය අද අහසට
කොයි තරම් දරුණු ලෙස තුවාල වූවත්
රළු පිරිමි පපු විවර වන්නේ
ගණ කළුවරකදී පමණි...

අහා... කළුවර...
මේ තරම් උග්‍ර රොමාන්තික බවක්
උඹ කොහෙන් හොරකම් කර ගත්තා දැයි නොදනිමි
කෝපි නැති මේ සීතල රාත්‍රිය
බීර වීදුරුවක ගිල්වමුද ?
කතාව අහන්නට පැමිණි සගයනි...

"ඈ මා හැරදා ගියා..."
බොහෝ සිත් බිඳ ගත් ප්‍රේමවන්තයින්
ශෝකාලාපයන් අවසන් කෙරූයේ එතැනිනි 
එහෙත් මෙය පැහැදිලිව කීමට කැමැත්තෙමි
මේ කතා බහ අපි අද
ආරම්භ කල යුත්තේම එතැනිනි...

දුම් වැටියක් වට දෙක තුනක් කැරකැවී
දුම් රොටු දීසියට පත බෑ වුනි
ලයිට් එළියට පොර කෑ මෙරු දෙතුන් දෙනෙක්
පිළිස්සී මිය යන අයුරු දුටු සූතිකා බල්බ
ශෝකය ප්‍රකාශ කරමින් කිහිපවරක් ගැස්සුනි
ඈතින් ලංතෑරුමක් මේ අස්සේ සිනා සෙනවා දුටිමි...

කොහොමින් කොහොම හරි
මම නැවතත් පැවසීමට කැමැත්තෙමි
මේ කතා බහ අපි අද
ආරම්භ කල යුත්තේම එතැනිනි...
බීර වීදුරුවක් තව හලා ගමු නේද
කතාව අහන්නට පැමිණි සගයනි...

නමක් ගමක් නොදන්නා තාරුකාවක්
හිටි වනම අහසින් බිමට පනිනවා පෙනුනි
ඉශ්ඨවෙයී, ප්‍රාර්ථනාවක් කරමුද?
කතාව අහන්නට පැමිණි සගයනි
මම නැවත නැවතත් කියමි
මේ කතාව ආරම්භ කල යුතුව තිබුනේ එතැනිනි...

-තිලංක තේනුවර -
අගෝස්තු 21, 2022

Wednesday, August 17, 2022

අඩුවකට හිටියෙ ඔයා විතරමයී...



කුඩු වෙන්න වැදුනු රෑක
ඩිම් වෙච්චි තාරකා එළි ඔස්සේ
ලයිට් කණු වල වාරුවෙන් මා
ඇල්බට් චන්ද්‍රවංකය දෙසට ආවා...

නිතර තිස් අට බස් එහා මෙහා යන
බිහිසුණු හයිලෙවල් මාවත 
අද නම් යාය පිටින් පාළුයී
කොහෙන්දෝ මන්දා ගහගෙන ආපු
රෑ කුමාරි මල් සුවඳ පෙනහළු තදින් මිරිකයී...

සුදු වතින් හැඩ උනු
කෞතුකාගාරෙ නම් රෑට හරි ගුප්තයී
මෙලෝ ප්‍රාණියෙක් නැති 
ග්ලාස් හවූස් හෝල්ට් එක ලඟ
තිබුනෙ හිස්කම විතරමයී...

හඳ නම් පායලා තිබුනෙ එදා වාගෙම
ටංග්ස්ටන් කහ පැහැය හරි ලස්සනයී
මේ අල්ල පනල්ලෙ අනූ නමයක් එද්දි
අඩුවකට හිටියෙ ඔයා විතරමයී...

තිලංක තේනුවර
අගෝස්තු 17, 2022
අනූ නමයක පාපුවරුවේදී

Tuesday, August 16, 2022

අකාලික ප්‍රේමයෙන් හෑරුණු මතක දෝනා තව ම දනවා...



බොහෝ ප්‍රේමය එකතු වූ පසු
පිපිර යන්නට ඉඩැති හින්දා
මහා කිරීටක ධමනියෙන් මං
ආදරේ බයි පාස් කෙරුවා...

වෙන දා මෙන් වේගයෙන් නැති මුත්
තාම ප්‍රේමය පොම්ප වෙනවා
නහර අස්සෙන් ආයෙ පෙරි පෙරි
ආත්මය අවුලවා යනවා...

දරුණු ලෙස ආදරේ කළ හිත්
ගැඹුරු ලෙස හෑරිලා යනවා
පාළු උනමුත් ප්‍රේම නටඹුන්
බිහිසුණුයි වේදනා දෙනවා...

නික්ම ගිය පසුවෙනුත් සොඳුරිය
හිස් ම හිස් තැන් හුඟක් තියලා
අකාලික ප්‍රේමයෙන් හෑරුණු
මතක දෝනා තව ම දනවා...

Friday, June 24, 2022

ඉතිං ආයුබෝවන්, අධි සාන්ද්‍ර ප්‍රේමය !!!


ඈ මා ඉදිරිපිට ම
මා සිත ඩැහැගත් අධිමාත්‍රික හුරතලය
වෙන කෙකුගේ උරහිසෙහි එල්ලී
ප්‍රගුණ කළා ය
මට වඩා
සිය දහස් ගුණයක් වැඩියෙන්...

මොනව කරන්න ද කරුමෙට
ඒ හුරතලය දැක දැක
සිය දහස් ගුණයක් වැඩියෙන්
නැවත ත් බැඳුනි මේ සිත
ඈ කෙරෙහි
අප්‍රමාණික ප්‍රේමයෙන්...

ඒ චැප්ටරය නිමි - ඔබට සුබ පතමි
දැක්කොත් කියවන්න, පසුව මේ ටික ලියා තබමි!

ඉතින් ප්‍රියාවිය
ඔබ දැන ගත යුතු ය
අධිමාත්‍රික හුරතලය
එකල්හි සුන්දර මුත්
මෙකල්හි බොහෝ කටුක ය
එකල්හි ඖෂධ මුත්
මෙකල්හි හලාහල විස ය...

ඒ නිසා කරුණාකර
නැවත මා ඉදිරියට නො එන්න!!!

කිසිදා වෛර කළ නොහැකි
ඔබ ඉදිරියේදී නැවත ත්
ප්‍රේමය පුපුරා යාවි දෝ සැකයි
සිත ඇද බැඳ තබාගෙන සිටින
බර යදම් දියවී
හනි හනික දුව විත්
ඔබව බදා ගැනීමට සිතේවිදෝ බය යි...

ඒ නිසාවෙන් ඈතින් සිටින්න
මිලිමීටරයක්වත් අත නොහැර
ප්‍රේමය ම පෙර පෙරා ගොඩ ගහපු පිරිමි පපු
සුළු උත්ප්‍රේරණයකදී උව
වහා උත්ප්‍රාසයෙන් ඇවිලෙන සුළු යි...

-තිලංක තේනුවර-

Monday, June 20, 2022

දෙනෝ දාහක් එක්ක කන්දත් අනේ අවසන් සුසුම් හෙළුවා...

අහස විද සුර ලොවේ සාරය
උරා පොළොවට පොම්ප කරමින්
උසට විහිදුනු මහා කදු වෙති
තැනි තලා පෝශණය කරමින්...

දියැලි ගංගා උපද්දාලා
යවයී පහලට රනින් සරසා
කන්දෙ සාරයෙ පිහිට ගන්නට
නේක ජීවින් එහිම ලැග්ගා...

විහිද දඩු මුල් කන්ද ඇතුලට
පසත් එක්කම උරා කෑවා
මහා තුරු ගොමු ලෙසින් වෙස් ගත්
පිසාචයො එහි අරක් ගත්තා...

අනෝරාවක් වැටුන දවසක
කන්ද මැද්දෙන් දෙපළු වූවා
දෙනෝ දාහක් එක්ක කන්දත්
අනේ අවසන් සුසුම් හෙළුවා...

මැරුණු ජීවිත වල වැරැද්දත්
නිහඩ උනු කන්දටම පවරා
ශේෂ උනු පස් ටිකත් හූරන්
පිසාචයො ඒ නඩුව වැහුවා...


    

Sunday, April 10, 2022

ඉතින්, උන්ගේ අනාගතය වෙනුවෙන් උනුත් අරගල කරපු දෙන්!!!


මේ රට උඹේ මිස උන්ගේ නොවන බව

සනුහරේ රකින්නට අපි පෙරට ආපු වග

පුත උඹත් දත යුතුය මේ සටන උඹේ බව !


ඉතින්,

උන්ගේ අනාගතය වෙනුවෙන්

උනුත් අරගල කරපු දෙන්!!!


Give us our country back 🙏


#gohomegota2022 #hailtothebravehearts ✌️❤️ #riseforachange ☮️🤘

#hailtothebravehearts #riseforachange #gohomegota2022 #longestnights #අරගල_බිමේ_කඳවුරු


නපුරු හීතල නහර පාරා හිතේ අස්සට එබෙනවා

ඒත් කොහොමද දාල යන්නේ උඹල අපි ගැන හිතෙනවා

හොරුන් පන්නා හෙටක් හදනට හීන අහුරක් දකිනවා

පුංචි කූඩාරමේ ගුලිවී මේ රැයත් අපි ගෙවනවා...

Friday, April 8, 2022

"හෙට කරගහන් අද ඈ පාරට පැන්නී...

 


මොහොතක් නැවතියන් ගද්දී අවි අතට - එල්ලය අග කවුරුද පෙනුනේ උඹට...


 " ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කලයුත්තේ ඉහල නිළධාරීන්ගේ ඕනෑම නියෝගයක් නොව නීත්‍යානුකූල නියෝගය පමණි.


ප්‍රේමවතී මනම්පේරි නඩුව - ගරු අධිකරණය"


උපුටා ගැනීම අවසන්...


ඔසවා කඩු කිණිසි තෝමර පොලු මුගුරූ

කොහොමට පුතේ සටනට එනු වී හතුරූ

ඉවසනු බැරිම තැන පාරට බැසි සොයුරූ

මඩලනු එපා නිල බල පෙන්නා නිසරූ


පාගා තලා මිරිකා රට වැසි පොකුරූ

පිට රට වල තනා ඇත උන් රජ මැදුරූ

මෙච්චර සාප දෙද්දිත් සොහොයුරු මිතුරූ

තාමත් හෝදන්නෙ ඇයී උන්ගේ වසුරූ


ගෑස් කුමට කදුළින් පෝසත් නෙතට

වතුර පහර නම් රිදුනා පුත ඇඟට

මොහොතක් නැවතියන් ගද්දී අවි අතට

එල්ලය අග කවුරුද පෙනුනේ උඹට...


මීට,

උඹට එදා පැඟිරිවත්තෙදි හම්බ උනු කාගේ හරි තාත්තෙක්...


#riseforachange #beforethe3rd #flightඑකවෙනුවටfightඑක #hailtothebravehearts

Monday, March 14, 2022

බොහෝ සතුටින් ඉන්න උන් ළඟ පිරෙන්නට තිබුනේම හිස්කම...




පඳුරු මල් ගස් මහා තුරු වැල්

බදා හිටියට විහිද තද මුල්

නාය යන මොහොතෙදියි කන්දක්

පෙනුනෙ පපුවෙම පාළු හුඹහක්...


දේස සීමා බෙදා වෙන්කොට

එමට තරු කැට ලැගුම් ගත්තත්

අමාවක දවසෙදියී දැක්කේ

අහස තනිකර කළු ගුහාවක්...


නිතර විසි කර මල් සිනා වැහි

බොහෝ සතුටින් ඉන්න උන් ලග

හාරලා බැලුවොතින් අස්සට

පිරෙන්නට තිබුණේම හිස්කම...






    

Friday, January 21, 2022

ඉමන්තයාගේ විසි අට...

උඹත් මාත් දැන් ඉන්නේ උපන් දිනය තියා කැලැන්ඩරේ කිසිම දවසක විශේෂයක් නොදකින මානසික අවධියක. ජීවිතේ කියන්නේ සයින් වක්‍රයක් වගේ උනාට මොකෝ අපේ මානසික වක්‍රය දැන් සරළ රේඛාවක්. එහෙවූ අවධියක උඹටවත් කිසි විශේෂයක් නැති දවසක් වෙනුවෙන් කවි ලියන එක හරිම අමාරු වැඩක්. සිද්ධි වාචකයක් වෙනුවෙන් කවි ගලපන්න නම් ඒ සිද්දි සංක්ශිප්ත්ය ඇතුලෙ මොකක් හරි විශේෂත්වයක් කවියා දකින්න ඕන. අඩුම තරමෙ ඒකට අපූර්වත්වයක් ආරෝපණය කරන්න හරි ඌට මයින්ඩ් සෙට් එකක් තියෙන්න ඕන. මම දැන් ඉන්න මයින්ඩ් සෙට් එකේ ඒ ස්පාක් එක නෑ. ඒ නිසා උබේ උපන්දිනේට හැමදාම ලියන කවි සෙට් එක මේ පාර ලියන්න වෙන්නෙ නෑ. ඒකට සමාවෙයන්. 


ඒත් මේ සුභ පැතුම අස්සේ මගේ අනන්යතාවයෙන් දශමෙන් පංගුවක් හරි ඉතුරු කරන්න ඕන නිසා අමාරුවෙන් හරි එකම එක කවියක් තියල මේ සටහන ඉවරයක් කරන්නම්. 



සරා සඳ ලෙස දිලීයන් පරිවාර තරු කැට පිරිවරා

පුරා සිත අග දැනීයන් සැනසුමේ සාමය දිවිතුරා

වරා මල් සේ තටුගනින් බර ප්‍රශ්ණ සේරොම මග මරා

නිරා මිස සිනහවෙන් හැඩවෙන් සදා උඹෙ වත සුමිතුරා...


ගලා යන ගඟුලකින් සරු වෙයී තැනි තලා බිම් දෙපසැතී

බලා නොසිටී ගඟුල එනමුත් උන් පුදන තුරු තුති බැතී

සලා කදුලක් ගියා මිස නැත ආයෙ හැරුනේ ඉක්බිතී

වෙලා නැහැ ඒ ගැන හිතන්නත් ගිලෙමු මුහුදක ගැඹුරැතී...


මග දෙපස උඹ යනෙන සුවද මල් පිපේවා 

ලඟ නිතර ජය සතුට සාමයම රැදේවා

විගහටම ජීවීතේ පිළිවෙලක් දකීවා

හිඟ නොමැති අපේ බැමි සදාකල් රැකේවා...


එකක් ලියල නවත්තන්න ගියාට මොකෝ තුනක්ම ආවා. සුබෝපන්දිනයක් වේවා!!! මං ආදරේ වග උඹ දන්නවා.