උඹත් මාත් දැන් ඉන්නේ උපන් දිනය තියා කැලැන්ඩරේ කිසිම දවසක විශේෂයක් නොදකින මානසික අවධියක. ජීවිතේ කියන්නේ සයින් වක්‍රයක් වගේ උනාට මොකෝ අපේ මානසික වක්‍රය දැන් සරළ රේඛාවක්. එහෙවූ අවධියක උඹටවත් කිසි විශේෂයක් නැති දවසක් වෙනුවෙන් කවි ලියන එක හරිම අමාරු වැඩක්. සිද්ධි වාචකයක් වෙනුවෙන් කවි ගලපන්න නම් ඒ සිද්දි සංක්ශිප්ත්ය ඇතුලෙ මොකක් හරි විශේෂත්වයක් කවියා දකින්න ඕන. අඩුම තරමෙ ඒකට අපූර්වත්වයක් ආරෝපණය කරන්න හරි ඌට මයින්ඩ් සෙට් එකක් තියෙන්න ඕන. මම දැන් ඉන්න මයින්ඩ් සෙට් එකේ ඒ ස්පාක් එක නෑ. ඒ නිසා උබේ උපන්දිනේට හැමදාම ලියන කවි සෙට් එක මේ පාර ලියන්න වෙන්නෙ නෑ. ඒකට සමාවෙයන්.
ඒත් මේ සුභ පැතුම අස්සේ මගේ අනන්යතාවයෙන් දශමෙන් පංගුවක් හරි ඉතුරු කරන්න ඕන නිසා අමාරුවෙන් හරි එකම එක කවියක් තියල මේ සටහන ඉවරයක් කරන්නම්.
සරා සඳ ලෙස දිලීයන් පරිවාර තරු කැට පිරිවරා
පුරා සිත අග දැනීයන් සැනසුමේ සාමය දිවිතුරා
වරා මල් සේ තටුගනින් බර ප්‍රශ්ණ සේරොම මග මරා
නිරා මිස සිනහවෙන් හැඩවෙන් සදා උඹෙ වත සුමිතුරා...
ගලා යන ගඟුලකින් සරු වෙයී තැනි තලා බිම් දෙපසැතී
බලා නොසිටී ගඟුල එනමුත් උන් පුදන තුරු තුති බැතී
සලා කදුලක් ගියා මිස නැත ආයෙ හැරුනේ ඉක්බිතී
වෙලා නැහැ ඒ ගැන හිතන්නත් ගිලෙමු මුහුදක ගැඹුරැතී...
මග දෙපස උඹ යනෙන සුවද මල් පිපේවා
ලඟ නිතර ජය සතුට සාමයම රැදේවා
විගහටම ජීවීතේ පිළිවෙලක් දකීවා
හිඟ නොමැති අපේ බැමි සදාකල් රැකේවා...
එකක් ලියල නවත්තන්න ගියාට මොකෝ තුනක්ම ආවා. සුබෝපන්දිනයක් වේවා!!! මං ආදරේ වග උඹ දන්නවා.
No comments:
Post a Comment