Wednesday, August 17, 2022

අඩුවකට හිටියෙ ඔයා විතරමයී...



කුඩු වෙන්න වැදුනු රෑක
ඩිම් වෙච්චි තාරකා එළි ඔස්සේ
ලයිට් කණු වල වාරුවෙන් මා
ඇල්බට් චන්ද්‍රවංකය දෙසට ආවා...

නිතර තිස් අට බස් එහා මෙහා යන
බිහිසුණු හයිලෙවල් මාවත 
අද නම් යාය පිටින් පාළුයී
කොහෙන්දෝ මන්දා ගහගෙන ආපු
රෑ කුමාරි මල් සුවඳ පෙනහළු තදින් මිරිකයී...

සුදු වතින් හැඩ උනු
කෞතුකාගාරෙ නම් රෑට හරි ගුප්තයී
මෙලෝ ප්‍රාණියෙක් නැති 
ග්ලාස් හවූස් හෝල්ට් එක ලඟ
තිබුනෙ හිස්කම විතරමයී...

හඳ නම් පායලා තිබුනෙ එදා වාගෙම
ටංග්ස්ටන් කහ පැහැය හරි ලස්සනයී
මේ අල්ල පනල්ලෙ අනූ නමයක් එද්දි
අඩුවකට හිටියෙ ඔයා විතරමයී...

තිලංක තේනුවර
අගෝස්තු 17, 2022
අනූ නමයක පාපුවරුවේදී

No comments:

Post a Comment