Sunday, August 21, 2022

මේ වැහි බර රාත්‍රියේ ඔබට යමක් පවසන්නට සිතමි...





මේ වැහි බර රාත්‍රියේ
ඔබට යමක් පවසන්නට සිතමි
සඳ පමා කල යුතුය අද අහසට
කොයි තරම් දරුණු ලෙස තුවාල වූවත්
රළු පිරිමි පපු විවර වන්නේ
ගණ කළුවරකදී පමණි...

අහා... කළුවර...
මේ තරම් උග්‍ර රොමාන්තික බවක්
උඹ කොහෙන් හොරකම් කර ගත්තා දැයි නොදනිමි
කෝපි නැති මේ සීතල රාත්‍රිය
බීර වීදුරුවක ගිල්වමුද ?
කතාව අහන්නට පැමිණි සගයනි...

"ඈ මා හැරදා ගියා..."
බොහෝ සිත් බිඳ ගත් ප්‍රේමවන්තයින්
ශෝකාලාපයන් අවසන් කෙරූයේ එතැනිනි 
එහෙත් මෙය පැහැදිලිව කීමට කැමැත්තෙමි
මේ කතා බහ අපි අද
ආරම්භ කල යුත්තේම එතැනිනි...

දුම් වැටියක් වට දෙක තුනක් කැරකැවී
දුම් රොටු දීසියට පත බෑ වුනි
ලයිට් එළියට පොර කෑ මෙරු දෙතුන් දෙනෙක්
පිළිස්සී මිය යන අයුරු දුටු සූතිකා බල්බ
ශෝකය ප්‍රකාශ කරමින් කිහිපවරක් ගැස්සුනි
ඈතින් ලංතෑරුමක් මේ අස්සේ සිනා සෙනවා දුටිමි...

කොහොමින් කොහොම හරි
මම නැවතත් පැවසීමට කැමැත්තෙමි
මේ කතා බහ අපි අද
ආරම්භ කල යුත්තේම එතැනිනි...
බීර වීදුරුවක් තව හලා ගමු නේද
කතාව අහන්නට පැමිණි සගයනි...

නමක් ගමක් නොදන්නා තාරුකාවක්
හිටි වනම අහසින් බිමට පනිනවා පෙනුනි
ඉශ්ඨවෙයී, ප්‍රාර්ථනාවක් කරමුද?
කතාව අහන්නට පැමිණි සගයනි
මම නැවත නැවතත් කියමි
මේ කතාව ආරම්භ කල යුතුව තිබුනේ එතැනිනි...

-තිලංක තේනුවර -
අගෝස්තු 21, 2022

No comments:

Post a Comment