Wednesday, December 1, 2021

ආයෙ එන්නැයී කියා කියන විට උඹ ඉතින් නායෙ යනවා පපුව කඩාගෙන පැත්තකින්...




නිදි බේරෙන ඇස් අග අඩ තියාගෙන
මුකුලිත වතින් ආයාසෙන් සිනාසුන
සුකොමළ ඇඟිලි තුඩු ලඟ හිත නතරවෙන
ප්‍රේමෙට ලංසු පවසන්නේ ඇයිද පණ

මධු විත විසිර කැලතුන ලේ හදට ගලා
රාගික හැඟුම් එක දෙක තුන අවදි කලා
හුරතල් ලෙසින් දොඩමළු වුන උඹ දැකලා
නග්න හැඟුම් සේරොම දැන් බැහැර වෙලා

අහන්නට තහනම්ම නිසා මග හැර දැමුව
ප්‍රශ්ණ ඇත කෝටියක් නතර උන හදේ මුව
කිසිවක්ම නොකියාම බලා සිටි මොහොතෙ උව
සෑහෙන්න බර කමක් හිතට එක්කහු කෙරුව

සිහින් ඉඟ ලා දෙතොල් සඳ මුහුණ උරුමැතිය
පපුව හිල් කල හැකිම බැල්ම හිමි රුවැත්තිය
යවට බර දරා ගෙන සිනා කැන් විසි කෙරුව
පවූ කාරයන් අතර උඹ මොකද මුවැත්තිය

බණ කියන්නට බැරිය වැදි රජෙක් වෙන නිසා
දුක අහන්නට බැරිය මා දුකක් වෙන නිසා
සිත නිවන්නට බැරිය මාද ඇවිලෙන නිසා
මුකුත් නොකියත් බැරිය අහිංසක වැඩි නිසා

කිසිවක්ම නොකියාම මොහොතකට නවතිමුද
උනා දැමු සළු පිලිත් හොයාගෙන ඇඳ ගමුද
කාසි ගණනට බෙදන ප්‍රේමයට සමු දෙමුද
ජීවිතේ වැරදි තැන් මකාගෙන සැනසෙමුද

ආයෙ එන්නැයී කියා කියන විට උඹ ඉතින්
නායෙ යනවා පපුව කඩාගෙන පැත්තකින්
කීවොතින් අහනවද ආයෙ පාරක් හෙමින්
දිවුව ඇති හොදටෝම මැණික දැන් නැවතියන්...


-තිලංක තේනුවර-

Thursday, November 11, 2021

විඩින් විඩ මහා කඳුලු පර්වත දමා ගසනා මේ අහේතුක මෝසමට පවසමි.




විඩින් විඩ මහා කඳුලු පර්වත දමා ගසනා 
මේ අහේතුක මෝසමට පවසමි.

අකුණු අහුරු මැද ගෙරවිලි හඬත් සදා
රැයෙන් හොරාගත් කළු පැහැ සළුව විදා
නහර අවුලුවන සීතල සුළග බදා
මෝසම් වැටෙන්නේ එහෙමයී රසය බෙදා

විසිරුනු පිණි බිදිති මල් පෙති වෙලා ගෙන
ඇවිදින අයුරු අඩි පාරත් මකා ගෙන
අනෝරා උනත් ඒ දිය උරා ගෙන
පොළොවත් නිවෙයී ගිනියම් සැර මකාගෙන

අහසේ ලිහිණියෝ සක්මන් කල යුතුය
පොළොවේ රැහැයියන් සී පද කිව යුතුය
තරමට පිරුණු ගංගා හිනැහිය යුතුය
දේදුන්නෙන් සිතිජය යා-විය යුතුය

එසේ නොකර හිතු මනාපෙ ඇද වැටෙනා
අහගන් අහේතුක වැස්සේ වැට පනිනා
අහසට උනත් අඬන්න නිසි කල් තියෙනා
මෝසමෙ ලස්සනත් උඹ හින්දා බිඳුනා





Saturday, September 11, 2021

මිනිස්සු කියැවීම සහ මිනිසුන්ගේ කියවීම.

මිනිස්සු කියැවීම සහ මිනිසුන්ගේ කියවීම.

ජීවිතේ එදි නෙදා අපිට හම්බවෙන මිනිස්සු, අපි ආශ්‍රය කරන මිනිස්සු, අපේ හිතවත්තු, අපිට හිතවත් නොවන මිනිස්සු ඔය හැමදෙනාවම අපි කියවපු විදිහක් තියෙනවා.

අපිත් එක්ක ආශ්‍රය කරන විදිහ, අපි ඉස්සරහ බෙදා ගන්න අදහස් වගේ දේවල් වලින් ඒ මනුස්සය කියන්නෙ මෙහෙම පොරක් කියලා අපි අපේ හිතේ මොඩල් එකක් හදා ගන්නවා.

ඊට පස්සෙ හැමදාම අපි හිතන් ඉන්නේ අරූ මෙහෙම එකෙක්, අරකි මෙහෙම එකියක් කියලා.

ප්‍රශ්ණෙ කියන්නෙ ඔය අපි හදාගෙන තියෙන මොඩල් එක සර්ව සාධාරණද කියන එක.

කෙනෙක් අපි එක්ක ආස්සරේ කරන විදිහයී තව පිරිසක් ආස්සරේ කරන විදිහයී අතර ලොකු වෙනසක් තියෙන්න පුළුවන්.

අපි කියවල තියෙන ඔහු හෝ ඇය වෙන කෙනෙකුගේ කියවීමෙන් හාත් පසින්ම වෙනස් වෙන්නත් පුළුවන්.

මිනිස්සු හැම මොහොතකම 100% ක් අවංක නෑ. ඕනෑම පුද්ගලයෙක් ඉස්සරහ ඔහු හෝ ඇය විවෘත වීමේ සීමාවක් තියෙනවා.

ඒ සීමාවට අදාලව තමා අපි එක්ක ඔවුන් අදහස් හුවමාරු කරගන්නෙ.

මනුස්සයෙක්ව ගත්තම හොදම යාළුවෙක් උනත් සහෝදරයෙක් උනත් ගෙදර අම්ම තාත්ත උනත් ඔහුගේ හෝ ඇයගේ ජීවිතේ නොදන්න පැති කඩක් තියෙන්න පුළුවන්.

මාව ආස්සරේ කරන මිනිස්සුත් මම කියන්නෙ කවූද කියල කියව ගන්න බැරිව කන්ෆුයිස් වෙච්ච අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

"අඩෝ මං දැනන් ඉදියෙ නෑනෙ උබ මෙහෙම එකෙක් කියලා. 

ඇයී බං උබ එහෙම?

උබ එතන වෙනම විදියක්නෙ. කාට පේන්නද උබ ඔය රගපාන්නේ? ඉදහන්කෝ උබේ රෙද්ද ලිහන්න."

ඔය වගේ ප්‍රශ්ණ අහල වාද කරන උන් මේ සමාජෙ ඕන තරම් ඉන්නවා.

එහෙම මනුස්සයෙක්ගෙන් ප්‍රශ්ණ අහන වෙලාවට අපි අපෙන්ම අහගන්න ඕනෙ සෑහෙන්න වැදගත් ප්‍රශ්ණයක් තියෙනවා.

සිරාවටම අපි මේ මනුස්සයව කලින් කියවපු විදිහ වැරදිද?

අපි කියවල තියෙන ප්‍රමාණයට වඩා එහා අවකාශයක ඔහු හෝ ඇය සැරිසරනවනම් පැහැදිලිවම ඒක අපේ දෘශ්ටි කෝණයේ ප්‍රශ්ණයක් මිසක් ඒ මනුස්සයගෙ වැරද්දක් නෙමේ.

හැබැයී මිත්‍රයා ප්‍රශ්ණෙ කියන්නෙ මේ වගේ අවස්ථා වල අපි උත්සාහ කරන්නෙ අපි කලින් දැනන් ඉදපු අවකාශයට ඔහුව හෝ ඇයව කුදලගෙන ඇවිත් ඒකෙම කූඩු කරන්න මිසක් අපි දැනන් ඉන්න පරාසය ඒ මනුස්සයට අනූව ඇජස් කරගන්න නෙමේ.

ඉතිං ඇත්තටම මට කියන්න ඕනේ උනේ මේකයී. හැම තිස්සෙම මනුස්සයෙක්ව කියවද්දි රිඩන්ඩන්සි තියල කියවන්න. 

ඒ මනුස්සය අපි දැනන් ඉදපු පරිධියෙන් එහාට යනව කියල පේනවනම් ඌව අකුලගෙන ඇවිත් අපි දැනන් හිටපු අවකාශෙ හිර කරන්න නෙමේ උගේ අවකාශෙට අනූව අපේ හිත් වල ඉඩ හදා ගන්න උත්සාහ කරන්න.

මිනිස්සු කියැවීම කියන්න්නේ හොද දෙයක්. කෙනෙක්ව අදුන ගන්න, තේරුම් ගන්න, ආදරේ කරන්න, ප්‍රශ්ණෙකදි උදවූ කරන්න සහ කම්ෆටබල් රිලේශන්ශිප් එකක් පවත්වාගෙන යන්න ඒක අපිට උදවූ වෙනවා.

හැබැයී මනුස්සයෙක්ගේ කියැවීමක් ගැන හැම තැනම කියවන්න යන්න ඕනෙ නෑ. මොකද අපි මනුස්සයෙක්ව කියවන්නෙ ඒ මනුස්සයව හැබෑවටම තේරුම් අරන් ආශ්‍රය කරන්න, ප්‍රශ්ණෙකදි උදවූ කරන්න මිසක් ඩැමේජ් කරන්න නෙමේ.

මේක කියවපු එකෙක්ට මොලේ වයර් ශෝට් වෙලා මේකෙ කිසිම ගැලපීමක් නෑ කියල හිතෙන්න පුළුවන්.

වැඩිය හිතන්නෙපා. මං හැමදාම කියනව වගේ ජීවිතෙත් එහෙමනේ. මෙලෝ ගැලපීමක් නෑ. අපි අපිම මහන්සිවෙලා කෑලි අහුලගෙන ගලප ගත්තොත් තමයී.

දැන් ඇති. මට කම්මැලියි. ටටා!!! බායී !!!



වෙලාවකට මට මෙහෙම හිතෙනවා

වෙලාවකට මට මෙහෙම හිතෙනවා...

මගේ අනන්‍යතාවය කියන්නෙ මොකක්ද? ඇත්තටම මම කියන්නෙ කවූද?

කවුරු හරි මාව , මම කියල අදුන ගන්නෙ කොහොමද?

පළවෙනියටම අපේ හිතට එන උත්තරේ තමා රූපය කියන එක. අපේ ඇපියරෙන්ස් එකෙන් තමා කවුරු හරි පළවෙනියටම කෙනෙක් මේ අහවලා කියල අදුන ගන්නේ. 

හැබැයී සීන් එක කියන්නේ මේක එක ෆැක්ටර් එකක් විතරයී.

මචං උබ අරූව දන්නවද කියල කවුරු හරි කෙනෙක් ඇහුවම අපි මුලින්ම අර සුදු එකා, කළු එකා, කොණ්ඩෙ බොකුටු එකා, කොන්ඩෙ බැදපු එකා, හඩ්ඩා, හිපියා වගේ එක එක විදියෙ පිසිකල් ඇපියරන්ස් වලින් ඒ මනුස්සයව විග්‍රහ කරනවා.

පිසිකල් ඇපියරන්ස් එක හැමදාම එක විදියට තියෙන්නෙ නෑනේ. කාලයත් එක්ක මිනිස්සුන්ගෙ පිසිකල් ඇපියරන්ස් එක කියන එක සෑහෙන්න වෙනස් වෙන්න පුළුවන්.

ඉතින් ඒක මතම පදනම් වෙලා අපිට පුද්ගල අනන්‍යයතාවයක් අදුන ගන්න බෑ.

ඒ නිසා අපි කරන්නේ එතනින් එහාට ගිහින් ඒ මනුස්සයගෙ බිහේවියර් එක සාරාංශ ගත කරල ඒකෙන් ඔහුව හෝ ඇයව අදුන ගන්න උත්සාහ කරන එක.

අර ජෙප්පා, අලයා, අලියා, පෙරට්ටා, කුඩු කාරයා, බඩු කාරයා, බඩුව, ගංජ කාරයා, බෙබා, කාලකණ්ණියා, මැරයා, පාතාලයා, සිරිමත්, හොද ළමයා, උපාසකයා වගේ එක එක ජාතියෙ සමාජ නිර්වචන වලින් ඒ මනුස්සයව විග්‍රහ කරනවා.

දැන් මිත්‍රයා මෙතන තියෙනව සෑහෙන්න සාධාරණ ප්‍රශ්ණ ගොඩක්.

මේ විදියට බිහේවියර් පැටන්ස් වලින් මිනිස්සුන්ට ලේබල් ගැහුවෙ කවූද?

ඒ ගහපු ලේබල් එක කොයිතරම් දුරට නිරවද්‍යයද?

අපි ඒ ලේබල් එකෙන් මනුස්සයෙක්ව අයිඩෙන්ටිෆයි කරන එක කොයි තරම් දුරට සාධාරණද?

රූපෙත් වෙනස් වෙනවනම් මනුස්සයෙක්ගෙ හැසිරීම් රටාව සදාකාලිකයී කියල අපිට නිගමනය කරන්න පුළුවන්ද.

ඇත්ත කතාව කියන්නෙ හැම තත්පරයක් ගානෙම මනුස්සයෙක් වෙනස් වෙනවා. 

ජීවිතේ එක එක අවස්ථාවන් වල ඔහු හෝ ඇය මුහුණ දෙන ප්‍රශ්ණ, අභියෝග සහ යුද්ධ ඒ මනුස්සයව වෙනස් කරවනවා.

ඔබ ජීවිතයේ යම් කිසි අවදියක දැනන් ඉදපු කෙනෙක් ඊට අවුරුදු ගාණකට පස්සෙ හම්බෙද්දි, ඔහු හෝ ඇය කියන්නේ ඔබ කලින් දැන ගෙන ඉදපු මනුස්සය නොවෙන්න පුළුවන්.

ඉතින් කලින් නිගමනය කරපු මොඩල් එකකින් ඒ මනුස්සයව අදුන්වන එක ටිකක් සාධාරණ මදි නේද?

කොහොම උනත් මේ කතාන්දරේ සාරාංශය  තමයී අපි අපේ කියල හිතන් ඉන්න අයිඩෙන්ටිටි එක ඇත්තටම අපේ නෙමේ. ඒක සමාජ නිර්මිතයක්.

ගෙවෙන හැම තත්පරයක් ගානෙම අපි උත්සාහ කරන්නෙ අපිට කියලා යුනික් අයිඩෙන්ටිටි එකක් හදා ගන්න.

හැබැයී රහම සීන් එක කියන්නෙ අපි ඔය වලි කාල ගොඩ නගා ගන්න හදන අයිඩෙන්ටිටි එක නිර්වචනය කරන්නෙ සමාජයෙන්.

සමාජය කියන්නෙ බහුතර මතය.

එතකොට අපි මේ ඩේලි රේස් දුවන්නේ බහුතර මතය සන්තෘප්තියට පත් කරන්නද?

මට තේරෙන විදියටනම් මේක මහ තේරුමක් නැති මහන්සියක්.

අයිඩෙන්ටිටි එකට බම්බු ගහන්න කියල ගෙවෙන හැම තත්පරේම අපි අපිම වෙලා හිටියොත් ඒක සෑහෙන්න වටිනවා.

ඇත්ත කතාව තමා අපිට කිසිම මනුස්සයෙක්ව ජජ් කරන්න බෑ. මොකද ඒ මනුස්සයගෙ ජීවිතේ දශමෙන් පංගුවක් වත් අපි කියවල නැති නිසා.

මනුස්සයෙක්ව අයිඩෙන්ටිෆයි කරන්න ඕනෙම නම් කියවන්න ඕනෙ රූපෙවත්, ඒ අවස්ථාවේ බිහේවියර් එකවත් නෙමේ. ඒ මනුස්සයගෙ තින්කිකින් පැටන් එක.

ඔවූ ඉතිං තින්කින් පැටන් එකත් කාලයත් එක්ක වෙනස් වෙන්න පුලුවන්නෙ කියල කෙනෙක් කියයී.

ඔවූ ඒක හරී. හැබැයී කතන්දරේ කියන්නෙ තින්කින් පැටන් එක වෙනස් වෙන්නෙ ඒ මනුස්සය ජීවිතේ මූණ දීපු හැබෑ අත්දැකීම් එක්ක. ඒ මනුස්සය සටන් කරපු යුද්ධ වල අත්දැකීම් තමා ඒ මනුස්සයගෙ චින්තනය හදන්නෙ. අර පරිණත වෙනව කියල කියන්නෙත් ඔන්න ඕකට තමා මන් හිතන්නේ.

ඔය රෙද්දවල් වැඩක් නෑ. අහක යන සමාජෙ උන්ට ආතල් ගන්න අපි ණය වෙලා ඩීජේ ගහන්න ඕනෙ නෑනෙ.


ඒ මහන්සියෙ අපි අපිම වෙන්න උත්සාහ කරමූ.

මේකෙ කියවපු එකෙක්ට මුලයී අගයී බැලුවම මනස කැළබිලා මොලේ වයර් ශෝට් වෙන ගතියක් දැනෙයී.

ගණන් ගන්නෙපා. නිතරම මම කියනව වගේ ජීවිතෙත් එහෙමනෙ. කිසිම ගැලපීමක් නෑ. අපිම තමා මහන්සි වෙලා ගලප ගන්න ඕන. 

ඉතිං අන්තිමට මට කියන්න තියෙන්නෙ මෙච්චරයී. කොච්චර අහේනියෙ ඉදියත් ගංජ ගහල ගුලි කන්න නම් එපා.


මේ සංසාර විරාමයේ හමුවූ සියළු සොදුරු මිනිසුන් වෙත

මේ සංසාර විරාමයේ හමුවූ සියළු සොදුරු මිනිසුන් වෙත.

මග තොටදී හමුවූ විට ඔබ හා සිනාසීමට අමතක වූ අවස්ථා තිබෙන්නට ඇත.

නිමේශයකට සිනාසී ගියද ඔබේ දෙනෙත් වලින් ප්‍රකාශිත හැගුම් කියවා ගැනීමට නොහැකි වූ අවස්ථාවන් තිබෙන්නට ඇත.

එසේ හැගුම් කියවා ගත්තත් ඔබට ඇහුන්කම් දීමට අතපසු වූ අවස්ථාවන් තිබෙන්නට ඇත.

ඒසේ අහුම්කන් දුන්නද ඔබට පිළිතුරක් දීමට මගෑරුනු අවස්ථාවන් තිබෙන්නට ඇත

පිළිතුරක් දුන්නද ඔබට හදවතින්ම උදවූ කරන්නට නොහැකි වූ අවස්ථාවන් තිබෙන්නට ඇත

ඒ සියළු දේ වෙනුවෙන් මම ඔබෙන් සමාව ඉල්ලමි.

සුදු හෝ කළු කියා මිනිසුන් නැත. සාන්තුවරු මේ සමාජයේ නැත්තා සේම අන්ත දුශ්ඨ මිනිසුන්ද මේ සමාජයේ නැත.

මිනිස්සු අළු පාටය. සුදු සහ කළු අතර ජීවිත කාලාවර්ථය තුල මොහොතක් පාසාම දෝලනය වෙන මිනිස්සු හරි ලස්සනය.

එකිනෙකාට තම තමන්ට ආවේණික වූ ජීවිත යුද්ධයන් ඇත. එකී යුද්ධයන් ගෙන් හෙම්බත් වූ අයෙකුගෙන් මොහොතකදී සිදු වන වැරැද්දකින් ඔහුගේ හෝ ඇයගේ ආත්මයම අර්ථකතනය නොකරන්නැයී මම ඔබෙන් බොහෝ ආදරයෙන් ඉල්ලමි.

හැමදෙනාම ආදරයට කැමතිය. නමුත් ආදරය ලබන්නට විනා බෙදන්නට උත්සාහවන්ත වන්නේ බොහොම අතලොස්සකි.

ජීවිතය ලස්සන බෙදා ගන්නා තරමටය. ආදරය ලස්සන පතුරවන තරමටය.

මට ඇත්තටම ඔබට කියන්නට ඕනෑ කරන්නේ ජීවිතය කෙටි බවය. හිත පුරා ආදරය කරන්නටවත් හිත පුරා ආදරය විදීමටවත් මේ ජීවිතය කියන්නා වූ කාලාවකාශය ප්‍රමාණවත් නොවීමට පුළුවන.

එනිසා වෛරය වෙනුවට ආදරය පතුරන්නත්, නරක වෙනුවට යහපත පතුරන්නත් අපි සියල්ලෝම උත්සාහවන්ත විය යුතු නොවේද.



මේ වාක්‍ය රචනයේ මුල කියවා අගට එන විට

මනස විකාරයක් වී මුල අග නොගැලපේ යැයී ඔබට හිතෙන්නට ඉඩ ඇත.

සාධාරණය. එසේ විය හැකිය. ජීවිතයද එහෙමය. බැලූ බැල්මට අගක් මුලක් හොයාගන්නට නැත. ගැලපීමකුත් නැත. එ නිසා කෑලි අහුලා අපි අපිම ගලපා ගත යුතුය. 

දැන් ඇතිය. මට කම්මැලිය. අවසාන වශයෙන් කියන්නට ඇත්තේ ගංජා සමග ගුලි කෑමෙන් වලකින ලෙසය.

Tuesday, July 20, 2021

සුදු, කළු සහ අළු

ගලවා ඉවත් කර
ඇස් බැදි යුවතියගෙ තරාදිය
තුල්ය කරවයී දෙපැත්තට
කාසි මළු බරට නීතිය...

සුදු සහ කළු ලෙසින්
බෙදා වෙන්කරවා ගත් චරිත
අනුන්ගේ වේදිකාවක
සදා කාලික යුද්දයක...

කළු උන් නසන විට
හූ තබා සමරමින් ප්‍රීතිය
මදු බදුන් බිදෙද්දී එක එක
මහා සද්දෙනි කීවේ උදාන පාඨ...

සුදු උන් මැරෙන විට
කදුලු කැට ග්‍රෙනේඩ එකතු කොට
වීසි කර උන්ගෙ සොල්දාදුවන් දෙසටම
මොරාල් කර යවයී අහේතුක යුද්දෙට...

ඇලවූ ලේබල් දිහා බලමින්
අංශු මාත්‍රය දක්වාම බෙදෙමින්
මරා ගන්නවා මිසක් නොදකී
උන් සියල්ලන්ටම පොදු වූ අළු පාට...




    

Saturday, July 10, 2021

යකඩ...

 

මිටි පහර සිප වැලද
සිනා වූවා මිසක
මම්මලෙත් එක්කලා
උරණ වුනෙ නැහැ යකඩ...

තැලි තැලී ගිනියමට
පන්නරේ ලැබුව මිස
අඩ අඩා විමුක්තිය
හෙවුවෙ නැහැ අතරමග...
 
එහෙවු දුක් ඉවර කොට
මහා තෙද බල ඇතිව
කොන්ක්‍රීට් කදු පවා
ඉසිලුවයී ඒ යකඩ...

Friday, July 2, 2021

අහසක් දරා ඉන්නේ කවුරුද පොළවම හැර...

අහසේ ලැගුම් ගෙන දිලෙමින් හිටියාට
ඉර හද තරු කියා අයිතිය බෙදුවාට
ඉද හිට හඩන විට ඉවසනු බැරි දුකට
පොළවයී ඉහුලුවේ අහසක කදුළු කැට

Thursday, June 17, 2021

සොඳුරිය, ප්‍රේමය කියන්නෙම බිහිසුණු මාතෘකාවක්...

නිවුනොතින් වරුවක්
හදත් එක්කම තරුත්
රැයේ කළුවර පවසාවි
කොයි තරම් ගැඹුරුයිද අහසක්...

විරහවක් දැනුනු හවසක්
කවුරුත්ම නැතිව මොහොතක්
ගතකලොත් වැටහේවි
කොයි තරම් දරුණුයිද ප්‍රේමයක්...



Friday, June 11, 2021

මළත් ඇවිදින මල් 2



ඉතුරු ඇති මකරන්ධ සේරොම
ගසක දෙපතුල ලගට විසිකොට
මලක් පරවී යන්න මත්තෙන්
මෙලෙස පවසයි දුක තුනී කොට...

හුගක් ඉඩ ඇති අතු අගිස්සේ
තවත් පොඩි මල් පිපෙනවා
තවත් හිටියොත් බරයි අත්තට
ඒ නිසා මං බහිනවා
යන්න කලියෙන් කියන මේ ටික
හොදයී දැන්වත් අහනවා...

රළුම නපුරුම සුළං පාරට
තදට මුල් ඇද නොසැලි හිටියට
අතු අගිස්සේ ළපටි මල් පොඩි
පෝලිමට බිම වැටෙනවා
ඒ නිසාවෙන් ඌට ඉඩ දී
ඔහේ පොඩ්ඩක් නැවෙනවා...

මලට නොරිදා රොණ් උරන්නට
කියා එන සමනල්ලු පෝලිමෙ
පෙතිත් පොඩි කර රේණු වනසන
සමහරක් උන් ඉන්නවා
ඒ නිසාවෙන් කල්පනාවෙන්
කැකුළු මල් රැක ගන්නවා...

ගසක වේසෙන් දිවි ගෙවන එක
ලේසි නැති බව දන්නවා
කැති පොරෝ මිට මෙලෝගත් උන්
එමට යුද්දෙට ඉන්නවා
ඒත් තාමත් ලැජ්ජ නැතිකම
උන්ට හුස්මත් බෙදනවා...

පිපුනු පසු හැම මලක නැවතුම
පරවීම බව කියනවා
ඒ නිසාවෙන් සුළං සේලෙට
මමත් හෙමිහිට වැටෙනවා
මළත් සුළගේ ගිහින් තා දුර
ගසක් වී මං හැදෙනවා...

මළත් ඇවිදින මල් 🌼

ඉතුරු ඇති මකරන්ධ සේරොම
ගසක දෙපතුල ලගට විසිකොට
මලක් පරවී යන්න මත්තෙන්
මෙලෙස පවසයි දුක තුනී කොට...

හුගක් ඉඩ ඇති අතු අගිස්සේ
තවත් පොඩි මල් පිපෙනවා
තවත් හිටියොත් බරයි අත්තට
ඒ නිසා මං බහිනවා...

පිපුන මලකට උරුම විදියට
මමත් පරවී වැටෙනවා
මළත් සුළගේ පාව ඈතක
ගසක් විදිහට නැගෙනවා...

-තිලංක තේනුවර-




Tuesday, June 8, 2021

හාමුදුරු හොරුනි

 

සසර කෙටි කරන මාවත අගුළු දමා

නිතර ඇහෙන වැදි බණ ටික දෙසන තුමා

විසිර සාසනේ වනසන විසර තමා

නතර නොකොලොතින් ඉවරය දහම අමා

Monday, June 7, 2021

තවත් ගැහේවිද හදවත


සිනිදු සුකොමළ ඇගිලි තුඩු නලවා
සියක් වර පිරිමැද කාශ්ටක පිරිමි පපුවක්
සංසුන් කරවා රුධිර ගමනා ගමනයද
ප්‍රේමය යැයි ලේබල් කරන ලදුව
අධි සාන්ද්‍ර විස කුප්පියෙන් 
මාත්‍රා කීපයක්ම ගෙන එක පෝලිමට පොවා
සිහි මද ගතියෙන් සිටි 
අනපේක්ශිතම මොහොතක
දසැගිලි අග විහිදුනු පිහිතුඩු එල්ල කර
ඇන්නේය පපු කුහරයේ වාමාන්තයට...

අල්ලා මහා කිරීටක ධමනියේ බෙල්ලෙන්
විසන්ධි කර ලේ පිඹින රුධිර නාල
ගලවා ගත්තේය හෘදය වස්තුව ඈ අතට...

තාමත් ලාවට ඇසෙන ලප් ඩප් ශබ්ධය
සම්පූර්ණයෙන් මැකී යන්නට මොහොතක් තියා
විමසයී මේ විනාසයට හේතුව
හදවතේ අයිතිකාරයා...

කදුලු කැට දෙක තුනක් තුවාලයට හලා
හැගුම් විරහිත හාදුවක් දෙතොලතර තබා
තව මුකුත් නොකියාම
ඈ කොහේ හෝ යන්නම ගියා...

ආ ඔවූ
ලේ වැගිරෙන හෘදය වස්තුව,
ඈට වැඩක් නැති නිසා
ඒක 
අයිතිකාරයාටම දීලා ගියා...

-තිලංක තේනුවර-

Thursday, May 20, 2021

දිල්කි නගාගේ උපන්දිනයට

විසි එක ලබපු සතුටට උඩ පැන නටනා
ඇච්චෙකි තාම හය හතරත් නොම දන්නා
නංගියෙ හොදට මේ කවි ටික අහගන්නා
සාදු කාරයක් දී දැන් වැදගන්නා..

ඇහුවොත් ඉතින් කොළබ හතේ සුදු නෝනා
ඒ උනාට පාරක් තොටක් නැත දන්නා
කොළබ වටේ යන්නත් මැප් එක පතනා
ගූගල් දෙවි පිහිට නැති නම් අබ සරණා

නැති ප්‍රශ්ණත් ඇති කර රණ්ඩුවට සමත්
ඔරවා ගොරවලා බය කර ගනී යටත්
පොඩි දේටත් හිත රිද්දා ගෙන නැටුවත්
නංගිම නිසා සතුටකි ඔය හැම දේමත්...

දිගට හීනියට නිය පොතු වවාගෙන
මුවහත තියා හොද හැටි පණ පොවා ගෙන
තරහක් ආ විටදි ජනියව දමාගෙන
හූරපු ලකුණු තාමත් නැත මකාගෙන

ආතල් ඉවරායී...

දගකාර වැඩකාර හැඩකාර අපි වගේ
අයියලා ලබන්නට පල දුන්නු පින අගේ
දුකේදිත් සැපේදිත් සනසන්න හිත බොගේ
ඉන්නවා හැමදාම අපි ඉතින් මගෙ නගේ

කැම්පස් ජීවිතේ කියන්නෙම මහ හුගක්
රස වගෙම විස තියෙන ලස්සනම ලෝකයක්
කල්පනාවෙන් යන්න පාර ඇත මහ දුරක්
විදගන්න හැමදේම පරිස්සම මහ මෙරක්

සතුට වාගෙම දුකත් ජීවිතේ තියෙනවා
හැමදේම අත්දැකුම සෑහෙන්න වටිනවා
දුක උනත් හිනාවෙන් ජයගන්න කියනවා
ඒ උනත් කදුලටත් තේරුමක් තියෙනවා...

උපන්දිනේට විශ් එක,

සුමුදු මුදු මල් සේද ඇදිලා යනෙන මග නුඹ සුවද වේවා
සිනිදු සිත රිදවනා කිසිදේ නුඹේ දිවියට හමු නොවේවා
පිණිදු වැහි බිදු දිවිය කතරේ විඩා නොමදී ඇද වැටේවා
රිවිදු සේ දිලි දිලී සැමදා ජීවිතය සරු සාර වේවා !!!
    

Thursday, April 8, 2021

සෑම වර්ශාවකට පසුවම අහසේ ඇතිවේ දරුණු හිස්කමක්...

සෑම වර්ශාවකට පසුවම අහසේ
ඇතිවේ දරුණු හිස්කමක්
දිය වූ වලා තිර අකුලන සුළග හැර
ඉතිරිය මහම තනිකමක්...

කෝටියක් ප්‍රශ්ණ අස්සෙත්
හිනාවී හිටි එකම පුදුමයක්
අහසක් අඩනවානම් සත්තයී ඒ
දරාගනු බැරිම තැන කරුමයක්...

අහිමි මුත් පෙර ලෙසම දළු ලන
ආදරේ හරිම පුදුමයක්
දුරින් සිට ආදරේ වැඩුමට
අහසකට කොහිද තහනමක්...

සිතිජයේදී එකතු වෙන්නට
හීන දැක්කද අපමණක්
අහසකට පොළොව කියන්නේ තාමත්
අයිති කර ගන්ට බැරි වෙච්චි ප්‍රේමයක්...

සෑම වර්ශාවකට පසුවම ඇතිවේ
පොළොවෙන් අහසටම පාලමක්
පුරවා සප්ත වර්ණාලේපිත හීනයන්
එක් කරයී මොහොතක් - කල්පයක් මග හැරුනු දෙහදක්...

කොයි තරම් ඇවැසි මුත් අහසට
දේදුන්න ද අවසනක් වෙයී - ඒක නියමයක්
මොහොතකට හමුවෙන්න මහ පොළොව ආයෙම
එක්කහු කරනවා අහස - කළු වලාකුළු මහ ගොඩක්... 




Monday, February 22, 2021

ගසක් වෙන්නට තිවුනනම් මට...



ගසක් වෙන්නට තිවුනනම් මට
කියා මොහොතක හිතෙනවා
සෙවන දී සුවහසක් උන් හට
විඩා කුසගිනි නිවනවා...

කොහොම කෙරුවත් දුරක් නොදකින
අමන මිනිසුන් සිටිනවා
දිවිය රැකදී කුසත් පුරවන
ගහම උදුරා දමනවා...

අන්න ඒ හින්දාම එකවර
බයක් හිත ලග රඟනවා
ගහක් වෙනවට හොදයී මිතුරනි
ඔන්න ඔහෙ මං ඉන්නවා...



Sunday, February 21, 2021

සමනලීගෙ හාදුව...


මට අද අහම්බෙන් අහන්න හම්බෙනවා සමනලී ෆොන්සේකා ලගදිම කරපු සිංදුව, හාදුවක්.

මුලින්ම කියන්නෝන සිරාවටම සමනලී කියන්නෙ සිංදු කීපයක්ම කරල තීන ගායිකාවක් කියල මං දැන ගත්තෙත් අද. ඒකත් මගේ මිත්‍රයා තාරක නිසා.

ඔහේ ඇදේ හාන්සි වෙලා Rahat Fateh Ali Khan ගෙ සිංදුවක් අහ අහ ඉද්දි බලහත් කාරෙන්ම සමනලීගෙ හාදුව මගේ කන් අස්සට එබුවෙ තාරක. 

මට දැන් ඇහෙනවා බොහොම පරිණත කට හඬක්. නිකම්ම නිකම් සාමාන්ය හඬක් නෙමේ, ඒක ඇතුලෙ දෝංකාර දෙන මහ අමුතු වේදනාවක් තියෙනවා කියල මට හිතෙනවා. ඕනෑම වෙලාවක ඕනෑම භාවයක රැදිල ඉන්න මනුස්සයෙක්ගෙ හිතට අලවංගු පාරක් ගැහුව වගේ පර්මිට් නැතිවම කිදා බහින්න පුළුවන් හඩක් ඒක. 

මම තාම පිළිගන්නෙ නෑ මේ හඬ සමනලීගේ කියලා. මට හිතෙන්නෙම නන්දා මාලනී මහත්මියගෙ සුහුඹුලෙක් කියලා. 

බැරිම තැන මං අහනව මගේ මිත්‍රයගෙන් මචං, සමනලී නන්දාගේ නෑයෙක්ද? 

"තොට පිස්සුද උගුඩුවෝ. වාසගම බලපන්. ෆොන්සේකා. ඔන්න මාලනීගේ නෑයෙක්ද ඇහුවනම් සාධාරණයී. උබට සිරාවටම මේ කලා ඉතිහාසය ගැන අවබෝධයක් ඇත්තෙම නැද්ද."

මිත්‍රයාගෙන් එහෙම පිලිවදන් හම්බෙද්දි මං හිතනවා මෙහෙම. සමනලී හරි සලඹයෙක් හරි මොකෙක් උනත් මට මොකෝ. වොයිස් එක පට්ට. ආයෙ දානව සිංදුව මුලට. 

දෙවෙනි පාර සිංදුව අහද්දි හිතට දැනෙනවා මහා බරක්. ඒ දෝංකාර දෙන හඬ, හිත පුරාවට අලවංගු පාරවල් ගහල ඊයම් බරුත් බස්සල ගිහපු හැඩක් තියෙන්නෙ. 

සමනලී වගේ හරි සැහැල්ලු ලස්සන නමක් තියාගෙන මෙච්චර ටොන් ගානක බරක් ආගන්තුක හිත් අස්සට ඔබන්න තරම් ගම්‍යතාවයක් තීන වොයිස් එකක් කොහෙන්ද ඔහේට හම්බුනේ? 

මගේ හිත ප්‍රශ්ණ කරනව සමනලීගෙන්. 

හිතට දැනිච්ච ඒ මහා බර තනුව සහ සමනලීගේ හඬ අතර සරළ අනුවර්තීය චලිතයක යෙදෙද්දී මම උත්සාහ කරනව ලිරික්ස් එක්ක මේ බර ගලපන්න...පාහන්න...

ලිරික්ස් දිහා බැලුවම සංක්ශිප්තය ගත්තොත් අහන්නෙ හරි සරළ ප්‍රශ්ණයක්. ප්‍රසිද්දියෙ කොල්ලෙක්ට කෙල්ලෙක්ට ආදරේ කරන්න බැරිද, බැරි ඇයි වගේ කතාවක්.

ප්‍රශ්ණෙනම් හරි සරළයී තමා බැලූ බැල්මට. ඒත් මේකෙ උත්තරේ ගැන කල්පනා කරද්දි තමා කතාව ටිකක් සංකීර්ණ වෙන්නෙ. සමාවෙන්න වැරදුනා. ටිකක් නෙමේ සෑහෙන්න සංකීර්ණයී.

සමනලී ප්‍රමුඛ මේ සිංදුවෙ අයිතිකාරයො සමාජයෙන් අහන මේ සරළ ප්‍රශ්ණය අපේ තියෙන සම්මතයන් සහ අසම්මතයන් සියල්ලම දෑතින්ම බදල හොල්ලා දමනවා කියලයී මට හිතෙන්නෙ.

හිතන්න මෙහෙම, ඔබ යනවා පාක් එකක් පැත්තට. එතනදී ඔබ අහම්බෙන් දකිනවා දැත් පටලා ගත් තරුණ යුවලක් බංකුවක් උඩ තුරුල් වෙලා ආදරෙන් ඉන්න දසුනක්. තව ටිකකින් අර තරුණිය සහ තරුණයාගේ දෙතොල් ඒකාත්මික වෙනවා.

දැන් මේක දකින සමහර කෙනෙක් උන් දෙන්නට පේන්නෙ නැති වෙන්න මේ දසුන බොහොම පහත් විදිහට රස විදීවී. තව එකෙක් හරිම අප්පිරියාවක් මවාගෙන උන් දෙන්නව ජාතියක් ජන්මයක් නැති වේසාවො දෙන්නෙක් කියල හන්වඩු ගහවි. 

හොදම එක වෙන්නෙ පොලීසියෙ මාමල දැක්කොත්. අයිඩෙන්ටියෙ ඉදන් ඇදන් ඉන්න යට ඇදුමෙ පාට වෙනකම්ම චෙක් කරලා නොහොබිනා ලෙස ප්‍රසිද්දියෙ හැසිරීම කියල බෝඩ් එකකුත් ගහල පොලීසියට කුදලගෙන යාවී. 

දැන් මිත්‍රයා මෙතන තියෙනව බොහොම තාර්කික ප්‍රශ්ණයක්.

ආදරය ගැන අවුරුදු දහස් ගණනක් තිස්සෙ කවි සී පද ලියැවිච්ච රටක් මේක. ආදරේ වෙනුවෙන් රජ කම අතෑරල පාරට බැහැපු රජ කුමාරවරු, රජ කුමාරියො ඉදපු ආදරේ වෙනුවෙන් කළු ගල් දියකරල පිළිම අඹපු මහා නිර්මාණකාරයො ඉදපු රටක්. 

එහෙවු රටේ ප්‍රසිද්ධියෙ ආදරය කිරීම මේ තරම් නිහීන කාරනයක් කියල සමාජ ගත කරේ මොකාද?

දැන් සමහර එකෙක් කියයී ප්‍රසිද්දියෙ ආදරේ කරනවට නෙමේ මේ තහංචි තියෙන්නෙ ආදරේ කරන ගමන් අර ෆිල්ම් වල යද්දි කොටු දාන කිස් කරන සීන්, බදා ගන්න සීන් වගේ ඒවට විතරයී කියලා.

දැන් තීනවා ආයෙම අරම ප්‍රස්නයක්.

ඔය කිස් කරන සීන් හග් කරන සීන් ආදරයේ කෑලි නෙමේද? ඇරත් ප්‍රසිද්ධියෙ කරන්න පුළුවන් සහ බැරි දේවල් කියලා ආදරේ දේශ සීමා නිර්වචනය කරපු මහා බ්‍රහ්මයා කවුද?

මේ සේරොම ඇවිත් අපේ ඇටිටියුඩ් වල අවුල් නිසා වෙච්චි සන්තෑසි. සමාවෙන්න ආයෙම වැරදුනා. ඇටිටියුඩ් වල අවුල් නෙමේ, ඇටිටියුඩ් අවුල් කරපු නිසා වෙච්චි සන්තෑසි. 

අවුරුදු දෙදාස් පන්සීයක අහවල් එක කියල ඉස්කෝලෙ කාලේ ඉදන්ම පුංචි උන්ගෙ හිත් වලට පොවන්නෙ විස. ලිංගිකත්වය කියන්නෙ මහා මැජික් එකක් කරලා, සෙක්ස් කියන වචනෙ ඇහුනත් කලන්තෙ දාල වැටෙන ලොන්ත පොල් සමාජ සම්මතයක් ගොඩ නගපු පොල්පොට්ල ඉතිහාසෙ ඉදම්ම ගහපු ගේම් වල ප්‍රථිඵල තමා මේ අපි අත් විදින්නෙ.

ඔය අවුරුදු බර ගාණක සම්මතයෙන් ෆෝම් වෙච්චි  සමාජයෙන් තමන්ගෙ ප්‍රයිවසි ආරක්ශා කරගන්න ගැහැණියෙක්ට සහ පිරිමියෙක්ට සෑහෙන්න මහන්සි වෙන්න වෙන කාලයක් මේක. ඇයී ඉතින් පොඩ්ඩක් හරි එහා මෙහා උනොත් තමන්ගෙ පෙම්වතා හෝ පෙම්වතිය සමග කරපු ආලවට්ටම් සේරොම සයිබර් කුණු බක්කියේ. 

ඉතින් යාළුවා ප්‍රසිද්ධියෙ තියා අප්‍රසිද්ධියෙවත් ආදරේ කරන්න සුදුසු සමාජෙකද අපි ඉන්නෙ කියන එක සමාලෝචනය කරල බලන්න වටිනව අපි අපිම.

තව එකෙක්ගෙ ආදරයක් උහුලන්න බැරි තරමට ඉරිසියාවක් මේ සුන්දර මිනිස් හිත් වලට පොම්ප කරේ කවුද? 

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මෙච්චරයී. මේ සිංදුවේ සමනලී අහන ප්‍රශ්ණය අපේ වෙන දවසක් හැමෝටම එයී. අන්න එදාට අපි කලින් දුන්න දාර්ශණික ටෝක් සහ පිළිතුරු තව දුරටත් වලංගු වෙන එකක් නෑ.

ඒ නිසා අපි ඒ දවසට ලෑස්ති වෙමු.  කවුරු හරි උන් දෙන්නෙක් පාක් එකේ හරි මහ පාරෙ හරි බස් එකේ හරි ආදරෙන් තුරුලු වෙලා ලවූ කරනව දැක්කොත් පිටසක්වල ජීවින් දිහා බලන විදියට උන් දිහා බලන එක නවත්තමු. අනේ වාසනාවන්. කොච්චර හොදද. උන් දෙන්න පට්ට ආදරෙන් ඉන්න ජෝඩුවක්.ප්‍රසිද්දියෙ කිස් කරන්න බැරිනම් වඩාගෙන නටපං. ඒක උබලගෙ කැමැත්ත. ඒක උබලගෙ ආසාව. උබලව ජජ් කරන්න අපි කවූද? 

අන්න ඒ විදියට අනුන්ගෙ ආදරේ ඉවසන්න පුළුවන් ලෙවල් එකට එමු. අන්න එදාට මේ සමාජෙ තවත් ලස්සන වෙයී. සුන්දර වෙයී. ආදරණීය වෙයී. සංවේදී වෙයී. සංවර්ධනය වෙයී. 

ආදරේ කියන්නෙ පරම පූජනීයත්වයට පත් කරල, ගල් කැටයම් අස්සෙ රිංගෝලා කබඩ් වල දාල දූවිලි නොවදින්න අරන් තියන්නෝන එකක් කියල හිතාගෙන ඉන්න තාක් කල් මේ රටේ ආදරයට සමාජ ගත වෙන්න ඉඩක් හම්බෙන්නෙ නෑ වගේම අපේ රටේ මිනිස්සු ආදරණීය වෙන්නෙත් නෑ කියන එක සමාජ සම්මත පඩත්තරයන්ට බොහොම ආදරෙන් කියා දෙන්නත් අපි උත්සාහවන්ත වෙමූ.

ඉතිං සමනලී, පූජාසන වල නන්වා යතුරු අගුළු දමා අරන් තියපු ආදරේ, කුදලගෙන ඇවිත් සමාජ ගත කරන්න නූතන මානවකයන් මානවිකාවන් දිරි ගන්වන නිර්මාණ වැඩි වැඩියෙන් දායාද කරන්නට, ඔබට තව තවත් ශක්තිය ලැබේවා. ජය !!!

    

Saturday, February 6, 2021

*මලිනි දි මැරයාලංකාරය*



ගුලි කෑවා වගෙ නිතරම හිනාවය
අලි සද්දෙන් බෙරිහන් දී කතාවය
සුලි සුළගත් ඇඹරී යන ගමනක්ය
වලි සිරි මලිනි මැරයෙකි මෙහෙ ප්‍රසිද්ධය

නාවල මලිනි කිවුවොත් කොයි රටෙත් ඉතින්
මාමල උනත් පොලිසියෙ හරි බයයී මචන්
පාගල පදින නිල රථයෙන් තමයි ගමන්
වාසල හැටේ වත්තෙයී ඇගෙ ගමයී උපන්

චොප්පෙ පතෝලය නවුෆර් පොඩි සුනිලා
හිච්චි ගුණේ කුඩු මොහොමඩ් සහ රනිලා
නන්දසේන හැටේ වත්තෙ හොටු ප්‍රමිලා
සේරොම බයයී නම ඇහුවත් යයි මැරිලා

කප්පන් තමයී ජීවිකාව කර ගත්තේ
ඉක්මන් කෝපෙටයී බෙහෙතුත් අර ගත්තේ 
සක්මන් කරනවා දැන් ග්ලෝමාක් පැත්තේ
බලපන් රොබරියට වෙන්නැති එන්නැත්තේ

*මලිනි දි මැරයාලංකාරය ඉවරය*

සුමුදු මුදු මල් සේද ඇදිලා යනෙන මග දිවි සුවද වේවා
සිනිදු සිත රිදවනා කිසිදේ ඔබට කිසිවිට හමු නොවේවා
පිණිදු වැහි බිදු දිවිය කතරේ විඩා නොමදී ඇද වැටේවා
රිවිදු සේ දිලි දිලී සැමදා ජීවිතය සරු සාර වේවා !!!

Wednesday, January 20, 2021

ඉමන්තාලංකාරය

ජන්මදින් මුභාරක් හෝ වග්ගය | ලේට් සබ්මිසන් වෙළුම.

*ඉමන්තයාගේ විසි හත*

(ගජ බින්නා වලියේ එක්කෝටි විසිපන් හයසිය විසි හතලිස් තුන් දාස් බිංදුව වෙනි සංස්කරණය)


ජනවාරියේ කම්මැලි සීතල මකනා
ඉරකාරියේ උනුහුම ලෝකෙට එබෙනා
හැකි වීරියේ කවි පද එළිවැට පනිනා
අතනෑරියේ උබ හින්දයි බකමූණා

සුරා සූදුවෙන් තොර සිරිමත් බමුණා
සරා සිවු අතම ඌ එහෙමයී කියනා
හොරා උනත් සළු පිලි සුදුවට අදිනා
සිරා කියා රැවටෙයි මිනිසුන් දකිනා

බාර් එකක් දුටුවිට අසුනින් ඉස්සී
පෙන්වයි පිදිය යුතු තැන ගවුරවේ නිසී
සූර් වෙලා කරටි කඩන් කොල්ල බිසී
වන්නම් නැටුම් ඉන් පසු කරලියට බසී

නංගිලාගෙ දුක අහනට හරි රුසියා
අක්කලාගේ හරි හුරතල් කොලු පැටියා
ඇන්ටිලාගේ තනිකම මකනා දෙවියා
කොල්ලො උනත් අවුලක් නෑ මූ දසයා

ගංජද ගුලිද හෑශ්ද බොට ඕන සිරා
ටැබා මොරොක්කන් පැණි හතු දෝත පුරා
ඕනෑ වෙලාවක ඇති තිප්පොලයි සුරා
ඉස්පා එකයි මුගෙ නැවතුම ලොවට හොරා


***ආතල් ඉවරයී***දැන් සිරා ටිකක්***


දිවි කතර සරණතර අපි මිතුර හමු උනා
සවි තිසර බැම්මකින් සදහටම යා උනා
රවි ඉසිර කිරණ මෙන් අදුරෙදිත් දිලිසුනා
නිවි නිවී තරු කැටත් උඹෙ ලගම නැවතුනා

ස්නේහයේ වැස්සක්ව නිවා කර්කශ පොළව
ප්‍රේමයම පතුරන්න දිරි ලැබෙන් අඩු නැතිව
සාමයේ පරවියත් වැලපෙද්දි තටු නැතිව
හැමදාම රැදීයන් සතුට සාමය දිනුව

වැටෙන විට නැගිටින්න වාරුදී දිරි දෙන්න
තැවෙන දුක් කම්කටොළු මකා හිත සනසන්න
දැවෙන මේ ජීවිතය නිවෙන කම් පණ දෙන්න
නිවන තෙක් එකට ඉමු සංසාරෙ ඇවිදින්න

සුසිරි මල් වැහි ඉහිරි ඉහිරී යනෙන මග උඹ සුවද 
දේවා
විසිරි පිණි බිදු එක්ව පවනට එමග දිගටම සිසිල 
වේවා
ඉහිරි විදුසර රැයද විනිවිද අදුර කිසි විට මගක 
නේවා
මිහිරි සුමිහිරි සසිරි බර විසි හතට මේ ලෙස අසිරි
එවුවා


*දැන් මේ අටමගලය ඉවරය***වැඩක් බලා ගත්තොත් යෙහෙකිය* 

අපමණ දුක් ගැහැට විද කාර්යයාල වේලාවකදී රචනා කොට ජනසතු කරන ලදී. 

තිලා.




ප.ලි - මෙහි දැක්වෙන චායාරූපයේ රතු පැහැයෙන් ත්‍රිකෝණාකාරව සළකුණු කර ඇති කරටි කඩාගෙන බෙල්ල සාක්කුවේ ඔබාගත් ජීවියා ඉමන්තයා බව කරුණාවෙන් සළකන්න.