ඉතුරු ඇති මකරන්ධ සේරොම
ගසක දෙපතුල ලගට විසිකොට
මලක් පරවී යන්න මත්තෙන්
මෙලෙස පවසයි දුක තුනී කොට...
ගසක දෙපතුල ලගට විසිකොට
මලක් පරවී යන්න මත්තෙන්
මෙලෙස පවසයි දුක තුනී කොට...
හුගක් ඉඩ ඇති අතු අගිස්සේ
තවත් පොඩි මල් පිපෙනවා
තවත් හිටියොත් බරයි අත්තට
ඒ නිසා මං බහිනවා
යන්න කලියෙන් කියන මේ ටික
හොදයී දැන්වත් අහනවා...
රළුම නපුරුම සුළං පාරට
තදට මුල් ඇද නොසැලි හිටියට
අතු අගිස්සේ ළපටි මල් පොඩි
පෝලිමට බිම වැටෙනවා
ඒ නිසාවෙන් ඌට ඉඩ දී
ඔහේ පොඩ්ඩක් නැවෙනවා...
මලට නොරිදා රොණ් උරන්නට
කියා එන සමනල්ලු පෝලිමෙ
පෙතිත් පොඩි කර රේණු වනසන
සමහරක් උන් ඉන්නවා
ඒ නිසාවෙන් කල්පනාවෙන්
කැකුළු මල් රැක ගන්නවා...
ගසක වේසෙන් දිවි ගෙවන එක
ලේසි නැති බව දන්නවා
කැති පොරෝ මිට මෙලෝගත් උන්
එමට යුද්දෙට ඉන්නවා
ඒත් තාමත් ලැජ්ජ නැතිකම
උන්ට හුස්මත් බෙදනවා...
පිපුනු පසු හැම මලක නැවතුම
පරවීම බව කියනවා
ඒ නිසාවෙන් සුළං සේලෙට
මමත් හෙමිහිට වැටෙනවා
මළත් සුළගේ ගිහින් තා දුර
ගසක් වී මං හැදෙනවා...
No comments:
Post a Comment