Tuesday, May 28, 2024

ඈට විරහවකි - මා තනිව රකිනා ප්‍රේමයකි !


සැඩ සුළන් විදුලියත් සමග වැස්සකි
තුරු වියන් මුළින් උදුරා දමති
මල් ගොමුද බුරුතු පිටින් වනසති
තවත් එක් ඍතුවක අගිස්සකි !

නිල් පාට ඉස්කෝපියන් ග්‍රාස් පඳුරකි
ඇස් ඇරපු ෆොගෙට් මී නොට් මල් කිනිති
මේ භීශණය අස්සෙත් හිනා වෙති
ස්වකැමැත්තෙන් නටු අත හරිති !

ඒ මල් පඳුර දකින වාරයක් පාසාම දුකකි
අමතක නොකරන්න යැයි කෙරූ ඉල්ලීමකි
නැවත හමුවෙන්නෙමුයි දුන් පොරොන්දුවකි
ඈට විරහවකි - මා තනිව රකිනා ප්‍රේමයකි !

තිලංක තේනුවර
මැයි 27, සඳුදා 2024

Saturday, May 25, 2024

බලා හිටියත් කල්පයක් !


බලා හිටියත් කල්පයක්
ලං නොවෙන රේල්ලුව සේ අල්පයක්
කොයිතරම් දැන සිටියමුත් අපි
නවතාලිය හැකිද ප්‍රේමයක් !

දේදුන්නකින් තැනූ පාළමක්
යා කරයි පොළොවකට අහස ඇත්තක්
ඒ උනත් නිමේශයකට උරුම සැපතක්
කොහොම අස්වසන්නද ප්‍රේමාතුර දෙහදක් !

මහාමෙර තරම් බර ප්‍රේමයක්
උහුලන් ඉන්නෙකම සාපයක්
කොයිතරම් පෑරුනත් හිත - නුඹ මට
අහසක් තරම් දුර ප්‍රේමයක් !

දේදුනු පාලමත් සොවින් මුත් බිඳ දමමි
සොඳුරියේ සමුදෙන්න ඉතින් අවසර පතමි
ඔබට අත වැනූ ඒ තාරුකා දෙස බලමි
සුසුමකින් ඇවිලෙමි - යළි ඔබ හා සිනාසී නිවෙමි !

තිලංක තේනුවර
මැයි 25, සෙනසුරාදා 2024
වැහිමන්දාරමක් යට
කෝපි උණුහුමක !

 

Wednesday, May 8, 2024

පියුමිගේ කවිය !

ඔබට කවියක් ලියන්නට කලියෙන්
මම සිය වතාවක් හිතුවා
මොනව ලියන්නදැයි කියලා
කිසි අදහසක් හිතේ නැතුවා !

ඔබව හොඳටම දන්න කියනා
මිතුරන් ගෙනුත් ඇසුවා
ගති ගුණත් ලස්සනත් ගැන නම්
දහසකුත් දෑ මට කිවූවා !

කියූ බොහෝ දෑ පෙරා ගෙන මම
අන්තිමට මෙහෙම හිතුවා
ප්‍රේමයත් නිවීමත් ඇති පදම් ලැබීයන්
සුන්දරම හදවතක් ඔහෙට ඇතුවා !

මෙපමණයි ලිවිය හැක්කේ 
ලෙක්චර් නෝනෙ තව ඉතින් බැරුවා
" දිනක හමුවිය යුතුම වෙයි අපි "
එහෙම කියලා මං ඩයරියෙත් ලිවූවා !

තිලංක තේනුවර
අඟහරුවාදා මැයි 7, 2024
කැෆේන් හෝ ඇල්කොහොල් අත්යාවශ්ය මොහොතක !

Saturday, May 4, 2024

දැක්කොතින් මේ ලියන කවියත් ඇත්තමයි ඔබ මට බනියි !


දැක්කොතින් මේ ලියන කවියත්
ඇත්තමයි ඔබ මට බනියි
ප්‍රේමයෙන් ගැබ්බර අපේ කතන්දර
අනුන්ට කියනවට ඈ තරහයි !

ඒ සියළු මොහොතවල් අපේ පමණක්ම බව 
පුන පුනා කියමින් ඈ ගුගුරයි
මතක අමුණා කවි ලියනවට විරුද්ධව
හැමදාම විරෝධතා පණිවුඩ එවයි !

ඒ ලියන රාමු ගත හැඟීම් කියවලා 
ඔබ මට කවිකාරයා කියා කියයි
ඒ කවියම කොහෙන් හෝ කියවලා 
ඈ මා වැරදිකාරයකු කරයි !

ඔය තරම් ආදරේ නම් ඉතින්
වෙන් වෙමුයි කීවේ ඇයි ?
තරහ ගිය විටෙක මා අසයි !

ආදරේ හින්දම තමයි මැට්ටෝ !!!
කියා හඬමින් ඇමතුම විසන්ධි කර
තවත් කාලයකට මාව බ්ලොක් කරයි !

නැවතත් ඇගෙන් බොරු බැනුමක් එක්ක
මැට්ටෝ යැයි කියා අසාගනු රිසියෙන්
මා තව තවත් කෙහෙම්මල් ලියයි !

ඒ විකාර කියවලා නැවත නැවතත්
ඔබ මට කවි කාරයා යැයි කියයි
කොහොන් හෝ ඒවා දකින ඈ
ආයෙ මට ඇමතුමක් ගෙන බනියි !

මේ චක්‍රය දැන් මට හුරුයි
බොරු කියන්න ඕනෙ නෑ
මට හරිම සතුටුයි !

හැබැයි ප්‍රේමයට ආගන්තුකයිනි
පුරුදු වෙන්නෙපා උඹල
මේ ප්‍රේමණීය ඇබ්බැහිවීම් හරි භයානකයි !

ඉස්තුතියි !

තිලංක තේනුවර
මැයි 4, සෙනසුරාදා
කෝපි සුවඳැති හැන්දෑවක, බැරිස්ටාවක !

උඹ ඍතුවක් විය යුතුය අළුත් !

වසන්තයක ප්‍රාණවත් බව ද

ගිම්හානයක මද රස්නය ද

සිසිරයක හිම සීතල ද

සරත් සමයක ලස්සන ද

එක සේ අන්තර්ගත කොට

උඹ ඍතුවක් විය යුතුය අළුත්

කාලයෙන් කාලයට මාරු වෙන

සම්මත ඍතු සියල්ලම

සම්මත තත්ව යටතේ

තඹේකට විස්වාස කරනු බැරි හෙයින් !