Saturday, January 20, 2024

හීන හොරු අරන් !



අහස නුහුලන ජීවිතේ බර මොහොතකට බිම තියන්න
වෙහෙස නිවනා වෙරළ අයිනක හමුවෙමුද අපි දොඩන්න
වයස දුවනව මටත් දැනෙනව තරුණ කම බැහැ රකින්න
ඉවස හිටපන් ටිකක් ප්‍රේමිය මෙහෙම බැහැ මට බඳින්න !

***වියැකෙන තාරුණ්‍යයේ ශෝකාලාප නිතර හොරෙන් අසා සිටිනා ගෝල් ෆේස් බංකුවක්, සංවේදීම අවස්ථාවක පැවසූ කතාවක් !***

තිලංක තේනුවර
ජනවාරි 20, සෙනසුරාදා 2024

Wednesday, January 10, 2024

එසේනම් මිත්‍රයා අපි එක බෝට්ටුවේ !


මේ මනරම් සන්ධ්‍යාවේ 
මදක් මත්වූ හිතවතුනි
මේ කතා කරන්නට යන මාතෘකාව
අසා සිටින්නට නම් 
ඔය මදිය - ඔබ තව ස්වල්පයක් මත් විය යුතුය !

මේ මනරම් සන්ධ්‍යාවේ 
හුඟක් මත් වූ හිතවතුනි
මේ කතා කරන්නට යන මාතෘකාව
අසා සිටින්නට නම්
ඔබ මත් උනා ඇතිය - දැන් සිහි එළවා ගත යුතුය !

තනිකඩ අපිට ඉතින්
කතා කරන්නට කියා බොහෝ
බර පතල මාතෘකා වැඩිමනක් නැත
තිබෙනවා නම් එක්කෝ සල්ලි ය
ඒත් නැති නම් ඒ ප්‍රේමය හෝ අරක්කුය !

අරක්කු ගැන හැමදාම කතා වෙන නිසාත්
ප්‍රේමය අද මාතෘකාව කල යුතුමැයි
යටි හිත බෙරිහන් දෙන නිසාත්
මා මේ ප්‍රශ්ණය ඔබෙන් අහන්නම් !

හිතෝතුනි ඔබට 
පළවෙනියටම වැදුනු ප්‍රේමය මතක ද?
ඒ ගැන මතක් වෙන විට
තවමත් පපුව හයියෙන් ගැහෙනව ද ?
සමනල්ලු පියාඹන හැඟීම 
එදා වාගෙම නැතක් ලාවට හරි දැනෙනව ද?

එසේනම් මිත්‍රයා
අපි එක බෝට්ටුවේ !
හැන්දෑවක ඉර බැහැ ගෙන යන මූදු වෙරළක
අඩියක් ගහන ගමන් අපි
ඔය ගැන කතා කරමු !

පළමු ප්‍රේමය හෝ 
ඊට පස්සෙ තිබූ එකසිය විසි පස්වන ප්‍රේමයත්
මතක් වෙන විට තවමත්
පපුව හයියෙන් රිදෙනව ද
නහර පලා ගෙන රුධිරය
නටන හැඟීමක් - වෛරයක් දැනෙනවද ?

එසේනම් මිත්‍රයා
අපි එක බෝට්ටුවේ !
හැන්දෑවක කවුරුත්ම නැති පාළු බාර් එකක
අඩියක් ගහන ගමන් අපි
ඔය ගැන කතා කරමු !

තිලංක තේනුවර
ජනවාරි 10, 2024
මූදු වෙරළක - පාළු බාර් එකක

Tuesday, January 9, 2024

කිසිවෙකුත් පාළුවට නැති වග මුලින්ම ඔබට කිව යුතුය !


මේ මධුර යාමයේ
උදුර උදුරා ලේ බොන
මදුරුවෙකු හැරෙන්නට මේ මේසයේ
කිසිවෙකුත් පාළුවට නැති වග
මුලින්ම ඔබට කිව යුතුය !

අතුරු සිදුරු නොමැතිව
බුරුතු පිටින් හිටි තරුණ පොකුරු
කොහේ අතුරුදන් උනි දැයි කියා
රාත්‍රියේ බොහෝ අවධානයෙන් සිටි
චන්ද්‍රයාවත් නොදන්නා බව විශ්වාසය !

ඉහිරුනු මධු විත - බිඳුනු මධු බඳුන්
පිළුනු වූ කට ගැස්ම දීසි ගොඩ
අස් කරන්නට නිදි මතේ පාවෙන
මනුස්ස පරාන දෙක තුනක් ලංවී
ඉල්ලුවෙත් නැතිද කියලයි දුමක් !

ඈතින් දැල්වෙන වීථි ලාම්පුද
මෙරු හා පොර බදා නිවී ගිය කල
වේටර් කොල්ලෙකු ඇවිදින්
මා සිටි මේසය හැරෙන්න
අඳුරු කලා අහු මුළු සියල්ලම !

වින්ටේජ් සුවඳ උතුරන - වයසක බාර් එකක් මේක
නොම්මර තිස් නමය - කැනල් රෝ ඇඩ්‍රස් එක
ඔබ මාගේ පික් මී රියැදුරා නම් මේ අහන්න
හදිස්සියක් නෑ හෙමිහිට පාගන්න
මමත් බාර් එකත් තවමත් මෙතැන !

තිලංක තේනුවර
කොළඹ අහස උඩ - තවුතිසාවට මිලියක් දෙකක් පහලින් !

ජනවාරි 9, අඟහරුවාදා 2024

Monday, January 8, 2024

මේ කතාව සකූ ගැන !




නම සකූ ගෙවල් අනුරාධපුරේ
වයස නම් දහ නමයයි
බැදල හිටියට ළමයි නම් නෑ
හස්බන්ඩ් ද? 
අපෝ නෑ නෑ එයා මේව දන්නෙ නෑ !

හොඳට මහන්න කරන්න පුළුවන්
කාලයක්ම ගාමන්ට් එකක වැඩ කරේ
හුම් අයින් උනේද?
අයින් උනා නෙමේ අයින් කලා
කොරෝනා කාලේ වැඩ නැතිව !

මොකද ගෙදර ප්‍රශ්ණයක්ද
නැත්නම් ඔෆිස් එකේ අවුලක්ද
කමක් නෑ කියන්න
උත්තර දෙන්න බැරි වෙයි
ඒත් අහන් ඉන්න මට පුළුවන් !

ඇයි ඇස් දිහාම බලාගෙන ඉන්නෙ
වෙන කෙල්ලෙක් උනා නම් රැවටිලා 
හුම් ආදරෙයි කියලද කියන්නෙ?
මේ හිතේ තියෙන බර ඇති සර්
ඔයා මාව ගෙදර ගෙනියන්නෙ නෑනෙ !

මේ මගේ ඔෆිස් නම්බර් එක
වට්ස් ඇප් ඉන්නව - හයෙන් පස්සෙ ගන්න
ඇයි කොලොප්පමට හිනා වෙන්නෙ
මේක මගේ රස්සාව 
ඒ නිසා මේක ඔෆිස් නම්බර් එක !

ඇත්ත නම ගම අහන්නෙපා
මොකද හොයාගෙන එන්නද හදන්නෙ
රස්සාව ඇරුනම මටත් ජීවිතයක් තියෙනව
මේක ගණුදෙනුවක්නෙ
අපි එතනින් එහාට නොයා ඉමු !

ආ ඔවූ
නම ගම පදිංචිය බොරු උනාට
මම ඇත්ත !
මේ හැඟීම් ඇත්ත !

නම අමතක කලා නේද ආයෙම ?
මම සකූ
පරිස්සමට යන්න !

    

Friday, January 5, 2024

කියවන්න එපා ! සෑහෙන්න දිගයි !!!


කියවන්න එපා ! සෑහෙන්න දිගයි !!!

මේ රාත්‍රිය බොහෝ මත් වෙන සුළු නිසා
රාත්‍රියට වැඩි වීමට පෙර
මං මේ කවිය ලියා තබන්නම් !

දැන් මා සිටින්නේ 
චන්ද්‍ර මණ්ඩලයට ස්වල්පයක් පහලින්
අල්පයක් අඳුරෙන් ආලෝකමත් උනු
ත්‍රී පීස් සංගීතයෙන් රෝමාන්තික කරන ලද
පාළු මුත් සෙනග අඩු නැති
තැබෑරුමක වහලයෙයි !

හඳේ හාවාට කන්නට
කැරට් පාත්තියක් වගා කල යුතුමයි කියා
චන්ද්‍ර කුමාර සමග කල වාග් සංග්‍රාමය
ජය පැරදුමකින් තොරව අවසන් වූ නිසා,

බොහෝ සෙයින් උරණ වූ
අජටාකාශ ගාමී තරුණ මහතෙකු
හඳට පාඩමක් උගන්නන්නට කියා
මූව අද කළුවරේ තියන්නෝනැයී පවසා
කිහිප වරක්ම උත්සාහ කර දුර ඇමතුමක් ගෙන
තාරකා මණ්ඩලයේම විදුලිය
වහා කපා දැමිය යුතු බවට
විදුලි බල මණ්ඩලයට ගර්ජනා කරයී !

දැන් වේලාව පාන්දර දෙකයි නැති නම් තුනයි
වේලාව ගැන නිච්චියක් නැති උනත්
රාත්‍රිය තාම තරුණ බව නම්
හොඳටෝම විස්වාසයි !

දිස්නෙ ගහනා තාරකාවියක්
සිතිජය දිගේ මතුවී පැමිණ ළඟට
සිකැරට්ටුවක් දල්වා ගැනීමට
ගින්දර ටිකක් ඉල්ලයි !

එකොළහේ මේසයේ අසුන් ගත්
පිංවන්ත මැදි වියේ මහතෙකු
බොහෝ අභිමානයෙන් යුතුව
ගිනි ගලක් සහිත කලැසික් ලයිටරයක්
පමාවකින් තොරවම ඈට දික් කරයි !

මේ රාත්‍රිය හරි පෙම් බරයි
ඇල්කොහොල් මිශ්‍ර වූ කල
කතන්දර උනත් හරිම රස බරයි
ඒ ඉතින් හැබැයි පරණ ප්‍රේමය
මාතෘකාවක් නොවෙන තාක්කල් විතරමයි !


තිලංක තේනුවර
ජනවාරි 04 බ්‍රහස්පතින්දා , 2024
තැබෑරුමක වහලෙ උඩ.