Saturday, May 16, 2020

කළුකුහරයක් එක්ක මොහොතක්...






ගුරුත්වාකර්ෂණය අධික බව නිසාම කාත් කවුරුත් නොයන, අවකාශයේ අතහැර දැමූ ඉසවුවක හුදෙකලා වූ කළු කුහරයක් සිය ආත්මීය ශෝකාලාපය පවසා සදෙවූ ලෝකාධිකාරී සක්‍රයා හට යැවූ පණිවුඩයක මෙසේ සටහන්ව තිබුනා...

අනේ උතුමනි තරහ අවසර
ඇස්ම දාහකි දකින පරතෙර
අසුන තාමත් රස්නෙ මදිවද
මගේ දුක ඇහුනේම නැතිවද...

සක්වලම එලි කරන තෙද හිරු
නොදේ එළියක් වෙලත් උන් තරු
සිදුරු නැතිවම පැතිරි ගණදුරු
පමණි දවසම ගෙවී යනතුරු...

ආලෝක අංශුවක් නෑරම
ගිලින මහ රකුසෙකිය නරුමම
කියා මගෙ ගැන කතා දසතම
පැතුරුවේ ඇයී මාව නොදැකම

කාලෙකට පෙර බොහොම ඉස්සර
ගැලැක්සියෙ මායිමේ අද්දර
දීප්තිය පරයනා හී සර
මාද තරුවකි බොහොම සුන්දර...

රැවටිලා ප්‍රේමයේ සාපෙට
ආත්මය පුද කරපු පාපෙට
බිදුනි හදවත පැලී හතරට
මැරී විසි උනි අහසෙ මුල්ලට...

පපුව මැද්දේ තදම රිදුමක්
එක්ක දැනෙනව හරිම අඩුවක්
මැරුණු කල හදවතක් තරුවක්
පිපිර ඇතිවේ අහසෙ හිඩැසක්...

ඉදින් සක් දෙවිදුනේ ඕකයී
සියලු ග්‍රහ තරු බියෙන් වෙවූලයී
එළිය  නො එනා නිසා නොපෙනෙයී
කුහරෙ ඇත්තේ මගේ පපුවෙයී...

මීට,
සකල අජටාකාශ වාසීන්ගේ කෙණිහිලි කම් වලට ලක්වන
හදවත සුපර්නෝවා වූ තාරකාවියක්...












   

No comments:

Post a Comment