Saturday, February 24, 2024

ප්‍රේමණීය ම මිනිසුනේ උඹල තමයි ජීවිතේ මං දිනපු !

දරා ගන්නම බැරි තැන්වල
මරාගෙන හරි ලඟින් ඉඳපු 

අල්පයක් නොදන්න මාතෘකා
කල්පයක් උනත් අහගෙන ඉඳපු

හුස්මත් හිර වෙන්න වගේ එද්දි
පිස්සුවෙන් කෘතිම ස්වසනය දීපු

ප්‍රේමණීය ම මිනිසුනේ
උඹල තමයි ජීවිතේ මං දිනපු !

තිලංක තේනුවර
පෙබරවාරි 24 සෙනසුරාදා , 2024


Friday, February 23, 2024

තිලාගේ ඩයරිය ! අද පෙබරවාරි 22, 2024 - බ්‍රහස්පතින්දාවක් !


තිලාගේ ඩයරිය !

අද පෙබරවාරි 22, 2024 - බ්‍රහස්පතින්දාවක් !

අද දවස හරි කාර්ය බහුල දවසක්. ඊයේ පෙරේදා රස්සාවට බායි කියල එළියට බැහැපු එකෙක්ට ඔච්චර බිසි වෙන්න මොනවද තියෙන්නෙ කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. 

රස්සාවත් එක්ක එන කාර්ය බහුලත්වය නිසා අපිට හැම තිස්සෙම අපි කැමති දේවල්ම කරන්න හම්බෙන්නෙ නෑ. අන්න එතනදි අපිට සිද්ද වෙනව ප්‍රයොරිටීස් හදා ගන්න. 

කෑම බීම, යෑම ඒම, යාළුවෝ, ලෙශර් ඇක්ටිවිටීස්, මළ ගෙවල්, මගුල් ගෙවල්, දානෙ ගෙවල් ඔය හැම දෙයක්ම කරන්න වෙන්නෙ ප්‍රයොරිටි ලිස්ට් එකට අනූව. 

සමහර වෙලාවට ප්‍රයොරිටි ලිස්ට් එකේ උඩම ඉන්න අයව උනත් අපිට මගෑරෙන්න පුළුවන් මේ සාමාන්ය කෝපරේට් සේවක ජීවන චක්‍රය නිසා. 

මේ සුළු කාලෙකට ලබපු අසීමිත නිදහස උපරිම කාළකණ්ණි විදියට ගත කරනව කියල හිතාගෙන ඇදෙන් බිමට බැස්සට මොකෝ කරන්න මගෑරිච්ච වැඩ වගයක් ඔළුවට ආපු නිසා කාළකණ්ණි වීමේ ප්ලෑන් එක පොඩ්ඩක් පස්සට දාන්න උනා. 


අද උදේ වරුවම වියදන් කරේ ගැල් ගැඩට් (||) වෙනුවෙන්. කලබල වෙන්නෙපා මේ ගැල් ගැඩට් ඇවිල්ල වොන්ඩර් වුමන් නෙමෙයී. මගේ නිල ප්‍රවාහන සහකරු. 

( වාහන වලට නම් තැබීමේ චාරිත්‍රය පටන් ගත්තෙ අපේ ඉමන්තයා. ඒ චාරිත්‍ර වලට අනූව යමින් මගේ බයික් රාජයාට ගණ බලල හැඩ බලල දාපු නම තමයී ඔය ගැල් ගැඩට් කියන්නෙ )

හවස් වරුව තනිකරම ගත කරේ විවිධ ජීවන තත්ව නිසා කාලයක් තිස්සෙ හමුවෙන්න බැරිවෙච්ච පරණ හිතවත් කමකට අළුත් මතක ටිකක් එක්කාසු කරගන්න.

ඒක තනිකරම කෝපි පාට හැන්දෑවක්. අපි දෙන්නාම කෝපි වලට අසීමාන්තිකවම ප්‍රේම කල නිසා වරුවක්ම කෝපි ගැන කතා කරන්න වැය කරා. 

කොළඹ අවට කෝපි බොන්න තියෙන හොඳ තැන්, වැරයිටීස් , කෝපි ෆීලින් සහ අනම් මනම් හැටහුටාමාරක් දේවල් අපි කතා කලා. ලතේ, එස්ප්‍රෙසෝ, කැපචිනෝ, ඇමරිකානෝ ගැන මේ පඩත්තල ටෝක්ස් දෙන්නෙ ගෙදර හරිස්චන්ද්‍ර කෝපි බිබී ඉඳපු සිරිපාලල නේද කියල විහිළුවකුත් කරල අපි හොදට හිනා උනා.

ඊළගට මගේ මිතුරිය කතා කරන්න ගත්තෙ ජීවිතේ ගැන. අපි හම්බෙච්ච විදිය, කරපු දේවල් සහ කරන්න බැරිවෙච්ච දේවල් ගැන අතීතාවර්ජනය කරද්දි ඒ මතක වලිනුත් ආවෙ කෝපි පුසුඹ. 

යුග දිවියට පහන් වැටක්, කසාදය සහ දික් කසාදය, ආදරය කියා ඇටි කෙහෙලක් නෑ වගේ බර පතල මාතෘකා කෝපි කෝප්පයේ අවසාන භාගයම හිස් කරද්දි හැන්දෑ අහසෙ ලා කළුවර ගතිය මේ කෝපි පැහැති හමුවීම ආක්‍රමණය කරල තිබුණා.

හැන්දෑව එහෙම ඉවර උනාට තවම දවස ඉවර නැති නිසා රාත්‍රිය බීර වීදුරුවක ගිල්වමු යැයී මිත්‍ර පාර්ශවයෙන් ලැබුණු ආරාධනය ඉහ මුදුනින් බාර අරගෙන තවත් මිත්‍ර පාර්ශවයක් සිටිනා දිහාවකට අපි කඩිනමින් පිටත් උනා.

ඒක හරි නිස්කලංක තැනැක්. බීර සුවඳැති රාත්‍රියකට කදිම තිප්පොලක් !

එකම මාතෘකාව උනත් කෝපි බොමින් කතා කරද්දි සහ බීර බොමින් කතා කරද්දි ලබා දෙන්නෙ එකිනෙකට සාපේක්ශව වෙනස් තීව්‍ර තා දෙකක්, වෙනස් වයිබ් දෙකක් කියන එක අද මම ප්‍රත්යක්ශ කරගත්තා.

හවස් වරුවෙම කතාන්දර කියලා මහන්සි නිසා සීතල වතුර වීදුරුවක් බොන ගමන් පොඩි රෙස්ට් එකක් ගන්න හිතා ගෙන කතා නායක කම කෙලි සංගමේට දීල මම සිකැරට්ටුවක් දල්වා ගත්තා. ඒ අල්ල පනල්ලෙ මිත්‍ර පාර්ශවයෙන් එල්ල වුන දරුණු බැල්මට්, එරවිලි සහ ගෙරවිලි නිසා අතට ගන්නත් කලින් දෙවැනි සිකැරට්ටුව පැකට් එකේ අඩියටම බැස්සා. 

තවත් අඩ හෝරාවක් පමණ අපි ගත කලේ කිසිවක්ම කතා නොකර. ඒ ලද නිවාඩුවේ මං පබ් එකේ හිටි කෙලි පැටික්කියන්ගේ ලස්සන ගවේශණය කරද්දි, මිත්‍ර පාර්ශවය පසෙකින් වාදනය උනු පැරණි ඉංග්‍රීසි සංගීතයට සවන් යොමු කර ඇති හැඩැක් පෙනුණා.

රාත්‍රී 10 පමණ වෙනකම් එකී මෙකී නොකී සියළු දේ කතා කර අපි එතනින් නික්මෙද්දි අපේ හිත් සෑහෙන්න තරමකට හේදිලා තිබ්බ කිවුවොත් මං නිවැරදියී.

බීර සුවඳැති උණුසුම් වැළඳගැනීමකින් අනතුරුව මේ හමුවට විරාමයක් දෙන්න අපි තීරණය කලේ රාත්‍රිය තාම තරුණ උනාට ගෙවල් වල ඉන්න මිනිස්සු පරල වෙන්න ඉඩ කඩ තියෙන නිසා. 

බීර වීදුරු කීපයක මේ රාත්‍රිය ගිල්ලූවත්, ලා කෝපි සුවඳක් අවසානය තෙක්ම එහි තිබූ බව අපිට දැනුනා !

ඉවරායී !

Wednesday, February 21, 2024

තිලාගේ ඩයරිය ! අද පෙබරවාරි 21, 2024

තිලාගේ ඩයරිය !

අද පෙබරවාරි 21, 2024


ජීවිතේ සමහර හමුවීම් තියෙනවා " මේ මනුස්සය තව අවුරුදු ගාණකට කලින් මගේ ජීවිතේට ආව නම් " කියල හිතෙන. එහෙම හිතෙන්න හේතුව තමයී කාලයත් එක්ක ඒ අයව ආශ්‍රය කරද්දි අපි ඒ මිනිස්සුන්ට ඇබ්බැහි වෙන එක. ඒ ඇබ්බැහි වීමට බලපාන්නෙ සමහර වෙලාවට ඒ මනුස්සයගෙ රූපය, හැසිරීම, ගති ගුණ, කතා බහ ඔය ඕන එකක් වෙන්න පුළුවන්. 

ඒ මොක උනත් ඒක මහ භයානක පුරුද්දක්. සමහර වෙලාවට අපි ඇබ්බැහි වෙන්නෙ ප්‍රේමයෙන්. අයිති නැති මිනිස්සුන්ට ප්‍රේමයෙන් ඇබ්බැහි වෙනව කියන එක මහ සාපයක් !

අයිතිකාරය වෙන එකෙක් වෙද්දි නොලැබෙන බව දැන දැනත් හතු පිපෙනව වගේ ප්‍රේමය දළු දාන එක ආශිර්වාදයක් නෙමෙයි, මල කරදරයක් !

කාලයක් හිතේ නිදාගෙන ඉදල අද උත්ප්‍රේරණය වෙලා ඇහැරිච්ච ඇබ්බැහියක් ගැන තමයි මේ සටහන. 

ඒ කටහඬට, හිනාවට, බැල්මට කොයිතරම් ජංජාලයක් කරන්න පුළුවන්ද කියල මට අමතක වෙලා තිබ්බෙ.

විශ්වාස කරන්න මිත්‍රයා ඒ හිනාවට විතරක් පුළුවන් ඍතුවක් කණපිට පෙරලන්න !

කාලි දාස මේඝ දූතය ලියද්දි උදවූවට හිටියෙ හුළඟ. කාලි දාසට පුළුවන් කම තිබ්බ ඒ පිපිච්ච හැඟීම් නම ගම එක්කම මහ හයියෙන් කෑ ගහල හුළඟට කියල හිත නිදහස් කරගන්න. හැබැයි මෙතන සිනාරියෝ එක වෙනස් !

මේක තහනම් ප්‍රේමයක් නිසාත් ඈ ඉන්නා ඉසවූවකට මේ හැඟීම් මාත්‍රයක් වත් යාත්‍රා කල යුතු නොවන නිසාත් කවියෙක් හැටියට මං හරි අසරණයි මෙතැනදි. 

ඒත් ඈ වෙනුවෙන් නම ගම බොඳ කර මම මේ සටහන ඩයරියේ තබා යන්නම් !

කෝළ බව උතුරන සිනිඳු මුදු කටහඬ
මැවෙනවා ලඟ වගෙයි සුන්දරම සිනහව
හිත් යාය ගිණි තියන දිස්නෙ දෙන ඇස් අග
ආදරෙයි නොකියලා මම ඉන්නෙ කොහොමද?

දෑත් පටලවා ගෙන ඔහු එක්ක ඔබ යද්දි
ප්‍රේමයේ ඇල් පෙනෙති හිත පුරා විසිරෙද්දි
විහිළුවක් කල පසුව මල් සිනා වපුරද්දි
ඇත්තමයි උස්සගෙන දුවනවා දවසකදි !

ඉවරයී !!!