Saturday, June 10, 2023

දරාගන්නත් බැරිය විටෙක මේ තනිවීම !


ලියන්නට හදනවිට අකුරු අමතක වීම
හේතුවද හිතෙනවා හදවතම හිස්වීම
විස්වාස කල නොහැකි ඔබගෙ ඒ නික්මීම
දරාගන්නත් බැරිය විටෙක මේ තනිවීම !

තිලංක තේනුවර
ජූනි 9 සිකුරාදා , 2023

Thursday, June 8, 2023

ඈ තමා ප්‍රේමයෙන් ගැබ්බර සුන්දරම නුවර අහස !


හිටපු ගමන්
ඔහේ කඩා ගෙන වැටෙන
ඈ තමා 
අප්‍රමාණික ප්‍රේමයෙන් ගැබ්බර
සුන්දරම නුවර අහස...

පතොක් මල් වලට විතරක්ම
පිපෙන්නට අවසර
මා තමා
කාශ්ඨක ප්‍රේමයෙන් ඔත්පල
යාල්පානම් පොළව...

හිටපු ගමන්
යාය පිටින් ඔහේ ඇවිළී යන
ඈ තමා
උග්‍ර රෝමාන්තික බවේ 
සියුමැළිම ගිනි පුපුර...

විටෙක ගිනි නිවන
විටෙක ගිනි අවූළුවන
මා තමා - ඈ කියපු විදිහට
අධි මාත්‍රික ප්‍රේමයෙන්
දිශා මාරු උන උතුරු සුළඟ...

-තිලංක තේනුවර-
ජුනි 8 බ්‍රහස්පතින්දා, 2023

Tuesday, June 6, 2023

සදාකල් හීනයක ඒ නිසා කල් ගෙවමි...


ඔබ ඔබම නොවී 
මමද මම නොවී
හමු වෙමුද මොහොතකට
එකම එක හවසක...

මැණික යැයී නොකියමි
පෙමින් බස් නොදොඩමි
ඒ නමුත් තරයේම
වැළඳ ගෙන හිස සිඹිමි...

බර ඔළුව හකුළලා
දෑත් මත ඔබෙ තබමි
සියුම් රතැඟිලි අතර
ස්වකීයව සිර වෙමි...

ප්‍රේමය නො ඉල්ලමි
රිදුනු බව නොකියමි
උණු කඳුළු කඳු වලට
නොලිහෙන්න වැට බඳිමි...

සඳක්වන් මුහුණතේ
සිනහවක මුල් සොයමි
ගැඹුරු නිල් දෙනෙත් වල
ගිලී නින්දක් පතමි...

ඇහැරිච්ච වෙලාවක
සමු ගන්න බව දනිමි
සදාකල් හීනයක
ඒ නිසා කල් ගෙවමි...

-තිලංක තේනුවර-
අඟහරුවාදා ජූනි 06, 2023

(චායාරූපය ෆේස් බුක් අඩවියෙ
න්. හිමි කම් මුල් අයිති කරු සතුය)