Tuesday, April 18, 2023

ගහක අයිතිවාසිකම...

 


උර උරා සාරය පොළෝ ගැබ විදලා
ඉර ඉරා අවකාසෙ සරුවටම වැඩිලා
සැරි සරා එන සුළන් රැල්ලකට කියලා
මල් දරා ඵල දියන් උඹ මදිද හැදිලා...

පරාගනෙ වෙන එක නොවෙන එක
අයිතියක් විය යුතුම මලෙක
ඵල දරන එක හෝ නොදරන එක
ඉඳුරාම අයිතියකි ගසක...

පොරෝ තල අමෝරා බිම්බරක් මාර සේනා
මහා වෘක්ශයක් වට කර ඵල තවම නොදෙනා
එහි සෙවනේම ලැග  පවත්වා සම්මුති ගායනා
සිඳ ලන්නට මුලින් උදුරා ලංසු කැඳ වන්නා...

අරටුවත් පෑරෙන ඒ රළු වදන් නෑසුනා සේ ඉවසා
පතරංග අතු රිකිලි ලිහිල් කර වරක් ගස්සා
කඳ වටේ එතී හුන් ඵල බරිත වැලක සුව විමසා
දිගු සුසුමක් හෙලනා ගමන් ඔක්සිජන් අහුරක්ම ඉස්සා...


තිලංක තේනුවර
අප්‍රේල් 18 අඟහරුවාදා , 2023

Monday, April 17, 2023

අහසක් උනත් කළු වෙනවා විඩින් විඩ...

 අහසක් උනත් කළු වෙනවා විඩින් විඩ

පොළොවක් උනත් ඉරි තැලුනම වැඩියී හැඩ

සයුරක් කියන්නෙම එකමුතු රළයී සැඩ

කවියෙක් මරනු බැහැ ප්‍රේමිය විද උණ්ඩ...


-තිලංක තේනුවර-


ප්‍රේමය දරාගනු බැරි තැන විශ වෙනවා

තේරුම් ගන්න බැරි අය වෙන් වී යනවා

කවියෙකු පෙම නිසා දවසක පරදිනවා

විරහව උණ්ඩ වී කවියා මරවනවා...


අහසක් උහුලගෙන ප්‍රේමය පුදනු හැකී

පොළොවක් හැරෙන්නට කවුරුද සමත් සකී

කවියෙක් දරා ගන්නත් හැමටම නොහැකී

මුහුදක ගැඹුර ළඟ පහුරක් විහිළුවකී...