Tuesday, December 22, 2020

ගඟ, ඉතින් ආපසු හැරෙන්න ...

දෙවට සිඹ සිඹ තැනිතලාවක ගලන ගග කළු ගලක වැදුනම

සුමට සේලය ඉරී කැබැලිව විසිව රුධිරය ඉවුර තෙමුවම

පෙලට මේ දුක් විදන් මුහුදට යන්නෙ ඇයී උඹ කියා ඇහුවම

පෙරට මිස අන් මගක් ගගකට තියෙද විමසා ගියා යන්නම 




    

Monday, December 21, 2020

පොළොව, උඹ කියපන්...

තාරකාවක් කඩා වැටුනම ආකහේ ගැඹුරේම 
තැනකින්

වාරගානක් අහන උන් ඇත රිදුම් පිරිමැද දුකම 
අහසින්

එකදු දවසක්  කිසිම කවියෙක් දුටුවාද අහනවා පොළවෙන්

නැතිද රිදුමක් වේදනාවක් වැදුන පාරට වැටුන තරුවෙන්




Thursday, December 17, 2020

පෝරුවට පෙර - ඇය වෙනුවෙන්...



සොදුර මේ අසනු මැන පවසන්න යමක් ඇත
නුදුර උඹෙ මණ්ඩපය බෙර හඩින් සැලෙනු ඇත
දෙවුර සියුමැලි නුඹේ මහා බර දැනෙනු ඇත
දිවුර නෑ සියන් මැද ඔහු සුරත බැදෙනු ඇත...

බුර බුරා ගිණි ගහන කන්දකට පෙම දුන්න
ඉර ඉරා මා නුගුණ මා එක්කම උන්න
මර මරා නුඹේ හිත දහසකුත් වද දුන්න
මකරෙකුට හදවතම දුන්නෙ ඇයී පවසන්න..

කතාවක් තියෙනවා කිව යුතුම නුඹට මම
කොමාවක් තියා පෙර දිනකදී කෙරුව නිම
සමාවක් නොදුන්නත් පමාවට කරුණු හැම
රටාවක් හොයනවා ගලපන්න තාම මම...

හදන්නම කියා හිත පෙර දවස මා නුඹට
නොකියාම ඇත්‍ත තතු ගෙතු කතා පෝලිමට
කියන්නම හිතෙන මුත් අද උනත් සොදුර මට
අඩන්නම වෙන නිසා අත අරිමු අතීතෙට...

සුභ වෙන්න සරු වෙන්න ජය වෙන්න නුඹෙ දිවිය
හොද වෙන්න තුට දෙන්න සැප වෙන්න පති කුලය
අකුලන්න ගලවන්න අපෙ මතක අතීතය
මම නුඹට නොකීවට පෙම් කලෙමි සොදුරිය...

_ප්‍රේමිය, දැන ගන්න; අත් හැරීමම ප්‍රේමයම බව...



Tuesday, December 15, 2020

ඉරේ දිස්නය වැඩි නිසා - තාරකාවිය ඩිම් වෙලා

විස්කි බෝතල් එකහ මාරයී 
හදටත් හොදට වෙරි පාටයී
සර්පිලාකාර පථයක යෙදුනු
සරළ අනුවර්තීය චලිතයක් අහවර
ත්වරණය වූ සිතුවිලි සමග
අතරමගදී හමුවූ
වළාකුළු තානායමකට හේ රිංගයී...

නේක හැඩගත් තාරකාවෝ මෙහේ බබලයී
ඇස් නිලංකාරවෙන්නට මොහොතකට මත්තෙන්
නායක තාරකාවියගේ හඩ ඇසෙයී...

ඉක්මනට එන්න ඇතුලට - ප්‍රේමය මෙහේ ලාබයී 
කරගන්න දෙයක් හනිකට - එළිවෙන්න තවත් වරුවයී...

"මට දෙන්න අර ඇස් පොට්ට වෙන්න දිලිහෙන එක"
වෙරි මතේ හදත් මුමුණයී...

"ෆස්ට් ටයිම්ද මෙහේ - කමක් නෑ
ඉක්මනට කියන්න
මොන පැකේජ් එකද ඕනි"
තාරකාවිය විමසයී...

"ආදරේ බොක්කටම දෙන එක"
අඩවන්ව හදත් කොදුරයී...

අහන් හිතවත මේ ඉසවුවේ
ලාබෙට ආදරේ සුලභයී
ඒත් මෙහෙ තරු දිස්නෙ දෙන්නේ
කාසි මල්ලේ බරටයී...

වදන් නොමැතිව වළා සයනේ
නිසොල්මන් සද වැතිරිලා
එකී තරුවේ කාන්තිය මැද
නොකී ලෝකෙක තනිවෙලා...

විස්කි ආරූඩයත් ටික ටික
දහදියෙන් යයී සේදිලා
දිස්නෙ අඩුවෙයී දැවෙන තරුවේ
සළුත් නෑ ඇග මැලවිලා...

පළමු කිරණය වැටුනු මොහොතින්
හදත් යයී නොකියම ටටා 
කාත් කවුරුත් නොමැති ලෝකේ
යහන මැද ඈ තනිවෙලා...

ඉරේ දිස්නය වැඩි නිසා
තාරකාවිය ඩිම් වෙලා...

    


Friday, November 20, 2020

වැස්ස ඔවූ උඹ අනෝරෙට වැහපං..

වැස්ස ඔවූ උඹ අනෝරෙට වැහපං..

අරලියා මුළු ගහම හෝදන්

වැහි වතුරෙ ඒ සුවද දවටන්

තාත්තා සැතපුන ඉසවුවේ

අඩි හයක් ගැඹුරටම ගිලියන්...


නිදන සයනයෙ සුවද තවරා

හීන් සීරුවෙ බිමට බැහපං

තාම දොරකොඩ මග බලාගෙන

අපි ඉන්න වග හොරෙන් කියපන්...


හදත් වහලා තරුත් වහලා 

කට්ට කළුවර ඉතුරු කරපන්

අතීතය අවුලවා යන්නට

ආයෙ දවසක ඇවිත් පලයන්...








    

Friday, July 31, 2020

තාරකගේ 27

තිලාගේ ඩයරිය - තාර්වක වර්ණාලංකාරය
(ජන්මදින් මුභාරක් හෝ වග්ගය | ලේට් සබ්මිසන් වෙළුම)

***ගජ බින්නා වලියේ එක්කෝටි විසිදෙලක්ශ හතලිස් තිස් තුන්දාස් හාරසිය පනස් වන සංස්කරණය***

තාරකායාගේ ජූලිය

උපන්දිනේ ඊයේ තිබු බව ඇත්තයී
සෙට් වී සෝරොම සැමරූ බව ඇත්තයී
වෙනද වගේ නෑ දැන් මට කවි තිත්තයී
ඒත් උඹට කවියක් නොලියා කොහොමෙයී..

සිසිවන උවන ඉග සුග ගත හැකි මිටින
කියමින් සරඹ පෙන්නා කෙල්ලන් හඹන
ඇස් හතරෙන් කුපාඩි බැලුමන් හෙලන
සල්ලෙකමට කුමකට තව උපහැරණ...

සුන්දර සිනාවට කොයී කවුරුත් කැමතී
බුරුතු පිටින් කෙල්ලන් රැවටේය නිතී
කොල්ලෙක් උනත් ලස්සන නම් අවුල් නැතී
සාරුව සුනිල්ලත් මොහු ළග හති දමතී..

ලෝකෙම තියෙන අරක්කු හැලියකට දමා
"බීපං" කීවොතින් එක මොහොතකින් නිමා
වකුගඩු උකස් කර හෝ රහමෙරම තමා
බේබදු කමට නිර්වචනය දුටිමි මෙමා...

මූණ මිරිකුවොත් බෝතල් දෙකක් පුරා
ගත හැක දවසෙ ඕනෑ මොහොතකදි පෙරා
ගංජද ගුලිද තව මොනවද ඕන සිරා
ජංගම තිප්පොලකි තනිකර සැලකි සුරා..

සලෙල කමින් ලෝකය දිග් විජය කරා
සිරිමත් මිතුරු අප සැම උඹ නරක් කරා
පාරුවෙ පුවක් පලදී මුණගැසුනු සොරා
අහිංසක අපේ හොද ගති දැම්මෙ ඉරා...

***ආතල් ඉවරායී...දැන් සිරා ටිකක්...***

මොහොතවල් ගත වෙච්ච උඹ එක්ක සුන්දර
වෙනකාටවත් කොහෙද අපෙ වගෙ කතන්දර
මතක ඇති පිරෙන්නට ආදරෙන් ගැබ්බර
ලේ මිදුළු ඇට කියයී ඒව ගැන විස්තර...

වැටුනු තැන් වල බිදුනු තැන් වල සුරත පා මට වාරු දී
රිදුනු තැන් ගැන තවත් ඇහුවා වරු ගණන් උඹ වද දිදී
සිතුනු තැන් දැන් ඇතියී කියලා අත් හරින්නට ඉඩනොදී
රැදුනු තැන් මහ හුගක් තිබුනා මිතුරු ස්නේහෙට පින් දිදී

***දැන් ඇති. ඉවරායී...අන්තිම එක****,

සුමුදු මුදු මල් සේද ඇදිලා යනෙන මග උඹ සුවද වේවා
සිනිදු සිත රිදවනා කිසිදේ උඹේ දිවියට හමු නොවේවා
පිණිදු වැහි බිදු දිවිය කතරේ විඩා නොමදී ඇද වැටේවා
රිවිදු සේ දිලි දිලී සැමදා ජීවිතය සරු සාර වේවා !!!

-තිලා-

(ක්‍රිස්තුවර්ස එක් මිලියන හතලිස් පන්දාස් තුන්සිය පනස්වන අව අටවක දින සෙනසුරුගේ රැස් වලල්ල මත බල්ටි ගසමින් හිද ඉහෙන් කනින් දාඩිය බේරෙන්නට ගත් පසුව මාකුඹුර ගාල්ල අධිවේගී ශටලයට පේන්ටියක් ගැසීමට ගොඩ වූ මොහොතක රචනා කරන ලදී...)

ප.ලි. - මෙහි දැක්වෙන දර්සනීය  චායාරූපයේ රතු පාටින් සළකුණු කර ඇති මණ්ඩුකාකාර ජීවියා තාරක Tharaka බව කරුනාවෙන් සළකන්න.

Saturday, June 27, 2020

ජීවිතේ මග හැරුනු තැන් ඇත ආදරේ මහ ගොඩක් තිබුනූ...

ජීවිතේ මග හැරුනු තැන් ඇත
ආදරේ මහ ගොඩක් තිබුනූ
හීනයක් දෑතින්ම බදනා
මොහොතකදි අත හැරී වැටුනූ...

ඇස් පුරෝවන සර්ව පිත්තල
මායමක හිත පැටලි පැටලී
කදු කපාගෙන ලදු පීරගෙන
තාම රිදෙනව වැටුනු වැටිලී...

ජීවිතය මිරිගුවකි දළුලන
හිස්කමයී දැන් සිතේ ඉතිරී
ආයෙ හැරුනට නුඹේ සෙවනට
ගිහින් ඔබ ඈතටම විසිරී...




   

Tuesday, June 2, 2020

දවුවාගේ 26...

ඉස්සර වගේ කෙල්ලේ දැන් බෑ ඉන්න
විසිහය උනා වයසයි උඹ දැන් ඔන්න
මංගල කිංකිණියෙ පිහිටෙන් යාදෙන්න
බලපං දවුසලෝ දැන් මගුලක් කන්න...

ගුජුන් පියෝ ගැන හිතෙනා වෙලාවට
උඹමයී මතක් වෙන්නේ දවුසලා මට
කොහොඹ වැලට කරවිල ගහ ලතාවට
ගියා වගේ නොවෙදැයී හිතෙනවා මට

ඔන්න ඒක කිවුව ගමන් මල පැන්නා
ඇස් ගෙඩි දෙක අරක්කු පාටට හැරුනා
තරහ ගන්නෙපා ආදර හොටු සුමනා
රැවුල නැතත් ගුජුන් පියා හරි හපනා..

ලෝකෙ කැරකෙන්නෙ දැන් හරි අමුතුවට
ඇන්ටිල උනත් කරගහනව කොලු කමට
ඒ හින්දා කලබල වෙන්නේ කුමට
උඹේ එකා කාසල් එකෙ බලමු හෙට...

මල්ලි බබෙක් හොයලා බැරි උනොත් ඉතින්
ලංකාදීපෙ ඇඩ් එක දා බලමු සැනින්
කොරියන් සාම්පල් උන් ඇති බුරුතු පිටින්
අන්කල් කෙනෙක් හරි හොයලා ගනිමු තුටින්..

බඩ තඩි හතලිහත් පැන තව වයස ගිය
හිසකේ පැහී දත් ටික බොල්ලෑ හිටිය
හොටු පෙර පෙරා කාසෙයී සෙමදා හතිය
අන්කල් වඩී ඇම්බියුලන්ස් අසු පිටය..

---ආතල් ඉවරායී---

සුමුදු මුදු මල් සේද ඇදිලා යනෙන මග උඹ සුවද වේවා
සිනිදු සිත රිදවනා කිසිදේ උඹේ දිවියට හමු නොවේවා
පිණිදු වැහි බිදු දිවිය කතරේ විඩා නොමදී ඇද වැටේවා
රිවිදු සේ දිලි දිලී සැමදා ජීවිතය සරු සාර වේවා !!!

ටටා බායී. හැපි බර්ත්ඩේ දවූවා !!!

Saturday, May 23, 2020

විටා


මචං විටා,

මේ ලෝකේ මං විශ්වාස කරන්න පුරුදු වෙච්චදේවල් ගැනම මට දැන් තීන්නෙ පුදුමාකාර සැකයක්.

හොද දේවල් කරන්න, හොද විදියට කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන්න, කවදාවත් වරදින්නෑ කියලයී අපි අහල තියෙන්නෙ.හොද වැඩ කරන මිනිස්සු, යහපත් විදියට ජීවත් වෙන මිනිස්සු දෙවියො ආරක්ශා කරනව කියලයී අපිට උගන්නල තියෙන්නෙ.

මුලින්ම උඹේ අම්මව මේ ලෝකෙ උදුර ගත්තා. ඒ වේදනාව දරාගෙන ආයෙමත් හිනාවෙන්න උඹ පුරුදු උනා විතරයී හුස්මක් ගන්නවත් ඉඩ නොතියම තාත්තවත් මේ කරුමක්කාර ලෝකෙ උදුරගත්තෙ පට්ටම අසාධාරණ විදිහට.

ඒත් උඹ මේ ලෝකෙ ගැන විශ්වාස කරන එක අතෑරියෙ නෑ. හොද දේ ගැන යහපත් විදියට ජීවත් වෙන එක ගැන කවදාවත්ම සැකයක් උඹට තිවුනෙ නෑ.

කවද හරි දවසක උඹේ හීන වලටත් මේ ලෝකෙන් ඉඩක් හම්බෙයී කියන බලාපොරොත්තුව හැමදාම උඹේ අහිංසක ඇස් වල ලියැවිල තිබුනා.

කාටවත් වරදක් නැති උඹ, ජීවිතේට දැකල නැති එකෙක් උදවුවක් ඉල්ලුවත් නෑ - බෑ කියන වචනෙ නොකියපු උඹ, යාළුවෙක් වෙනුවෙන් බොක්කම උනත් ගලවල දෙන්න දෙපාරක් නොහිතන උඹ...

මං අහන්නෙ ඇයි දෙයියනේ උඹවම?? ඇයී මේ ලෝකෙ උඹටම මෙහෙම කරේ??

මේ ලෝකෙ හොද මිනිස්සු ඉන්නෙ හරිම අඩුවෙන්. එහෙම ඉන්න උන් වත් උදුරගත්තම කොහොමද මේ ලොකෙ යහපත කියල දශමයක් වත් ඉතුරුවෙන්නෙ?

මේක මහ තුච්ච කාළකණිනි ලෝකයක්. හීන දකින්නත් බය වෙච්ච උඹ හීන එක්ක හිනා වෙන්න පටන් ගත්ත විතරයී. අන්තිමට උඹටම කියල ඉතුරු වෙච්ච එකම දේ - උඹේ ජීවිතේ , ඒකත් උඹෙන් උදුරගත්තා.

මට දැන් ලෝක ධර්මතාවය ගැන, ස්වභාධර්මයේ නීතිය ගැන, සාධාරණත්වය ගැන,යහපත් දේම කරන්න කියන එක ගැන තියෙන්නෙ පුදුමාකාර සැකයක්. අපි විශ්වාස කරපු, අපිට සමාජය විශ්වාස කරන්න කියල දීපු හොද නරක ගැනත් දැන් මට විශ්වාසයක් නෑ...

හැබැයී මොනා උනත් දිව්‍යලෝකෙ කියල තැනක් මේ විශ්වයේ තියෙනවනම් එහේ ඉන්නව කියන දෙවියො හරිම වාසනාවන්තයි. මොකද විටා, උඹ එහෙට යන නිසා.

කොච්චර ප්‍රශ්ණ තිවුනත් අම්මටයී තාත්තටයී උඹට පුළුවන් තරමටත් වඩා උඹ යුතුකම් කරා. යාළු මිත්‍රයන්ට නෑදෑයන්ට මොනම හරි අවස්ථාවක උදවුක් ඕනි උනානම් කාටත් කලින් උඹ එතන ඉදියා. ඒ නිසා මේ ලෝකෙ පසුතැවෙන්න කියල දෙයක්, බරක් උඹේ හිතේ නෑ.

පරිස්සමින් පලයන්. අම්මයි තාත්තයී දෙන්නම උඹව පිළිගන්න බලාගෙන ඇති. ඒ දෙන්නම වාසනාවන්තයී හුගක් උඹ වගේ පුතෙක් ලබන්න.

දුක්වෙන එක, විලාප ගහන එක අපිට තියලා හැමදාම පුරුදු අහිංසක හිනාවත් එක්ක සතුටින් උඹ පලයං යාළුවා. ආයෙ හම්බෙන දවසක මෙහෙම ඉක්මනට දාල යන්න නම් හිතන්නවත් එපා.

උඹට නිවන් සුව!!!

මීට,
සදා නොවෙනස් ,
නෙකා.
   

Saturday, May 16, 2020

කළුකුහරයක් එක්ක මොහොතක්...






ගුරුත්වාකර්ෂණය අධික බව නිසාම කාත් කවුරුත් නොයන, අවකාශයේ අතහැර දැමූ ඉසවුවක හුදෙකලා වූ කළු කුහරයක් සිය ආත්මීය ශෝකාලාපය පවසා සදෙවූ ලෝකාධිකාරී සක්‍රයා හට යැවූ පණිවුඩයක මෙසේ සටහන්ව තිබුනා...

අනේ උතුමනි තරහ අවසර
ඇස්ම දාහකි දකින පරතෙර
අසුන තාමත් රස්නෙ මදිවද
මගේ දුක ඇහුනේම නැතිවද...

සක්වලම එලි කරන තෙද හිරු
නොදේ එළියක් වෙලත් උන් තරු
සිදුරු නැතිවම පැතිරි ගණදුරු
පමණි දවසම ගෙවී යනතුරු...

ආලෝක අංශුවක් නෑරම
ගිලින මහ රකුසෙකිය නරුමම
කියා මගෙ ගැන කතා දසතම
පැතුරුවේ ඇයී මාව නොදැකම

කාලෙකට පෙර බොහොම ඉස්සර
ගැලැක්සියෙ මායිමේ අද්දර
දීප්තිය පරයනා හී සර
මාද තරුවකි බොහොම සුන්දර...

රැවටිලා ප්‍රේමයේ සාපෙට
ආත්මය පුද කරපු පාපෙට
බිදුනි හදවත පැලී හතරට
මැරී විසි උනි අහසෙ මුල්ලට...

පපුව මැද්දේ තදම රිදුමක්
එක්ක දැනෙනව හරිම අඩුවක්
මැරුණු කල හදවතක් තරුවක්
පිපිර ඇතිවේ අහසෙ හිඩැසක්...

ඉදින් සක් දෙවිදුනේ ඕකයී
සියලු ග්‍රහ තරු බියෙන් වෙවූලයී
එළිය  නො එනා නිසා නොපෙනෙයී
කුහරෙ ඇත්තේ මගේ පපුවෙයී...

මීට,
සකල අජටාකාශ වාසීන්ගේ කෙණිහිලි කම් වලට ලක්වන
හදවත සුපර්නෝවා වූ තාරකාවියක්...