ඔක්තෝම්බර් 10
නිදි ගැට කඩ කඩ
ඇසුත් බාගෙට ඇරගෙන
කුස්සියට ලංවෙද්දි හෙමිහිට
අමුතු සුවදක් එනව නහයට...
අම්මෙ කෝ තේ හැදුවද
මොකෝ මේ දඩි බිඩිය පාන්දර
අම්මගෙන් අහගෙනම ඊළගට
ගෑස් ලිප උඩ සූස් සද්දෙට පැහෙන
හට්ටියට එබෙනවා මං නිමේශෙට ...
හට්ටියේ ඉදෙන කිරිබත
දැක්ක මොහොතෙම ප්‍රශ්නෙ මට
අහනවා අම්මගෙන් විගහට
කාගෙ උපන්දිනේද අම්මෙ අද...
"හරිශෝක් ගෙදර ලොකු ඉලන්දාරියා
ඒකවත් මතක නෑ ගොනාට
අම්මෙ මූට දෙන්නෙපා තේ හදල
ඕනි නම් හදා ගෙන බීපං මැට්ටා"
අම්මට උදවුවට කුස්සියේ පැත්තක
ළූණු කප කප මට විරිත්තන
අක්ක පනිනවා කයිය මැද්දට..
කටවහං හිටපං ගෙම්බි
ඇහුවෙ මං අම්මගෙන් ඒක
අනික උපන්දින මතක තියාගන්නෙක
ඒව ඇවිදින් කෙල්ලොන්ගෙ වැඩ
ඔක්තෝම්බර් නේද මේ
කවද්ද දවස අද
හරිනේ - මතක් උනා මට
ඔක්තෝබර් වල කොහෙද වෙන උපන්දින
තාත්තගෙ උපන්දිනේම ඇර...
අම්මගෙ ඕඩරේ අරගෙන
කෙහෙල් ගාලට දුවනවා හනිකට
කපාගෙන හොද කොල දෙක තුනක්
දුවනවා ආයෙම කුස්සියට
"මේන් ගෙනාව අම්මෙ මං"
වීරය වගේ කියාගෙන
ගෙනාපු සේරොම කොල ටික
දානවා කුස්සියෙ මේසෙ උඩට
දැන් මේසෙ පිරෙන්නම කෙහෙල් කොල
"කෙහෙල් කොල මොකටද ඔච්චර
අනේ මන්ද ලොකු පුතේ උඹ නම්
අපරාදෙ ගහටත් නෑනෙ දැන් ඒ ටික
එකක් තිවුනම ඇතිනෙ කිරිබතට "...
"අන්න තේ හදල ඇති වට්ටිය යට
මල්ලිටත් කතා කර ගෙන
තාත්තගෙ තේ එකත් අරගෙන
ගෙනෙහින් දෙන්න කාමරේට "
මලයවත් ඇහැරවල හනිකට
තාත්තගෙ තේ එකත් අරගෙන
දුවනව අම්මලැයී කාමරේට
උදේ පාන්දරම
පොල් සයිස් කණ්නාඩි දෙකත් දාගෙන
තාත්ත ඉන්නවා ලිය ලියා මොනවද....
"තාත්තෙ හැපී බටූ "
තේ එක මේසෙ උඩ තියන ගමන්
දත් තිස් දෙකම විහිදුවල - විරිත්තගෙන
සුභ පතනව තාත්තට...
මූණ පිරෙන්න ඇදෙන
අපේ තාත්තටම විතරක් තිබ්බ
හරිම ආදරණීය
ඒ අහිංසක හිනාවත් එක්ක
තාත්ත කියනවා මෙහෙම
"යන් පුතේ මන් එන්නම් කුස්සියට "
තේ එකත් අරගෙන හනිකට
තාත්තත් එනව කුස්සියට
කිරිබත හැදෙනකම් සේරොම
වටවෙලා කුස්සියෙ මේසෙට
රස කතා සංගමය - තාත්තා සභාපති...
ඔක්තෝම්බර් දහය
දවස පටන් ගත්තෙ එහෙමයී ඉස්සර
එදා දවසෙ තිබ්බ සිරියාවට
තාමත් ඉව අල්ලනව හොරෙන් හිත...
අහස වැහෙන්නම පාළු මූසල ගතිය
කොහෙන් ආවද මන්ද මේ වැහි අදුර
අහපන් මිත්‍රයා මොහොතකට
නොහිටියත් දැන් අපි ළග
තාත්ත ඉපදුණු දවස අද...
ගෙදර කුස්සියෙ කිරිබත් හට්ටිය වෙනුවට
අද ඉදෙන්නෙ දන් බත් උනාට
වෙනද වගේ කුස්සිය ලස්සන වෙන්න
තාත්තගෙ කටහඩ නැති උනාට
අඩන්න තියාගන්න නම් එපා අද
එදා වාගෙම හිනා වෙලා හිටපං ලස්සනට
එකම එක කළු වලාවක්වත් නැතුව...
මල් යාය පීදෙන්නෙ එතකොට
පැල පවා දළු ලන්නෙ එතකොට
ගස් උනත් ඵල දෙන්නෙ එතකොට...
ඉර්තුව මොක උනත්
හතර දිග් බාගෙම හැඩ වෙන්නෙ ඕන අද
මොකද අද ඔක්තෝම්බර් දහය
තාත්තගෙ උපන්දිනේ දවස...
තාත්තෙ හැපී බටූ කියාගෙන
පුරුදු හුරතල් බොළද විදිහට
අදත් උදේ පාන්දර ගෙනෙහින්
මේසෙ උඩින් තිවුව තේ එක...
වෙනද වගේ
"මං එන්නම් පුතේ කුස්සියට "
කියන්න තාත්ත නොහිටියට
තරහ නෑ තාත්තෙ අපි මොනා කරන්නද
ඒ තමා ලෝකෙ කැරකෙන විදිහ...
තාත්තගෙ අර මූණ පුරා ඇදෙන
හරිම ආදරේ හිතෙන
ඒ අහිංසක හිනාවත් එක්ක
එකම එක පාරක් කුස්සිය පැත්තට
ඇවිදින් යන්න එන්න හොරාට
අපි ඉන්නවා බලාගෙන මග
ඉර ලෝකෙට එබෙන්නත්
තා වෙලා තියෙනව හොදටම...
-ලොකූ-
ප.ලි.- තාත්ත මට කියාදුන්නෙ හිතේ ප්‍රශ්ණයක් ආවම ලියන්න කියල.ලියද්දි දුක වේදනවා අඩුවෙනවා කියලා. හැබැයී තාත්තේ තාත්ත ගැන ලියන හැම වෙලාවකම ඒ වේදනාව අළුත් වෙනවා.වේලිච්ච කදුළු උල්පත් ආයෙ සක්‍රීය වෙන්න ගන්නවා.මට තාම හිතා ගන්න බැරි ඒ ඇයි කියලා,කොච්චර ලිවුවත් මේ වේදනාව අඩුවෙන්නෙ නැත්තෙ ඇයි කියලා.
අහම්බෙන් නෙත ගැටුනු නුඹෙ කවිය
ReplyDeleteහිණිමග උනා මගෙ කදුලට..
පෙන්නන්න තිබුනනම් තාත්තට
ඉකිගසා හැඩුවා හදවත..
ඉස්සර පෙන්නුවම නුඹෙ කවි තාත්තට
දිලිහෙනවා ඒ ඇස් සතුටට..
නුඹේ හපන්කම් දැක්කම
සිනා කැන් නැගෙයි දෙතොලග..
සතුටුයි ලොකූ නුඹ ගැන
ආසිරි පතමි නුඹ හට..
තාත්තගෙ අඩි පාරෙ යන්නට
නිති දිරිය ලැබේවා ඔබ හට...
.. අක්කා..