ඔබට ඇයව හමුවූයේ කෙලෙසක දැයි කියන්නට මම නොදන්නෙමි.නමුත් ඉතිහාසයේ යම් දිනක කුමක් හෝ හේතුවකට ඔබට ඇයව මුණ ගැසී ඇත.නැත..එය කිසිසේත්ම අහම්බයක් වීමට නම් නොහැක.ඇයව හමුවීම හුදු අහම්බයක් යැයී යමෙකු පැවසූයේ නම් එය තරම් මුසාවක් තවත් නැතිවනු ඇත.ඔබ ඇයව හමුවන්නට ඇත්තේ කිසියම් හේතුවකටය.අවශ්‍යයෙන්ම ඔබට ඇයගෙන් ලබා ගන්නට යමක් තිබෙන්න ඇත.ඇය හමුවූ පසු ඔබ ඔබේ සිතැගි ඇය හා පවසන්නටද ඇත. දෙවරක් නොසිතාම ඔබේ ආගන්තුක බවද පසෙකලා ඉල්ලූ දේ එකෙනෙහිම ඇය ලබා දෙන්නටද ඇත.
ඒ ඇගේ හැටිය.තමා ජීරණය වුවද සිය ආත්මය උව කැබලි කර පරාර්ථය උදෙසා පූජා කිරීම ඇගේ ස්වභාවයයී..තමන් වෙතට ජීවිතය සොයමින් පැමිණෙන දේවදත්තයෙකු ජූදාස් කෙනෙකු උව අපමණ මාතෘ ස්නේහයෙන් වැළද ගැනීම ඇයගේ ස්වභාවයයී.ඇය හිතුවක්කාරය...ඇගේ ස්නේහය අපරිමිත වන්නේත් මේ හිතුවක්කාර බව නිසාමය.ඇවෙත පැමිණෙන සුහුඹුලෝ සියල්ලටම ඇය හිතුවක්කාර ලෙස ආදරය කල බවට ඉතිහාසය සාක්ෂි දෙනු ඇත.ඇගේ ත්‍යාගශීලීත්වයද එලෙසමය.අයෙකුට විශ්වාස කල නොහැකි තරම් ඇයට ත්‍යාගශීලී විය හැක.ඇගේ මේ අති යහපත් ස්වභාවයන් විටෙක ඈ වෙත අනර්ථයක් ගෙන එතැයී ඇයට පෙම් කරන ඕනෑම අයෙකුට සංකා පහල වීම ස්වභාවිකය.නමුත් කුමක් කරමුද.ඒ ඇගේ හැටිය.ඇය ඇයමය...
මා ඇයව හමුවූ මුල්ම දිනය මට අද වගේ මතකය.එය සරත් සමයේ අගද නැතහොත් වස්සානයේ මුලද කියා මම තවමත් කල්පනා කරමි.කෙසේ හෝ වේවා එය ඉර්තු පෙරලෙන කාලයක දවසක් බව මතකය.හීන අහුලන්නට එක පොකුරට ඈ තුරුලට පියමැන ආ අනෙකුත් යෞවන යෞවනියන් සමග එකතුව මමද ඈ වෙතට පියමැන්නෙමි. මග දෙපස ගැබ්බර මල් පොහොට්ටු සුමුදු සුළගට රොන් සුනු එක්කරන්නට පෙරුම් පුරමින් අඩි පාරට බරව කල්පනා ලොව නිමග්නව සිටියත් වරින් වර ඉස්සී අප දෙස බලා කෝඩුකාර සිනහවන් පෑවෝය.කොහේදෝ අන්තයක සිට අඹ මල් සුවදින් හැඩවී දඩි බිඩියේ දුවන් ආ සිහිල් සුළං රැල්ල මැයි ගස් පෝලිමක් සලිත කරවමින් අනෙක් අන්තයෙන් ආකාශයට පැන ගත්තේ තාර කට්ටයන් මත රටාවන් මවමින් පතිතවී තිබූ පිහිඹියා කොළ රෑනට පියාපත් දෙමිනි.
එදා පැමිණි අනෙකුත් සියල්ලන් සේම මටද ඇයගෙන් ඉල්ලන්නට යමක් තිබිනි.ඒ පැමිණි සියල්ලන්ටම මෙන්ම මා නම් ආගන්තුකයාටද ඉල්ලූ දේ මොහොතකදු නොපැලකී ඈ ලබා දුන්නේ අපරිමිත ස්නේහයකින් බව සටහන් කලයුතුමය...
තත්පර පැය විය...පැය දවස් විය...දවස් සති විය...සති මාස විය...මාස අවුරුදු විය..මෙලෙසින් ඈ සෙවනේ කාලය අප සැවොම පසු කරමින් හැල්මේ දුවන්නට විය..
ගෙවුනු හැම නිමේශයකම අපට ඇයගෙන් ඉල්ලන්නට අලුත් යමක් තිබිනි.එසේම ඒ සෑම ඉල්ලීමක්ම ඉටුවූයේ මොහොතකදු ප්‍රමාදයක් නොවෙමිනි.ඈ අපගේ හීන හැබෑ කල ඉෂ්ට දේවතාවුන් විය.එක අතකට ජීවිතය ඇහිදින මේ පුංචි උන් ගැන ඇයට අනුකම්පා හිතෙන්නට ඇත. එනිසා ඇයට එන්න එන්නම ජීරණය වන්නා වූ ස්වකීය ශරීරය,ආයුෂය ගැන සිතන්නට පවා අමතක වූ හැඩය.කෙසේ හෝ වේවා අප පුන පුනා කෙතරම් දේ ඉල්ලූවත් ඇය අපෙන් පෙරලා යමක් ඉල්ලූ දවසක් මාගේ මතකේ නැත.ඇයගෙන් එකදු ඉල්ලීමක් වත් නැත.හරි පුදුමය...අනිකුත් පුදුමයන් මෙන්ම මේ පුදුමයද අප සාදාරණීකරණය කලේ ඒ ඇයගේ හැටි වෙන්නැති කියාය...
පෙනුමෙන් සහ ශරීර සෞඛ්‍යයෙන් කෙතරම් අබල දුබල උවත් ස්වකීය සුඹුලන් වෙනුවෙන් ඇය සිය අවසන් ප්‍රාණයද කැප කරමින් යුතුකම් ඉටු කරන්නේ පුදුමාකාර මාතෘත්වයක් හිතේ දරාගෙනය.මෙය නම් කිසිවකුටවත් ඇදහිය නොහැකි කැපවීමකි.පරිත්‍යාගයකි...ආගන්තුකයො රෑනක් වෙනුවෙන් මෙතරම් ස්නේහයක් ??? සුපුරුදු පරිදි පැවසීමට ඇත්තේ ඒ ඇයගේ හැටිය කියාය..
හිතවත, ඇය සෙවනේ මේ ගෙවූ කාලය තරම් සොදුරු කාලයක් ඔබ ජීවිතවල තවත් තිබේ දැයී කියා පවසන්නට මම නොදනිමි.නමුත් විශ්වාසය.ඈ සෙවෙනේ ගෙවූ සෑම නිමේශයක්ම හදවතේ ගැඹුරුම තැනක මතකයක් ලෙසින් තැන්පත්ව, ඉහලට ගන්නා හුස්මක් හුස්මක් පාසාම රුධිරයට මුහුවෙමින් ඔබව ජීවත් කරවනා බව සහතිකය.
අඹ සෙවනේ අඹයක රසය,මැද මිදුලේ පීදෙන මල් වල සුවද, මැයි ගස් සියඹලා ගස් යට විසිරිච්ච මතක,ඩෙස් බංකු පතාක බිත්ති ලෝකෙට වසන් කරපු ඔබේම පමණක් උනු කතාවන්, දවසක් ගානෙම ලියලාපු සහෝදරකම් , මේ පිං බිම තුල හමුවෙච්ච ප්‍රේමයන් , හිත අගිස්සේ මතුවෙන විදුලි සැරක් මෙන් තවමත් රිදුම් දෙන විරහවන්....
ඔවූ මේ සියල්ලම ඔබේ මතකයන් තුල අගුළු දා ඇති බව විශ්වාසය.එහෙත් තාමත් ජීවිතේ වේදනා බර අවස්ථා අභිමුක සිහිපත් වෙන මොහොතක් පාසාම ඔබේ මුහුනත සිනහවකින් සරසමින් සියලු ලැතැවුල් අතුරුදහන් කරන්නට තරම් ජීව ගුණයක් ඒ මතකයන්ට තිබීමද සැබවින්ම ආශ්චර්‍යය ජනකය.
මා කලිනුත් සටහන් කල පරිදි අප කෙතරම් දෑ ඇයගෙන් ඉල්ලුවද, ලබා ගත්තද ඇය කිසිවක් අපගෙන් ඉල්ලා හෝ බලාපොරොත්තු වී නැත.එහෙත් මේ මොහොතේ ඇය වෙනුවෙන් එකමුතු නොවෙන දෑත් වලින් මේ ලොවට කවර නම් සෙතක් වේද? තම මවුන් රැක ගත නොහැකි දූ දරු පිරිසකට ස්වභාධර්මයෙන් නම් කිසිදා සමාවක් නොලැබෙනු ඇත.
එකමුතු වෙමු.එක්ව සටන් කරමු. NDESමවුන් රැක ගමු...
No comments:
Post a Comment