Thursday, November 24, 2016

#මතක සුවඳ...#මා ආදර සෙනසුරාදාව❤


10ට විතර නැගිටල
අම්ම හදල දෙන තේ එක බීල
තාත්ත කියව කියව කියව ඉන්න 
පත්තරේ ටැබ්ලොයිඩ් කෑල්ල අරගෙන
ඒකෙ තීන නිළියොන්ගෙ පින්තූර ටික
උඩින් පල්ලෙන් බලල
පාඩම් කර කර ඉන්න
අක්කට ගුටියක් දීල
මගේ උහටම ලන් වෙච්ච
මලයව පොඩ්ඩක් අවුස්සල
රේඩියෝව කන ලගට අරන්
බණ අහ අහ ඉන්න
ආත්තම්මට කොලොප්පමක් කරල
තරහ පොඩ්ඩක් අවුස්සල
ආයෙම ආදරෙන් බෙල්ලෙ එල්ලිල
දවල්ට උයන්න ලෑස්තිවෙන අම්මට
පොල් ටිකක් ගාල දීල
තාත්තත් එක්කල පොල් ඇහිදින්න
හේනෙ පොඩි රවුමක් දාල
ගස් ගද ගහන ඇදුම් සේරොම 
අම්මට හෝදන්න දාල
මට හෙම්බිරිස්සව හැදෙයි කියල
අම්ම රත් කරල දෙන 
තඩි වතුර බේසමේ බැහැල
පීන පීන නාල ආයෙම
අම්ම එක්ක මොකද්දෝ කතාවකට
ඔරොප්පු වෙච්ච මලය
කඩේ යන්න ගනන් උස්සද්දි
කහ කුඩු 50යි ලුණු පැකට් එකයි
කෑලි මිරිස් සීයය් ගේන්න
හන්දියෙ කඩේට පුටාර් එක පාගල
මග දිගට දොඩමළුවෙන
ගමේ කොල්ලො රෑන
තව නැන්දල මාමල එක්ක
අනන් මනන් මල විකාර
සේරම කතා කරල ගෙදරට එනකොට
අම්ම ඉන්නව ගේට්ටුව ගාව බලාගෙන....

මෙන්න අම්මෙ බඩු ටික
"කෝ ලුණු කුඩු පැකට් එක??"
අම්ම එහෙම අහද්දි මතක් උනේ
ඒක කඩේ බන්කුව උඩ
ඉතින් මම ආයෙම දුවනව කඩේට
තරහ වෙලා ඉන්න අම්මට
කොලොප්පමක් කර ගෙනම...

අම්මේ බඩගිනියි කෝ බත් හරිද
අය්යෝ ඉවුවෙ මේවද කන්නෙ කොහොමද
හා හා කමක් නෑ බෙදන්නකො ඉක්මනට
"ඉදපන් පොඩ්ඩක් තාත්තට බෙදනකම්"

"මේ ලොකු පුතේ තාත්ත වැඩපලේ තාම
කතා කරන්න බත් කන්න
දැන් වෙලාව එකත් පහුවෙලා නේද"
ඉතින් මන් දුවනවා වැඩපොලට
තාත්තේ තාත්තේ කන්න එන්නෝ
අම්ම කතා කරනවෝ
බෙරිහන් දෙනව සද්දෙට...
වැඩපලේ මිනිස්සු ඔක්කොම
බලනවා මගෙ දිහා අමුතුවට
කෝ මාමේ තාත්ත 
ඇහුවෙ වැඩකරන කෙනෙක්ගෙන්
"අන්න අර ලොකු ලොරිය යට"
ඉතින් මම දුවනවා එතනට...

එබුනාම ලොකු ලොරිය යට
මෙන්න ඉන්නව තාත්ත
මජන් නාගෙන දූවිලි ගොඩක
දුනු මිටියකට කරතියන්
හිතට මොකද්දත් වගේ
තාත්ත තනියම වැඩ
අයියෝ මන් වගේ එකෙක්
උදව්කරන්න එන්න තිවුනනෙ තාත්තට...

යන් තාත්තෙ කන්න
2ටත් ලගයිනෙ දැන්
තාත්තත් එක්කගෙන දුවගෙන
එනව ගෙදරට කන්න...

තුනට තුනහ මාරට
අක්ක දුවගෙන එනව සාලෙට
මොකද්දෝ මන්ද මල් කතාවක්
යනවලු සිරසෙ -ඒක බලන්න
අපෙන් නෑ බාදා -අපි නෑ බලන්නෙ ඒවා
මේ අපේ හවස 
ඇලර්ට් එක දාන වෙලාව
මායි මලයයි හොදට
නිදා ගන්නව ටික වෙලාවකට....

හැන්දෑවෙ පහට පහ මාරට
මාරම යුද්ද්යක් සාලෙ මැද
මායි අපෙ මලයයි
කාටූන් බලන්න...
ඌට ස්වර්නවාහිනිය
මට සිරස
රිමෝට් එක ඌ අරන්
දුවනවා වත්ත වටේට
තාත්ත එනව උඩහට
එද්දි අපි දෙන්නයි වලිය
ගුටි කන්න වෙනවට බයට
දෙන්නම දුවනවා අම්ම ගාවට...

හැන්දෑවෙ 7ට විතර
අපි කට්ටියම සාලෙ මැද
තාත්තගෙ කතා අහන්න
ආච්චි අම්මත් එනව විගහට....

රෑ අට වෙද්දි හරියට
තාත්ත ටීවී එක ලග
නිව්ස් බලන්න....
තාත්තෙ දෙරණද ස්වර්නවාහිනියද
දෙරණ හොදයි වගෙ නේද
ඇඩ් එහෙම යනකොට
දාමු ස්වර්ණ වාහිනියට...

කර දඩු උස් මහත් උනාට මොකද
මන් තාම බර නෑනෙ අම්මට
කියා හනිකට උකුලට
පනිනවා මලයට විරිත්තගෙන....

එකම ජාතියෙ ටෙලි කතා
අනේ මන්ද
අපිත් බලනවනෙ චැනල් මාරු කර කර
අපෝ මට නම් කම්මැලියි
එහෙම්ම ඇල වෙනව අම්මගෙ උකුලෙ
ඔලුව කකියනව අම්මෙ
අත ගාන්නකො ඔලුව...

"පොඩි පුතේ කෝ අර තෙල් එක
වෙද මහත්තයලහින් අරන් ආවෙ
තාත්තත් ගෑවනේ දවල්"
ඔන්න ඉතින් ඌ මට ඔරව ඔරව
යනව තෙල් බෝතලේ හොයාගෙන....

ලොකු පුතේ දත් මැද්දද
මල්ලිවත් නැගිට්ටගෙන
ගිහින් දත් මැදල එන්න විගහට
10ත් වෙලා දොරවල් වහන්න ඕන...

පුටු සෙටිය උඩ නිදි කිර කිර ඉන්න
මලයවත් ඇදගෙන
මන් යනව එලියට
දත් මැදල ඇග සෝදල
පනිනවා ඇදට නිමේශෙට
සුන්දර අපෙ ගෙදර
මන් ගත කරපු ඒ ලස්සන
නිවාඩු සෙනසුරාදාව
කැලැන්ඩරෙන් ඉගිලෙන්නෙ
ඔන්න ඔහොමයි තටුගෙන....

No comments:

Post a Comment