Thursday, November 19, 2015

සිහින විජිතය ගැන (නො )ලියූ කතාව....

‪#‎මම_අපි_සහ_ගාලු‬ කොටු පවුර...
ගාලු කොටුපවුර සහ අපේ ජීවිත අතර ඇත්තේ වචනයෙන් විස්තර කල නොහැකි අපූර්ව සම්බන්දතාවයකි..එය දෙවනි වනවානම් දෙවනි වන්නේ හික්කඩුව වෙරල තීරයට පමණි...අදටත් අපි සෙට් වෙනවානම් එක්කො හික්කඩුවේය..නැත්තම් ගාලු කොටුවටය...හික්කඩුවේ පිහිටි අපේ තිප්පොලේ සිට( මීට ශතවර්ශ ගනනකට පෙර ඉමන්තලෑ ගෙදර )හික්කඩුව වෙරල තීරයට ඇත්තේ හූ දශම බින්දුවය් බින්දුවය් ගානක දුරය..ඒ නිසා බොහෝ විට අප ගාලු කොටුවේ සෙට් වූ විටද අප රාත්‍රිය පහන් කිරීමට හික්කඩුවේ අපේ තිප්පොලට යන්නේ පහුවෙනිදා පාන්දරම සාරිගප්පීන් ඇල්ලීමට සහ කෝම්පිට්ටු සෑදීමට හික්කඩුව වෙරල තීරයට යාමට අප ආසා කල නිසාවෙනි...
මිතුර,සමාවෙන්න...කතාවේ මාතෘකාව හික්කඩුව නොව ගාලු කොටුවය..කාලය විශයෙන් එකසිය විසිපස් වරක් පමන අවකලනය වී ඇති මගේ හිත ජීවිත වක්‍රයේ උපරිම හා අවම ලක්ශයන් අතර හිතුමනාපෙට දෝලනය වීමට පටන්ගෙන ඇත...ඒ නිසා මදකට හෝ මා මතෘකාවෙන් අපගමනය වන්නේ නම් සමාවභාජනේක දමන්න...කෙසේ හෝ වේවා පූර්විකව අවසානයේ අප හා ගාලුකොටුව අතර බොහෝ මතකයන් ඇති බව සහ අප ගාලුකොටුවට හම්බානෙක පෙම්කල බව පමණක් ඔබට කීමට කැමැත්තෙමි....
හා හා පුරා කියා ඉස්කෝලෙන් කට්ටි පැනීමට අප ඉගෙන ගත්තේ ලොකු අය්යලාගෙනි,ඒ මෝස්තර දැමූ කොට කලිසමත් ඉනට බුරුල් අවදියේය...ලොකු අය්යලා හැමවිටම කට්ටි පැනීමට භාවිතාකලේ ඉස්කෝලෙ වටේටම චීන මහා ප්‍රාකාරය මෙන් බැද ඇති බෝතල් කටු,කම්බි වලින් හැඩකල තාප්පය උවද පසුකාලීනව අප ඒ සදහා වඩාත් සාර්ථක වූත් කාර්යක්ශම වූත් ක්‍රමවේදයක් සොයාගත්තෙමු...මිතුර..සමාවන්න...එය කුමක්දැය් පැවසීමට මට අවසර නැත...මක් නිසාදයත් අපේ පොඩි මල්ලිලා තවමත් ඒ ක්‍රමවේදය භාවිතා කරන බැවිනි....එය ඔබට පැවසීමෙන් මලකෙලි විසි එකහමාරක් සිදුවන බව නොඅනුමානය...
කෙසේ හෝ වේවා පාසලෙන් රීත්යානුකූලව බැහරවෙන අප ස්ටෑන්ඩ් එකේ මද වේලාවක් විවේක ගැනීමෙන් අනතුරුව එහේ මෙහේ කොහේ හෝ පොඩි වලක් ගසා අවසානයේ නතරවන්නේ ගාලු කොටු තාප්පය මතය....
මිතුර...,වරදවා නොසිතන්න..,නිරන්තරයෙන්ම අප කොටුව දෙසට ඇදුනේ එහි සිට සවුත්ලන්ඩ් කෙලිපැටික්කියන් බැලීමටවත් කොටුව පුරාවට සැරිසරන ලස්සන ලස්සන සුද්දි අක්කලා බැලීමටවත් නොව සැබවින්ම අප කොටුවට පුදුම තරම් ආදරය කල නිසාය....කොටු පවුරේ කෙලවරට වෙන්නට සී බාත් එක අසල පිහිටා ඇති අපේ පොට් එකට යාමට අප ආමි කෑම්ප් එක ලගින් හැරෙන්නේ සවුත්ලන්ඩ් බාලිකාව පෙනි පෙනිය....
තෝරතෝන්චියක් නැතිව ඔහේ දොඩමලුවන අප කොටු බැම්ම මත දිගාවී අපේම වූ ලෝකයක් ගැන හීන දැක්කෙමු...කොටු බැම්මේ වැදී සී සී කඩ විසිරෙන මූදු රැලි නගන හඩටත් වඩා හය්යෙන් අපි කෑගෑවෙමු...බොහෝ විටෙක අපේ මාතෘකාව කෙල්ලෝය...අප කෙල්ලන් ගැන තර්ක කලේ උන්ටත් වඩා අප උන් ගැන දන්නා ලෙසකිනි( දැන්නම් මතක් වෙනකොටත් හිනා...මොන ඉටිගෙඩියද බන් අපි උන් ගැන දන්නේ???)...තවත් විටක අපේ මාතෘකාව දේශපාලනයය...අප ඒ ගැන කතාකලේ ඇරිස්ටෝටල්ටත් වඩා අප දේශපාලනයේ විශාරදයන් වූ ලෙසිනි... වලි ගැන,මිතුරන් ගැන මෙන්ම සමාජය ගැනද අප තර්ක කලෙමු...නමුත් අවසානයේ හැමදාමත් අප නවතින්නේ අප ගැන කතාකරමිනි...අපේ ජීවිතවල මුලු ලෝකෙටම රහසින් අපි දැක්ක හීන,අපේ අරමුණු....අනන් මනන් මලවිකාර සේරම අපේ පුන්චි පුන්චි කතාවල ප්‍රධාන මාතෘකා විය.....
නිමක් නැති කතා දහසක අවසානයේ අප සැවොම සිතිජය දෙස ඔහේ බලාසිටියෙමු...හිත ඇතුලෙ බල්ටි ගහන අනන්ත හැගීම් සමුදායකට ඉබාගාතේ රස්තියාදු ගහන්නට සිතිජය හොද තෝතැන්නක් විය....
තවත් මොහොතකින් හැරුනු හැරුනු අතට අප තාප්පය මත දිග ඇදෙන්නේ ඈත සිතිජ ඉමේ ගිලෙන්නට වෙර දරන මලානික හිරුගේ රක්ත වර්ණ රශ්මියේ ප්‍රහර්ශය හිත පුරා විද ගැනීමටය....
අවසන් කිරණ සමුදායත් නිමක් නැති සාගරය තුල කිමිදෙන අයුරු බලා සිටිනා අප රෑ කලුවර කොටු පවුර වෙලා ගැනීමට මත්තෙන් නිවෙස් බලා යාමට පිටත් වන්නේ අලුත් ඉරක් සමග නැවතත් පසු දිනයේ හමුවෙන්නට එකිනෙකාට පොරොන්දු වෙමිනි......
ප.ලි. : මේ කතාවේ ඉවරයක් නැත...මේ ආතල් එක අපට මග හැරී ඇත......තවත් ලියන්නට හිතක් නැත..එනිසා ඉක්මනටම අවසන් කලෙමි..(කෑලි අඩුය් වගේ දැනෙය්...ගනන් ගන්නෙපා......:D)
ප.ලි.;-------

මේ ලගදි දවසක
පාලු හැන්දෑවක
අපෙ සිහින විජිතෙට
මන් ගියා බන් තට්ට තනියම....

හීන කදු පොදි බැදන්
අපි ගියත් තටු අරන්
නෑ කිසිම වෙනසක්
ඈ තාම හිටි තැනම....

මුලු හදම පිරෙන්නට
ගත්ත හොද හුස්මක්
අපෙ මතක ඇහිදින්න
දාන්නට රවුමක්....

අපෙ සතුට අපෙ කදුල
පුරවාපු අපෙ මතක
කැටයම් වෙලා මෙහෙ
ගල් බිත්ති පිරෙන්නට...

ඉව කරන් ඒ සුවද
මතක මාවත දිගේ
පාවෙවී ආව මන්
අපේ තැන හොයාගෙන...

මන් යද්දි එතනට
හිනාවල් සද්දෙට
වෙන උන් වගයක්
අපේ තැන වාඩිගෙන....

දෙන්නට හිතුන මට
අකුලන් දුවන්නට
උන් කෝමද ඉන්නෙ
ඒක බන් අපේ තැන...

අපෙ කතා ඉතිරිච්ච
අපෙ හීන ඉහිරිච්ච
වල ගහපු-කා බීපු
අපේ උනු අපේ තැන....

ඉවසන්නෙ කෝමද
අපි හිටපු තැන අද
හිනාවන් කතාවන්
හැබැය් ඒ අපෙ නෙමෙය්....

එක මොහොතකට මට
දුක හිතුන අපි ගැනම
ඒ සොදුරු අතීතය
මගහැරිල බන් අපට......

හිත ඇතුලෙ මොර ගහන
මතක හැම හිර කරන්
ආව මන් එලියට
කාලෙ කුප්ප්ය් මචන්......

No comments:

Post a Comment