Sunday, November 26, 2023

Happy birthday Amma ❤️

සුභ උපන්දිනයක් අම්මා !


තාමත් ඉඳ හිටක ඔළුව බර වෙලාවට

මතක් වෙන්නෙම නිතර ඔබේ ඇකයේ සුවය

ඇඟිලි තුඩු කොනහමින් පිරි මදිද්දී ඔළුව

ඒ තරම් නිදහසක් කොහෙද අම්මේ මෙ මට !


කුස්සියේ උයන කොට වරු ගණන් කියවීම

දවසේ රපෝර්තුව එක්ක හිත හේදීම

තේ එකද කෑම එක අත ළඟට පැමිණීම

මිස් වෙනව කොළඹ නැහැ අම්මගේ සැළකීම !


අපරිමිත ස්නේහයට එකම එක නිදසුන

අම්මා තමයි ඒ ප්‍රේමයේ සළකුණ

ජීවිතේ ජීවය පිඹින ගෙයි මුලසුන

ආදරෙයී පැලෙන්නට මගෙ ලොවේ පුදසුන !


තිලංක තේනුවර

නොවැම්බර් 27

, සඳුදා

මහ ගෙදර




Wednesday, November 22, 2023

ඉතින් ඔබට ආදරෙයී නොකියා මම තව වෙන මොනව කියන්නද?





නොකියාම ඇවිදින්
නොකියාම නික්මයන
හරියකට නිච්චි නැති බැඳීමක
සළකුණු කොටා පපුව මත,

සමහර හමුවීම් තියෙනවා - ජීවිතේ
වරක් පමණක් උනත්
මහා ලොකු හිඩැසක් 
හදවතේ ඉතුරු කර යන !

කාලයක් යද්දි බලා ඉද්දිම
මේ හිඩැස් පිරෙනවා ඉබේටම
ඒ මුණගැහුනු උන්ගේ අවශේෂ
නිර්මාණය කරනවා අපිව ආයෙම !

විශ්වාස කරන්න මිත්‍රයා
වර්ථමාන උඹ සහ මම කියන්නෙම
එහෙවූ මායාකාරී හමුවීම් වල
සම්ප්‍රයුක්තයක් තනිකරම !

යුගයෙන් යුගයට
සුන්දරම මතක දී නික්මුණ
ප්‍රේමණීය මිනුසුනේ
ඉතින් ඔබට ආදරෙයී නොකියා
මම තව වෙන මොනව කියන්නද?

තිලංක තේනුවර
නොවැම්බර් 22, බදාදා 2023

Saturday, November 18, 2023

වැව රවුම ලඟ තනිය නෑ අද - නුවර අහසම හඬනවා...



අදත් ඉඳහිට මතක් වෙනකොට

පපුව හයියෙන් රිදෙනවා

දුරක ඈතක මඟ නතර කල

අපේ ප්‍රේමය දැනෙනවා...


තාම තනිකඩ වෙන්න හේතුව

උඹමදැයි මට හිතෙනවා

යන්න දුන්නට තවම ලෝබයී

මතක රහසෙන් ඉඹිනවා...


අහම්බෙන් මුත් දකින මොහොතක

තවම හදවත නටනවා

කිරි සුවඳ මැද සුව ලබනු දැක

ආයෙ මම මඟ හැරෙනවා...


සුබ පැතුම් කවි ලියා දහසක්

සුළඟටම විසි කරනවා

වැව රවුම ලඟ තනිය නෑ අද

නුවර අහසම හඬනවා !


තිලංක තේනුවර

නොවැම්බර් 18 ඉරිදා, 2023

නුවර අහස යට නෙමෙයී...