Friday, December 9, 2022

ප්‍රේමණීය දැවීම...


මෙරුවෙක්මි
පොළෝ ගැබ පලාගෙන මතු උනෙමි
සභාවෙන් අවසරයී
දැන් ඉතිං පියාපත් දිග හරිමි...

ටංග්ස්ටන් සූත්‍රිකා පහනක් මි
සැඩ සුළං පහරට නොනිවෙමි
එල්ලී බාල්කයක අගිස්සේ
අඳුරු අහු මුළු එළිය කරමි...

මෙරුවෙක්මි
ආලෝකයට පෙම් කරමි
බල්බයක් සිප ගතිමි
ආදරෙන් පිච්චිලා මළෙමි...

ටංග්ස්ටන් සූත්‍රිකා පහනක්මි
අඳුර පලවා හරිමි
කිසිවෙකුට ලං වෙන්න තහනම්
සාපලත් - ප්‍රේම සොහොනක්මි...

රාත්‍රිය නොනිදා ලොව පහන් කරමි
ඉර ඇහැරුනු විටෙක නිවෙමි
ප්‍රේමය නිසාම මෙසේ කියා තබමි
ලං වෙන්නෙපා මෙරු - මරමි...

තිලංක තේනුවර
දෙසැම්බර් 08, 2022


    

Thursday, December 8, 2022

නූතන පරපුරේ මුල් කොන නම රැන්දූ උපන්දිනේ සුභ වේ - අයියේ බන්දූ ❤️🥂

අමුතුම රහක් මුහු කොට කවි මන බැන්දූ
අක්ශර වලට පෙරලා තව පණ කැන්දූ
නූතන පරපුරේ මුල් කොන නම රැන්දූ
උපන්දිනේ සුභ වේ - අයියේ බන්දූ ❤️🥂

-තිලංක තේනුවර-

Monday, December 5, 2022

සුභ උපන්දිනයක් වේවා නෑනේ ❤️ මච් ලවූ සිරිමත් මස්සිනා 🌸

මිහිරිය මුදුය තෙපලන ඈ වදන් මුවින්
අසිරිය සිරිය ඉහිරෙයී පෑ සිනාවකින්
සපිරිය විරිය දෑතින් ලොව එළි කරමින්
මිතුරිය දිරිය කවි පේ වෙයී උඹේ නමින්...

රළ සහ වෙරළ කිසිදා වෙන් නොවෙනා සේ
සඳු අත නෑර තරු පිරිවර ඉන්න ලෙසේ
පොළොවට සුව සදන විල්ලුද අහසක් සේ
නුඹ අත නෑර ඉන්නෙමි හෙවනැල්ල ලෙසේ...

ලෝකෙම තියෙන මල්වල මකරන්ද උරා
මධු විත පෙරමි අම රස කවි මත තවරා
ස්වරයට ගැයෙන සියොතුන් ගී හඬ වපුරා
ආසිරි උපන් දින පතනෙමි කවි අහුරා...

සුමුදු මුදු මල් සේද ඇදිලා යනෙන මග උඹ සුවඳ වේවා
සිනිදු සිත රිදවනා කිසිදේ උඹේ දිවියට හමු නොවේවා
පිණිදු වැහි බිදු දිවිය කතරේ විඩා නොමදී ඇද වැටේවා
රිවිඳු සේ දිලි දිලී සැමදා ජීවිතය සරු සාර වේවා !!!

සුභ උපන්දිනයක් වේවා නෑනේ ❤️ මච් ලවූ සිරිමත් මස්සිනා 🌸

Friday, December 2, 2022

සමහර පොළොව වල් තියෙනවා වර්ශාවට වඩා ඉඩෝරයට පෙම් කරන...


අවුවට කරපට්ටම් වෙච්ච
ඉරි තැලී හම විරූපි වෙච්ච
ආත්මයකට වැහි පොදක් තියා 
පිණි පොදක් වත් දැක්කෙ නැති
සමහර පොළොව වල් තියෙනවා
වර්ශාවට වඩා ඉඩෝරයට පෙම් කරන...

සමනළයෙක් තියා
කුරුල්ලෙක්වත් බලන්නෙ නැති
සුවද මල් සංගමය විසින් 
ලේබල් ගසා අතහැර දමන ලද
සමහර පොළොව වල් තියෙනවා
පතොක් මල් විතරක්ම පීදෙන...

අනෝරාවක කුර ගැටී 
පොළෝ ඝර්භයේ නිධන් කර තිබූ
පරණ තුවාල පෑරිච්ච හවසක
මඩ පාට රුධිරයට විදිමින් සී සී කඩ
සමහර පොළොව වල් තියෙනවා
වස්සාන අහසට - අඬ අඬා සාප කරන...

සුවඳ මල් පීදෙනවට අකැමැති
සමනල්ලු එනවට අකැමැති
අහේතුක වර්ශාවට අකැමැති
කිවුවට විස්සාස කරනවද
සමහර පොළොව වල් තියෙනවා
වසන්තය ගැන - සත පහකට විශ්වාසයක් නැති...
 
තිලංක තේනුවර
දෙසැම්බර් 2, 2022