Thursday, June 17, 2021

සොඳුරිය, ප්‍රේමය කියන්නෙම බිහිසුණු මාතෘකාවක්...

නිවුනොතින් වරුවක්
හදත් එක්කම තරුත්
රැයේ කළුවර පවසාවි
කොයි තරම් ගැඹුරුයිද අහසක්...

විරහවක් දැනුනු හවසක්
කවුරුත්ම නැතිව මොහොතක්
ගතකලොත් වැටහේවි
කොයි තරම් දරුණුයිද ප්‍රේමයක්...



Friday, June 11, 2021

මළත් ඇවිදින මල් 2



ඉතුරු ඇති මකරන්ධ සේරොම
ගසක දෙපතුල ලගට විසිකොට
මලක් පරවී යන්න මත්තෙන්
මෙලෙස පවසයි දුක තුනී කොට...

හුගක් ඉඩ ඇති අතු අගිස්සේ
තවත් පොඩි මල් පිපෙනවා
තවත් හිටියොත් බරයි අත්තට
ඒ නිසා මං බහිනවා
යන්න කලියෙන් කියන මේ ටික
හොදයී දැන්වත් අහනවා...

රළුම නපුරුම සුළං පාරට
තදට මුල් ඇද නොසැලි හිටියට
අතු අගිස්සේ ළපටි මල් පොඩි
පෝලිමට බිම වැටෙනවා
ඒ නිසාවෙන් ඌට ඉඩ දී
ඔහේ පොඩ්ඩක් නැවෙනවා...

මලට නොරිදා රොණ් උරන්නට
කියා එන සමනල්ලු පෝලිමෙ
පෙතිත් පොඩි කර රේණු වනසන
සමහරක් උන් ඉන්නවා
ඒ නිසාවෙන් කල්පනාවෙන්
කැකුළු මල් රැක ගන්නවා...

ගසක වේසෙන් දිවි ගෙවන එක
ලේසි නැති බව දන්නවා
කැති පොරෝ මිට මෙලෝගත් උන්
එමට යුද්දෙට ඉන්නවා
ඒත් තාමත් ලැජ්ජ නැතිකම
උන්ට හුස්මත් බෙදනවා...

පිපුනු පසු හැම මලක නැවතුම
පරවීම බව කියනවා
ඒ නිසාවෙන් සුළං සේලෙට
මමත් හෙමිහිට වැටෙනවා
මළත් සුළගේ ගිහින් තා දුර
ගසක් වී මං හැදෙනවා...

මළත් ඇවිදින මල් 🌼

ඉතුරු ඇති මකරන්ධ සේරොම
ගසක දෙපතුල ලගට විසිකොට
මලක් පරවී යන්න මත්තෙන්
මෙලෙස පවසයි දුක තුනී කොට...

හුගක් ඉඩ ඇති අතු අගිස්සේ
තවත් පොඩි මල් පිපෙනවා
තවත් හිටියොත් බරයි අත්තට
ඒ නිසා මං බහිනවා...

පිපුන මලකට උරුම විදියට
මමත් පරවී වැටෙනවා
මළත් සුළගේ පාව ඈතක
ගසක් විදිහට නැගෙනවා...

-තිලංක තේනුවර-




Tuesday, June 8, 2021

හාමුදුරු හොරුනි

 

සසර කෙටි කරන මාවත අගුළු දමා

නිතර ඇහෙන වැදි බණ ටික දෙසන තුමා

විසිර සාසනේ වනසන විසර තමා

නතර නොකොලොතින් ඉවරය දහම අමා

Monday, June 7, 2021

තවත් ගැහේවිද හදවත


සිනිදු සුකොමළ ඇගිලි තුඩු නලවා
සියක් වර පිරිමැද කාශ්ටක පිරිමි පපුවක්
සංසුන් කරවා රුධිර ගමනා ගමනයද
ප්‍රේමය යැයි ලේබල් කරන ලදුව
අධි සාන්ද්‍ර විස කුප්පියෙන් 
මාත්‍රා කීපයක්ම ගෙන එක පෝලිමට පොවා
සිහි මද ගතියෙන් සිටි 
අනපේක්ශිතම මොහොතක
දසැගිලි අග විහිදුනු පිහිතුඩු එල්ල කර
ඇන්නේය පපු කුහරයේ වාමාන්තයට...

අල්ලා මහා කිරීටක ධමනියේ බෙල්ලෙන්
විසන්ධි කර ලේ පිඹින රුධිර නාල
ගලවා ගත්තේය හෘදය වස්තුව ඈ අතට...

තාමත් ලාවට ඇසෙන ලප් ඩප් ශබ්ධය
සම්පූර්ණයෙන් මැකී යන්නට මොහොතක් තියා
විමසයී මේ විනාසයට හේතුව
හදවතේ අයිතිකාරයා...

කදුලු කැට දෙක තුනක් තුවාලයට හලා
හැගුම් විරහිත හාදුවක් දෙතොලතර තබා
තව මුකුත් නොකියාම
ඈ කොහේ හෝ යන්නම ගියා...

ආ ඔවූ
ලේ වැගිරෙන හෘදය වස්තුව,
ඈට වැඩක් නැති නිසා
ඒක 
අයිතිකාරයාටම දීලා ගියා...

-තිලංක තේනුවර-