Tuesday, December 26, 2017

කරුමෙ කිම වදවෙන හිරු සදිසි මිනිස්සූ



ගං තෙරේ   කවි කරේ   අපට තුට
සදන්න
තුන් සැරේ   පින් කරේ   නිවන් මග
සොයන්න
මන්දිරේ   සුන් කරේ   මරුව නේ
අහන්න
චන්දරේ   වෙන් කරේ   කිමද මට
කියන්න

පංසලේ   සල් පිලේ   හිටුවනම
කියනවා
මංසලේ   දන්සැලේ   දනට දන්
පුදනවා
පපු තලේ   සිවු පොලේ   මෙත් සිසිල
තියෙනවා
බඹතලේ   ගුණ බලේ   ගැන නිතර
දොඩනවා

ගම පුරා   සැරි සරා   අඩුපාඩු
සොයනවා
රස පෙරා   කවි කරා   පත්තරේ
ලියනවා
සොහොයුරා   ගුණ සරා   ලැබැදි බස්
දොඩනවා
හෙනහුරා   මොහු හොරා  ගෙන ගිහින්
තියෙනවා

හාමුදුරුවරු   තරම් බණ දහම්
දන්නවා
කෝදුරුවටත්   පණක් ඇති බවද
කියනවා
මා මැදුරු   නැති උනත් තුටින් කල්
ගෙවනවා
වාකදුරු   වැරදි වැඩ ගැන හෙලා
දකිනවා

බව කතර   සරණතර   අප අතර
ඉපදුනා
දිවි කතර   කර නතර   කියන දේ
වැටහුණා
අතු පතර   ඇති වතුර   බිමට බට
විලසිනා
ප්‍රිය මිතුර   නිවනෙ දොර   හරිති පා
මල් සිනා

තාත්තාගේ මිත්‍රයෙකු අතින් ලියැවුනු කවි පෙලක්.

Friday, December 22, 2017

තාත්තා!!!

තාත්තා!!!

ඉස්සර පංසලට ගියහම
පූජාව ඉවර වෙලා ආයෙම ගෙදර යනකොට
තාත්ත මාව තියාගන්නව කර උඩ
අහසෙ තරු රටා පෙන්නගෙන
ලොකුවට රවුම් තැටියක් වගේ දිලිසෙන
හදේ ඉන්නව කියපු හාව ගැන
එක එක කතා කිය කිය
මතකයි ආපු හැටි ගෙදරට පයීන්ම
කට්ටියම ගෙදර දොර ලග
මං තාම තාත්තගෙ කර උඩ
සත්තයි උළුවස්ස උහ උනා නම් තව
මං ඉතිං ඉදියි මුළු රෑම එහෙමම...

අපේ තාත්ත කියන්නෙම
රස කතා ලෝකයක් තනිකරම
ලංකාවෙ ඉතිහාසෙ ගැන
හිටපු ලොකු රජවරු ගැන
ගුත්තිලය මහාවංශය
උම්මග්ග ජාතකය බුත්සරණ
කව් සිළුමින අමාවතුර සකස්කඩ
ගණදෙවි හෑල්ල සිරිත් මල්දම
මේ වගේ එක එක ජාතියෙ
පොත්වල නම් ඇහුවෙත් තාත්තගෙන් ඉස් ඉස්සෙල්ලාම...

තව ලෝක සිතියමේ තිවිච්ච අහලවත් නැති රටවල් ගැන
ඒ රටවල හිටපු එක එක බාසාවල් කතා කරන මිනිස්සු ගැන
මේ ලෝකෙ වෙනස් කරපු යතිවර ජීවිත ගැන
වෙන කවුද මෙච්චරම දන්නෙ අපේ තාත්තම ඇර...

තාත්තෙ අරක මොකද්ද
ඒක වැඩ කරන්නෙ කොහොමද
මේ බටන් එක එබුවම මොකද වෙන්නෙ
මේ වයර් එක ගැලෙවුවොත් මොකද වෙන්නෙ
මේ වචනෙ තේරුම මොකද්ද
අතොරක් නැතිව අහපු හැම ප්‍රශ්ණෙකටම
උත්තර තිවුන අපේ තාත්ත ලග හැමදාම..

එළිවැට එළිසමය
විරිත මාත්‍රා ගැලපුම
කවියකට වචන අමුණන විදිහ ගැන
තාත්ත කියාදෙනව ඉස්සර
ලිය ලියා පෙන්නුවා මතකයි තාත්තට...

කරන්ට් එක ගියපු දවසක
පැට්‍රොල් මැක්ස් ලාම්පුව පත්තුකර
සාලෙ මැද එල්ලලා කොක්කක
ගෙදර හැමෝවම වටකරන්
තාත්තගෙ රස කතා සංගමය
සමහර වෙලාවට මතකත් නෑ ඉවර උනේ කොහොමද
උදේ ඇහැරිලා බලද්දි ඉන්නෙ ඇද උඩ...

ගෙදර කැද ටිකක් හැදුවත් මුල් කොටහ පංසලට
මල් වට්ටියක් පිරෙන්න
කිරි ඉද්ද මල් කඩන්
අඩු පාඩුවට පිච්ච සේපාලිකා අරලියා කහමල්
තවත් හැඩ වෙන්න රෝස මලක් ඉන්දලා වට්ටිය මැද
පොත් ටිකත් අතට අරගෙන
දහම් පාසල් යන්න හැම ඉරිදිම
පුරුදු කෙරෙවුවෙ පොඩි සංදියේ ඉදලම
හොද නරක ගුණ ධර්ම මේකයි
මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්නෙ මෙහෙමයී කියා දුන්නා ඒත් එක්කම...

ගැරිජ්ජෙක පල්ලෙහා පොඩි මට
විස්කම් ලන්තයක් වගේ දැක්කම
කළු පාට ඇග පුරා ගාගත්ත
මාමලා රොත්තක්ම වට කරගෙන
තාත්තත් ඉන්නවා මජං නාගෙන
එක එක විදිහෙ ආයුද
ඇණ වර්ග වාහන කෑලි එකතුව
ඇස් ගෙඩි ඉලුප්පගෙන
මං බලන් ඉන්නෙ කටත් ඇරගෙන
ඔන්න එක පාරටම
ඇහෙනවා තාත්තගෙ ගෝරනාඩුද
මජං සුවද හිර කරන් පපුවෙම
දුවනවා මං හනික ගෙදරට
තාමත් ඒ මජං සුවද
දැනෙනවා මට පෙණහලු පාරගෙන
තාත්තගෙ මතක එක පෝලිමට අවුස්සන...

උදේ පාන්දර ඉස්කෝලෙ යන්න
පාන්දර පහට බස්සෙක
ආයෙ පන්තිත් ඉවර වෙලා
එද්දි රෑ හත අටට ඉස්ටෑන්ඩ්ඩෙකට
තාත්ත ඉන්නවා බලාගෙන
එක්කං යන්න මාව ගෙදරට...

ලෙඩ උනාම උස්සන් දිවුවෙ දොස්තර ගාවට
වැරැදි කරහම වේවැල් කසාය සංග්‍රය
එක්කල බැනුම් කෝටියක් ඇහුවට
මං දන්නව තාත්තෙ එහෙම තමයි ආදරේට...

ඉස්කෝලෙ දහම්පාසලේ
විභාග තරග දිනුවම
ඉස්සෙල්ලාම කප් එක සහතිකත් උස්සන්
මං දුවන් ආවෙ තාත්තට පෙන්නන්න
මගේ පුංචිම ජයග්‍රහණයක් උනත්
ඒක ලෝකයක් දිනුව වගෙයි තාත්තට...

අතීතයෙ ලස්සන මතක තාත්ත ගැන
සුනාමියක් වගේ එනව ඔලුවට
පපුව පලාගෙන ඇස් උළුප්පගෙන
නහර ඔස්සේ දුවන වේදනාවට
විලාප තියන්නට හිතෙනව මට
ඒත් මං තාමත් ඉන්නව ඉවසගෙන
ඇස් වලින් පනින කදුලකට
කම්මුල් පහු කරන්නට ඉඩක් නොතබාම
හොද වෙලාවට තාත්ත මට කියල දුන්නෙ
දුක වේදනාව අකුරු අස්සෙ හංගන විදිහ
නැතිනම් කොහොමද දෙයියනේ මං ඉන්නෙ හයියට...

ඉස්පිරිතාලෙ ලෙඩ ඇදේ ඉන්නකොට
සේලයින් බට කැනියුලා ගහල
හිල් කරල අතට බෙල්ලට
ඒත් ඒ අස්සෙත් කතාකරේ
හිනාවෙලා හොදට ලස්සනට
කවුද දෙයියනේ හිතුවෙ
තාත්ත හුස්ම අතාරියි කියල
ලොකු පුතා ලග නැති ටිකට...

කොළඹ ඉදන් රෑ දහයට එකොළහට
මං ආවම මාපලගමට
දැන් කවුද තාත්තෙ එක්කන් යන්නෙ
පාළු හීතලේ මාව ගෙදරට...

කන්වකේශන් ගන්න තා අවුරුදු දෙකක් විතරනෙ තියෙන්නෙ
දැන් කොහොමද තාත්තෙ
ලෝගුවත් දාගෙන ගන්න ෆොටෝ එකට
තාත්ත නැතිව මං අම්මත් එක්ක විතරක් ඉන්නෙ...

ඒ ඔක්කොටම වඩා දැන් කාගෙන්ද මං ප්‍රශ්ණ අහන්නෙ අරම???
වෙන කවුද ඒ ප්‍රශ්ණවලට උත්තර දෙන්න දන්නෙ තාත්ත තරම් හොදට???

දළදා මාලිගාවට නුවරට
ගියා ළගදී සිරීපාදෙට
ගිහින් ඉල්ලුව එකමදේ මං
බේරාල දෙන්න තාත්තව
පිං කරාට පස්සෙ ඒ පින
දෙවියොන්ට දෙන්න කියල
මට උගන්නපු මනුස්සයව...
කොහෙද දෙයියනේ හිටියෙ
ඇහුනෙ නැද්ද මගෙ කන්නලවුව???

ලොකු පුතා තමා තාත්තෙ මං
ඒත් මේ විරහව බර වැඩියි හිතට
ඉගෙන ගන්නම් කොහොම හරි මං ජීවත් වෙන්න
වීරයා මැරිච්ච ලෝකෙක...

නිතරම අඩ ගහයී මට ලොකු පුතේ
කියා
පැතිරම තිවුනෙ හැම වදනක සෙනෙහෙ
නියා
නතරම නොකර හඩනා වැහි වළා
තියා
අඹරම හැඩ කරපු තෙද හිරු බැහැල
ගියා













   

Monday, December 18, 2017

පවනැලි අතීතයෙ දුහුවිලි කදු     
පිසිනා
හසරැලි මකයි සැනෙකින් හිත් වැට
පනිනා
මහවැලි පරයලා කදුලුම ගොඩ   
ගසනා
සෙවනැලි කතාවක් හැම හිතකම 
නිදනා