Thursday, May 8, 2025

ඔවූ මේ කවිය ලිවූවෙ ඔබට !


රෑ අහසේ තදට දිලිසෙන
ඔබ වතාවක් ලස්සනැයි කියූ
ඒ තාරකාව ගලවා
ඔබේ දෝතින් තබන්නෙමි යැයි
නිශ්ඵල කතා කීමට මට බැරිය !

ක්ශීරපතයේ චායාරූපයක් දැක
විශ්මාන්විතව ඒ දෙස බලා සිටින
ඔබේ හිස මෘදුව අතගා
මේ විශ්වයම හකුලා
ඔබේ දෝතින් තබන්නෙමි යැයි
නිශ්ඵල වදන් දීමට මට බැරිය !

නමුත් ඔබ කැමැති නම්
තාරකා තරම් දීප්තිමත් නැති මුත්
සාගරය තරම් ගැඹුරු මේ ඇස්
ගලවා තැබිය හැක
ඔබේ චන්ද්‍ර මණ්ඩලය මත !

විශ්වය තරම් විශාල නැති මුත්
මහමෙරක් තරමට බර
මගේ හිස තබන්නම්
ඔබෙ දෝත මත - ජීවිත කාලයටම
ප්‍රේමිය එයයි මට දිය හැකි 
නිශ්චිතම පොරොන්දු ව !!!

තිලංක තේනුවර
මැයි 8, බ්‍රහස්පතින්දා 2025

Monday, March 24, 2025

මම හයියෙන් කෑගහල කිවූවා පැලෙන්න ආදරේ බව උඹට, අහසට !



දරා ගන්න බැරිම වෙච්චි දවසක

තරමක් මධුවිතෙන් සන්නද්ධ හවසක

මම හයියෙන් කෑගහල කිවූවා

පැලෙන්න ආදරේ බව උඹට, අහසට !


හඳත් ඇබ්සන්ට් මොහොතක

චක්‍රාවාටයේම තාරුකා අතරින්

ප්‍රොක්සිමා සෙන්චූරි විතරයි එදා

අහන්නට හිටියෙ මගෙ දුක !


මා උඹට ආදරේ බව

මේ සක්වලින්ම දන්නේ

ප්‍රොක්සිමා සෙන්චූරි හැරුනම

ෆේස් බුක් හිස්ට්‍රි එක විතරය !


තිලංක තේනුවර

මාර්තු 23 , ඉරිදා 2025

Saturday, March 22, 2025

කලාතුරකින් ලැබෙන ඔබේ දුර ඇමතුම් !



එක වරම

නොස්ටැල්ජියාවක මිහිරෙන්

මා සන්තර්පනය කර

තවත් මොහොතකින්

ඒක පාර්ශවික ප්‍රේමයක

අසීමාන්තික වේදනාවකින්

ගෙල මිරිකා මා පොළවේ ගසන

කලාතුරකින් ලැබෙන

ඔබේ දුර ඇමතුම්

ආශිර්වාදයකට වඩා

දැන් නම් සාපයක් !


ඒ ඔක්කොටම වඩා කරුමෙ

හරියටම වැඩ ඉවර වෙලා

ගෙදර යන්න එළි බහිද්දි

අහේතුකවම ඔළුවට කඩා පැනපු

මේ අනාරාධිත වැස්ස !!!


තිලංක තේනුවර

මාර්තු 21 සිකුරාදා, 2025

වැස්සක, කොළඹ අස්සක !

Saturday, January 18, 2025

මා ලියන පොතේ ඔබට පිටුවක් වෙන් කරමි !


මා ලියන පොතේ
ඔබට පිටුවක් වෙන් කරමි !

ඒ පිටුව පුරාවට
ඔබව පැන්සලකින් පින්තාරු කොට
මිනිරන් පැහැයෙන් දිස්නෙ දෙන
ඔබ දිහා මොහොතකට බලා හිඳිමි !

අතීතයක බර
දිගු සුසුමකින් බිමට අත හරිමි !

පිටුව උඩින් හෙඩිමට
ලියා ගත නොහැකි වූ
කවිය යැයි නම් දෙමි !

දැන් මා
ඊළඟ පිටුවට
කවියක් සොයමි !

තිලංක තේනුවර
ජනවාරි 17 සිකුරාදා , 2025

Saturday, December 28, 2024

Loku Akka's Birthday!

කැලැන්ඩර් කොල ඔහේ පෙරලෙද්දි එක දෙක
වයස යනවා කියා වැලලෙනා ලෝකෙක
විසි පහේ නතර උනු අපි වගේ උන් නෙක
සටන පාවා නොදී ඉන්නවා මඟ රැක !

උදාවූ උපන්දිනෙ ජයම ජය වෙන්නයි
සිතු පැතූ සෑම දේ පතමි හරි යන්නයි
බුදු පහන මෙන් ගෙදර සදා දැල් වෙන්නයි
ලොකු අක්කෙ මේ කවිය ඔබට සෙත් වෙන්නයි !

සුබ වෙන්න සරු වෙන්න හැඩ වෙන්න ජීවිතය
සැප දෙන්න තුට දෙන්න හරියන්න පතන දෙය
රැක දෙන්න සවි දෙන්න ජය ගන්න සිහින ප්‍රිය 
දිලිසෙන්න වැජඹෙන්න කළුවරක උනත් රැය !

තිලංක තේනුවර 

Sunday, December 22, 2024

මේ ලිපිය තව අවුරුදු 50කින් කියවන්න !

මේ ලිපිය තව අවුරුදු 50කින් කියවන්න !




මේ අකුරු දකින වාරයක් ගානේ

මා ගැන මතක

එක පොදියට

ලස්සන සිනහවකින් සැරසී

ඔබේ හදවතේ ඇමිණිය යුතුය !


සිහින් රිදුමක් නම්

අනිවාර්යයෙන්ම තිබිය යුතුය

ඔබ මාගෙන් ගලවා ගෙන

ආකලනය කර ගත් මාගේ කැබලි

මේ අකුරු දකිද්දී

නලියන්නේ නැති නම් පුදුමයකි !


ජීවිතේ එක්තරා දවසක

මේ අකුරු අතරින්

සක්මන් කරන මොහොතක 

මා ඔබෙන් බොහෝ දුර 

ගමන් කර තිබෙන්නට පුළුවන !


සමහර විටෙක සියවස් දුසිමකින්

අප මුණ ගැසී නැති බවත්

සියවස් දුසිම් බාගයකින්වත්

කතා කොට නැති බවත්

එක වරම ඔබට සිහිපත් වනු ඇත !


මා කොහේ සිටිනවා දැයි

මා කුමක් කරනවා දැයි

කල්පනා කරමින් මොහොතකින්

ඔබ දිගු සුසුමක් හෙලනු ඇත !


වෙවූලන ඇඟිලි තුඩු වලින්

මේ මතක අකුරු පිරිමදිමින්

ඔබ හඬනු ඇත - සිනාසෙනු ඇත

මෙහි ඇති පරණ පුසුඹින්

පෙනහළු පුරවාගෙන රුධිරයට

අවශෝෂණය කරගනු ඇත !


වයසක ඔබට වයසක මට

කියන්නට තිබෙන්නේ

ඔබ කොහේ සිටියත් කමක් නැත

මම කොහේ සිටියත් කමක් නැත

මේ වෙද්දී අපි අරමුණු අරඹයා 

කළ සටන් හමාර කර

සාමය සහ නිදහස සමඟ

අපිට රිසි ජීවිතය ගෙවනවා විය යුතුය !


ජීවිතය ඉඩ ලබා දේ නම්

අපි වරක් නැවත හමු විය යුතුය

නැවත හමුවීමක් තිබුණත් නැතත්

ඔබ මෙය දැන ගත යුතුය

මා සැබැවින්ම මැරෙනවා නම්

ඒ ඔබට මා සම්පූර්ණයෙන්ම

අමතක වූ දවසටය !


ඉතින් මේ ඉතුරු හරියත්

ඔබ හොඳින් ජීවත් විය යුතුය

ඔබ ජීවත් වනවා කියන්නෙම

මම ජීවත් වෙනවා කියන එකමය !

    

තිලංක තේනුවර

Friday, December 13, 2024

සසර පෙර පුරුද්දට අපිට අපි හමු වීම...



සසර පෙර පුරුද්දට අපිට අපි හමු වීම

අතරමං වෙන තරම් ප්‍රේමයක දුර යෑම

කතර ගිනි ගන්න කොට අපි උනත් පැටලීම

සොඳුර ජීවිතේ හැටි නිවි නිවී ඇවිලීම !


ප්‍රශ්ණ උල් කටු වගේ මග දිගට ඇමිණීම

සිතු තරම් ජීවිතෙත් සිනිඳු නැත වැටහීම

නිදහසත් සාමයත් හිත තලා ඉගිලීම

සොඳුර ප්‍රේමයේ හැටි තමන් සැප දන් දීම !


දරාගන්නට බැරිම තැන් වලත් ඉවසීම

කිසිදාක විය නොහැක උඹට එය වැටහීම

බලා ඉන්නට බැරිම ඈ මෙහෙම ගොළු වීම

පාරමී පුරන්නේ  ආධුනික අපි කොහොම !


බැමි ලිහමි දොර හරිමි සොඳුර නුඹ නික්මීම

ප්‍රේමයෙන් විය යුතුය උනත් එය සමු ගැන්ම

දිනක හමු වෙමු නැවත උගෙන තව පෙම් කෙරුම

ජීවිතේ හැටි ඉතින් වෙන්වීම ලන්වීම !


තිලංක තේනුවර

දෙසැම්බර් 11 බදාදා, 2024