ජීවිතය ගැන, ප්‍රේමය ගැන, විරහව ගැන සහ කියවන්නෙකුට අගක් මුලක් නොතේරෙන අනන් මනන් මළ විකාර ගැන මා කොතරම් කවි ලියා ඇත්ද කියා මටවත් මතක නැත.
ඒ අතරිනුත් පුද්ගලානු බද්ද කවි මා ලියා ඇත්නම් ඒ බොහොම අතලොස්සකි. එසේ ලීවානම් ඒ ලියා ඇත්තේ ද සමීපතමයින් උදෙසා පමණකි.
වරකදී පමණක් ලියූ ඒ කවිය හෝ දෙක ඇරෙන්නට ඔවුන් ගැන මා ඉන් පසුව ලියා නැත. එයට හේතුව මගේ පඩත්තල කම යැයි ඔබට සිතීමට මා සම්පූර්ණ අයිතිය දෙන නමුත් සැබෑ හේතුව තවත් කෝණයකින් ඔවුනොවුන් දෙස බැලීමට සහ නව වචන රටාවක් අස්සේ ඔවුන්ව පෙළ ගැස්සවීමට මට ඇති කම්මැලි කමය.
වැඩිම වාර ගාණක් මා පුද්ගලානු බද්ධ කවි ලියූ එකම පුද්ගලයා අපේ අම්මාය.
තාත්තා නැති දින සිට ළමයි තුනකගේ බර සිය දෙවුර මත තියාගෙන සප්ත මහා සාගරය තරණය කෙරූ ඈ ගැන කවි ලියන එක ලේසි පහසු කටයුත්තක් නොවේ.
සියක් දාහක් ළමුන්ගේ නෙත් පාදා ගුරු වෘතියෙන් ළගදී විශ්‍රාම ලැබුවද තාමත් එදා ජවයෙන්ම වැඩ කරන ඈ මා දුටු ශක්තිමත්ම ගැහැණියයි.
මා වැනි ඇට්ටර, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පඩත්තලත්වයෙන් උත්කෘශ්ඨ පුත්‍ර රත්නයක් මිනිසෙකු වශයෙන් නිර්මාණය කිරීමට සමත් වීමම ඈ කොතරම් ශක්තිමත් ද යන්න තේරුම් ගැනීමට ගැලපෙනම නිර්ණායකයකි.
කෙතරම් ශක්තිමත් වූවද අපව විශයක් වන වෙලාවට ඈ හරිම සංවේදීය.
අපෙගෙන් සිදුවන වචනෙක වැරද්දකට පවා ඈව බෙහෙවින් සංවේදී කල හැක.
එහෙවූ අවස්ථාවල ඈ දුක කියන්නේ අක්කාටය. අක්කා නැවත ඇට්ටරත්වයෙන් අග තැන් පත් මා හට ඒ පණිවුඩය ලබා දෙන්නේ සබ් ටයිටල්ස් දාලා එහෙමය.
එතකොට මටත් සෑහෙන්න අවූලය. වැඩක් කර ගැනීමටත් බැරිය. ඒ නිසා අනිත් පැත්තට දුර ඇමතුමක් ගෙන ඇයව සමථයකට පත් කර ගැනීම සියළු අනෙකුත් වැඩ පසෙකට දමා මා අනිවාරෙන්ම සිදු කරන දේව කාරියකි.
ඈට ඕනේ අපි ඉහලටම යන්නටය. ලංකාවේ මොන කෙලවරේ හිටියත් දවසේ රපෝර්තුව බලාපොරොත්තුවෙන් ඇගෙන් එන දුර ඇමතුමනම් කිසි දිනෙක වරදින්නේ නැත. අම්මලා එහෙමය ! ඒ අම්මලාගේ හැටිය !
මා ලියන්නට ගත් විට සිදු වෙන්නේ මෙන්න මේකය. කෙටි කතාවක් ලියන්න පටන් ගත් විට ඉවර කරන්නේ නව කතාවකිනි. මේ වාක්ය රචනය පටන් ගත්තේ වෙන වැඩකටය.
අද අපේ අම්මාගේ උපන් දිනයය. මේ ලියමන ලියන්නේ ඈට ලියූ සුබ පැතුම් කවි පන්තියේ පූර්විකාව හැටියටය.
මෙච්චර දිග අට මගලයක් කිසිවෙකු නොකියවන බව විශ්වාසය. මා ඔබට වරදක් නොකියමි. අප හැම දෙනාම එහෙමය. අපේ ජීවිත වල කාර්ය බහුලත්වය සමග අපට වියදම් කිරීමට ඇති අල්පයක් තරම් කාලය ගැන ප්‍රවේශම් වීම අනිවාරෙන්ම සිදු කළ යුතුය.
හැබැයි කොතරම් දිග උනත් අපේ අම්මා නම් මෙය අනිවාරෙන්ම කියවන බවත් කියවා තනියම හඬන බවත් මම අත් දැකීමෙන් දනිමි.
අම්මාට ෆේස් බුක් එකවුන්ට් එක හදා දීමට වීර මද්දුම බණ්ඩාර වගේ මලයා ඉදිරිපත් වෙද්දීම, මා තරයේම එයට විරුද්ධවූයේ ඒ නිසාය. වෙන කවුරු නොකියෙවුවත් මා ලියන, දාන, ශෙයා කරන හැම දේම අම්මා මුළ ඉදන් අගටත් අග ඉදන් මුලටත් කියවනා බව දන්නා නිසාය. මොනා කරන්නද, ඒ අම්මලාගේ හැටිය. අම්මලා එහෙමය !
ඉතින් අම්මේ ඔයාට සුබම සුබ උපන්දිනයක් !
නොකිවූවට නිතරම, දන්නවනෙ මං ඉතින් ආදරෙයි පැලෙන්න !
මච් ලවූ,
ලොකු ඉලන්දාරියා.
සුභ උපන්දිනයක් අම්මා !
තාමත් ඉඳ හිටක ඔළුව බර වෙලාවට
මතක් වෙන්නෙම නිතර ඔබේ ඇකයේ සුවය
ඇඟිලි තුඩු කොනහමින් පිරි මදිද්දී ඔළුව
ඒ තරම් නිදහසක් කොහෙද අම්මේ මෙ මට !
කුස්සියේ උයන කොට වරු ගණන් කියවීම
දවසේ රපෝර්තුව එක්ක හිත හේදීම
තේ එකද කෑම එක අත ළඟට පැමිණීම
මිස් වෙනව කොළඹ නැහැ අම්මගේ සැළකීම !
අපරිමිත ස්නේහයට එකම එක නිදසුන
අම්මා තමයි ඒ ප්‍රේමයේ සළකුණ
ජීවිතේ ජීවය පිඹින ගෙයි මුලසුන
ආදරෙයී පැලෙන්නට මගෙ ලොවේ පුදසුන !
තිලංක තේනුවර
නොවැම්බර් 27 බදාදා, 2024