Friday, October 25, 2024

දරාගෙන කොහොම ඉන්නේ බිඳි හදක ලතැවිලි !

පෙමාතුර හැඟූම් මඩිනා

මලානික සිතුවිලි

අරාජික මනස වහගෙන

පරාජිත මැසිවිලි

මරාගෙන මැරෙන තරමට

පෙම් කරපු දා කෙලි

දමාගෙන කොනිත්තයි

විරහවක වා සුලි !


ගලෝගෙන ගිය දාට

ප්‍රේමයේ බැඳි තැලි

දරාගෙන කොහොම ඉන්නේ

බිඳි හදක ලතැවිලි !





තිලංක තේනුවර

ඔක්තෝබර් 25 සිකුරාදා , 2024

Sunday, October 6, 2024

මා ආදරය කල ගැහැණුන් සහ මට ආදරය කල ගැහැණුන් !

මා ආදරය කල ගැහැණුන්
එපමණක් සිටියද
මට ආදරේ කල ගැහැණුන්
සිටියේ අතලොස්සකි !

මා ස්නේහ වැඩූ ගැහැණුනි
ඔබට මා කෙතරම් ප්‍රේම කලාද ?
ඇවැසි සෑම මොහොතකම
උවැසි අත වැසි සේ මම
කඳුළු පිස දා ලන
කඩදාසියක් විය අවසන
කුනු කූඩයට විසි උන !

වරදක් නැත
මා ඔබට ප්‍රේම කෙරූ බව
කිසිදා ප්‍රකාශ කර නැත
ඒ නිසා මේ කැපකිරීම් සියල්ලම
මිත්‍රත්වයේ වේශයෙන්
ඔබේ ජීවන ඩයරියේ 
සමහර විටක ලියවී තිබෙන්නට හැක !

මට ප්‍රේම කල ගැහැණුනි
මට ඇති එකම දුක
ඔබ මට ප්‍රේම කල බව නොකීමය
නොකීවත්
එය තේරුම් ගන්ට බැරි වීමට
පෙරලා ප්‍රේම කරන්නට
නොහැකි වීමය
ඒ ප්‍රේම ණය ගෙවන්නට
තරම් තව ප්‍රේමයක් 
මා තුල ඉතිරි නොවීමය !

මේ දැනෙන ණය ගැති හැඟීමට
කුමක් කරන්නට දැයි මා නොදනිමි
ඒක පාර්ශවික ප්‍රේම රාජධානියක
සිංහාසනාරූඪව මා නිදමි !!!

තිලංක තේනුවර
ඔක්තෝබර් 5 සෙනසුරාදා, 2024


Tuesday, October 1, 2024

උඹ රබර් බෝලයකි !

ඉගිල විත් වේගයෙන්

වැදී එක නිමේශෙන්

අන්ත්‍රස්දාන වෙන

උඹ රබර් බෝලයකි !


වැදුනු සැර පාරවල්

මඩ ලකුණු දරාගෙන

පිච් එකේ කෙලවරක

මම පරණ බිත්තියකි !


තිලංක තේනුවර

ඔක්තෝබර් 01, 2024