Friday, June 21, 2024

උඹටත් එය අදාලයි !


මිරිකලා දෙහි බෑය ලුණුත් එක්කම
අයිස් කැට දෙක තුනක් දාල ගත්තම
ජින් සහ ටොනික් කියන්නෙම
පානෙකි පිරිමි හිත් අවුලන්න සමර්ථම !

වට දෙක තුනක් අධිවේගයෙන්
කැර කැවී දුම්වැටියක් සර්පිලාකාරව
අත හැරුනු පසු දුම් රොටු දීසියට
ෆිල්ටර් කොටය අසයි - තාමත් මදිද ඔහෙල ට !

හිතෝතුනි රාත්‍රිය දිගු බව ඇත්තයි
කතා කරන්නත් දේවල් නම් බොහොමයි
පදම දැන සීරුවට ගත්තහම
ඇල්කොහොල් උනත් හිතට හරි සනීපයි !

ඔබත් ඉන්නේ තිතට මත් වී නම්
මදක් ඉස්සී ජනේලයෙන් බැලුවොත්
පෙනේවි ඔබට අද අහස
තාරුකා දහසකින් සන්නද්ධයි !

ඒ අතර වඩාත් හොඳින් දිලිහෙන
ප්‍රොක්සිමා සෙන්චූරි දෙස අතවනා
පණිවිඩයක් තියේ නම් කිවුවොත් මේ වෙලේ
මා වෙත එය ළඟාවෙනවා සත්තයි !

ඔවූ ප්‍රේමිය
උඹටත් එය අදාලයි !

තිලංක තේනුවර
තාමත් තරුණ රාත්‍රියක
20.06.2024

Friday, June 14, 2024

අමෘතය වගේ බෙහෙතක් !


ඉතින් 
මේ වෙහෙසකර සැන්දෑව සහ
එකවරම දැනුනු
උග්‍ර තනි කම නිසාම
මෙලෙස මා මෙහි මේ වචන
මේ ලෙසින් ලියා තබා යන්නම් !

පෙර දිනක 
කිසිදු හේතුවක් නැතුව ද
හැල්මේ දුව විත් මා වැළඳ
ආදරෙයි කියූ මෙන් අදත්
හිත සනසවා ගන්නට මට
අඩුව ඇත්තේ ඔබේ උණුසුම !

දන්නවද මැණික මට
ආදරණීය වැළඳගැනීමක් කියන්නෙම
අමෘතය වගේ බෙහෙතක් 
හිත හැදෙන්නට - හිත නිවෙන්නට !

තිලංක තේනුවර
ජුනි 14, සිකුරාදා 2024
ඇල්කොහොල් ඌණතාවයෙන් ඩෝප් උනු වෙහෙසකර හවසක !