සංසාරයක් බර සුසුම්
සියවාරයක් හෙලමි
ජංජාලයක් වෙච්චි
පෙම් කතාවක් කිය මි !
හමුවීම වෙන්වීම තැනක දී විසිරීම
ඒ තමයි ප්‍රිය මිතුර ජීවිතේ ස්වභාවය !
කලාතුරකින් කෙනෙක් හදවතට ලං වීම
ටිකෙන් ටික හදවතම මුළු මනින් ඩැහැ ගැන්ම
පපු කුහර පලා ගෙන ලියලමින් දළු ලෑම
ඒ තමයි මිත්‍රයා ප්‍රේමයක ස්වභාවය !
නොගැලපෙන තැන් උනත් ගලපගෙන පේ වීම
ප්‍රේමයේ සොඳුරුතම බස් හෙමින් කෙඳිරීම
විහිළුවට වත් තරහ නොම අරන් ඉවසීම
ආදරේ කියන්නෙම තමන් සැප දන් දීම !
ඉබා ගාතේ දුවන ජීවිතේ හුරු වීම
ආදරෙයි කියන්නට හෙමින් අමතක වීම
කතා කළ යුතු දේත් හංගගෙන දුක් වීම
ඒ තමයි මඟ ලකුණු ප්‍රේමයක දෙදරීම !
වෙන්ව යද්දී හිතට කිසිවක්ම නොදැනීම
සංවේදනා නොමැති හීනයක හිරවීම
කල් යද්දි මොහොතකින් හිත බිඳී විසිරීම
ඒ තමයි ප්‍රිය මිතුර විරහවක ස්වභාවය !
සන්තාප මාවතේ
නැවත මම තනි උනෙමි
ඈ නැවත නො එන්නට
නික්ම ගිය බව ලියමි !
හමුවීම වෙන්වීම තැනකදී විසිරීම
නෑ මිතුර එය නොවෙයි ජීවිතේ ස්වභාවය !
තිලංක තේනුවර
මාර්තු 30, සෙනසුරාදා 2024