කොහොම කෙරුවත් දුරක් නොදකින
අමන මිනිසුන් සිටිනවා
දිවිය රැකදී කුසත් පුරවන
ගහම උදුරා දමනවා...
අන්න ඒ හින්දාම එකවර
බයක් හිත ලග රඟනවා
ගහක් වෙනවට හොදයී මිතුරනි
ඔන්න ඔහෙ මං ඉන්නවා...
පරිස්සමින් යාළුවා, උඹ මේ කියවන්නෙ මාව | Beware of the content amigo |
මට අද අහම්බෙන් අහන්න හම්බෙනවා සමනලී ෆොන්සේකා ලගදිම කරපු සිංදුව, හාදුවක්.
මුලින්ම කියන්නෝන සිරාවටම සමනලී කියන්නෙ සිංදු කීපයක්ම කරල තීන ගායිකාවක් කියල මං දැන ගත්තෙත් අද. ඒකත් මගේ මිත්‍රයා තාරක නිසා.
ඔහේ ඇදේ හාන්සි වෙලා Rahat Fateh Ali Khan ගෙ සිංදුවක් අහ අහ ඉද්දි බලහත් කාරෙන්ම සමනලීගෙ හාදුව මගේ කන් අස්සට එබුවෙ තාරක.
මට දැන් ඇහෙනවා බොහොම පරිණත කට හඬක්. නිකම්ම නිකම් සාමාන්ය හඬක් නෙමේ, ඒක ඇතුලෙ දෝංකාර දෙන මහ අමුතු වේදනාවක් තියෙනවා කියල මට හිතෙනවා. ඕනෑම වෙලාවක ඕනෑම භාවයක රැදිල ඉන්න මනුස්සයෙක්ගෙ හිතට අලවංගු පාරක් ගැහුව වගේ පර්මිට් නැතිවම කිදා බහින්න පුළුවන් හඩක් ඒක.
මම තාම පිළිගන්නෙ නෑ මේ හඬ සමනලීගේ කියලා. මට හිතෙන්නෙම නන්දා මාලනී මහත්මියගෙ සුහුඹුලෙක් කියලා.
බැරිම තැන මං අහනව මගේ මිත්‍රයගෙන් මචං, සමනලී නන්දාගේ නෑයෙක්ද?
"තොට පිස්සුද උගුඩුවෝ. වාසගම බලපන්. ෆොන්සේකා. ඔන්න මාලනීගේ නෑයෙක්ද ඇහුවනම් සාධාරණයී. උබට සිරාවටම මේ කලා ඉතිහාසය ගැන අවබෝධයක් ඇත්තෙම නැද්ද."
මිත්‍රයාගෙන් එහෙම පිලිවදන් හම්බෙද්දි මං හිතනවා මෙහෙම. සමනලී හරි සලඹයෙක් හරි මොකෙක් උනත් මට මොකෝ. වොයිස් එක පට්ට. ආයෙ දානව සිංදුව මුලට.
දෙවෙනි පාර සිංදුව අහද්දි හිතට දැනෙනවා මහා බරක්. ඒ දෝංකාර දෙන හඬ, හිත පුරාවට අලවංගු පාරවල් ගහල ඊයම් බරුත් බස්සල ගිහපු හැඩක් තියෙන්නෙ.
සමනලී වගේ හරි සැහැල්ලු ලස්සන නමක් තියාගෙන මෙච්චර ටොන් ගානක බරක් ආගන්තුක හිත් අස්සට ඔබන්න තරම් ගම්‍යතාවයක් තීන වොයිස් එකක් කොහෙන්ද ඔහේට හම්බුනේ?
මගේ හිත ප්‍රශ්ණ කරනව සමනලීගෙන්.
හිතට දැනිච්ච ඒ මහා බර තනුව සහ සමනලීගේ හඬ අතර සරළ අනුවර්තීය චලිතයක යෙදෙද්දී මම උත්සාහ කරනව ලිරික්ස් එක්ක මේ බර ගලපන්න...පාහන්න...
ලිරික්ස් දිහා බැලුවම සංක්ශිප්තය ගත්තොත් අහන්නෙ හරි සරළ ප්‍රශ්ණයක්. ප්‍රසිද්දියෙ කොල්ලෙක්ට කෙල්ලෙක්ට ආදරේ කරන්න බැරිද, බැරි ඇයි වගේ කතාවක්.
ප්‍රශ්ණෙනම් හරි සරළයී තමා බැලූ බැල්මට. ඒත් මේකෙ උත්තරේ ගැන කල්පනා කරද්දි තමා කතාව ටිකක් සංකීර්ණ වෙන්නෙ. සමාවෙන්න වැරදුනා. ටිකක් නෙමේ සෑහෙන්න සංකීර්ණයී.
සමනලී ප්‍රමුඛ මේ සිංදුවෙ අයිතිකාරයො සමාජයෙන් අහන මේ සරළ ප්‍රශ්ණය අපේ තියෙන සම්මතයන් සහ අසම්මතයන් සියල්ලම දෑතින්ම බදල හොල්ලා දමනවා කියලයී මට හිතෙන්නෙ.
හිතන්න මෙහෙම, ඔබ යනවා පාක් එකක් පැත්තට. එතනදී ඔබ අහම්බෙන් දකිනවා දැත් පටලා ගත් තරුණ යුවලක් බංකුවක් උඩ තුරුල් වෙලා ආදරෙන් ඉන්න දසුනක්. තව ටිකකින් අර තරුණිය සහ තරුණයාගේ දෙතොල් ඒකාත්මික වෙනවා.
දැන් මේක දකින සමහර කෙනෙක් උන් දෙන්නට පේන්නෙ නැති වෙන්න මේ දසුන බොහොම පහත් විදිහට රස විදීවී. තව එකෙක් හරිම අප්පිරියාවක් මවාගෙන උන් දෙන්නව ජාතියක් ජන්මයක් නැති වේසාවො දෙන්නෙක් කියල හන්වඩු ගහවි.
හොදම එක වෙන්නෙ පොලීසියෙ මාමල දැක්කොත්. අයිඩෙන්ටියෙ ඉදන් ඇදන් ඉන්න යට ඇදුමෙ පාට වෙනකම්ම චෙක් කරලා නොහොබිනා ලෙස ප්‍රසිද්දියෙ හැසිරීම කියල බෝඩ් එකකුත් ගහල පොලීසියට කුදලගෙන යාවී.
දැන් මිත්‍රයා මෙතන තියෙනව බොහොම තාර්කික ප්‍රශ්ණයක්.
ආදරය ගැන අවුරුදු දහස් ගණනක් තිස්සෙ කවි සී පද ලියැවිච්ච රටක් මේක. ආදරේ වෙනුවෙන් රජ කම අතෑරල පාරට බැහැපු රජ කුමාරවරු, රජ කුමාරියො ඉදපු ආදරේ වෙනුවෙන් කළු ගල් දියකරල පිළිම අඹපු මහා නිර්මාණකාරයො ඉදපු රටක්.
එහෙවු රටේ ප්‍රසිද්ධියෙ ආදරය කිරීම මේ තරම් නිහීන කාරනයක් කියල සමාජ ගත කරේ මොකාද?
දැන් සමහර එකෙක් කියයී ප්‍රසිද්දියෙ ආදරේ කරනවට නෙමේ මේ තහංචි තියෙන්නෙ ආදරේ කරන ගමන් අර ෆිල්ම් වල යද්දි කොටු දාන කිස් කරන සීන්, බදා ගන්න සීන් වගේ ඒවට විතරයී කියලා.
දැන් තීනවා ආයෙම අරම ප්‍රස්නයක්.
ඔය කිස් කරන සීන් හග් කරන සීන් ආදරයේ කෑලි නෙමේද? ඇරත් ප්‍රසිද්ධියෙ කරන්න පුළුවන් සහ බැරි දේවල් කියලා ආදරේ දේශ සීමා නිර්වචනය කරපු මහා බ්‍රහ්මයා කවුද?
මේ සේරොම ඇවිත් අපේ ඇටිටියුඩ් වල අවුල් නිසා වෙච්චි සන්තෑසි. සමාවෙන්න ආයෙම වැරදුනා. ඇටිටියුඩ් වල අවුල් නෙමේ, ඇටිටියුඩ් අවුල් කරපු නිසා වෙච්චි සන්තෑසි.
අවුරුදු දෙදාස් පන්සීයක අහවල් එක කියල ඉස්කෝලෙ කාලේ ඉදන්ම පුංචි උන්ගෙ හිත් වලට පොවන්නෙ විස. ලිංගිකත්වය කියන්නෙ මහා මැජික් එකක් කරලා, සෙක්ස් කියන වචනෙ ඇහුනත් කලන්තෙ දාල වැටෙන ලොන්ත පොල් සමාජ සම්මතයක් ගොඩ නගපු පොල්පොට්ල ඉතිහාසෙ ඉදම්ම ගහපු ගේම් වල ප්‍රථිඵල තමා මේ අපි අත් විදින්නෙ.
ඔය අවුරුදු බර ගාණක සම්මතයෙන් ෆෝම් වෙච්චි සමාජයෙන් තමන්ගෙ ප්‍රයිවසි ආරක්ශා කරගන්න ගැහැණියෙක්ට සහ පිරිමියෙක්ට සෑහෙන්න මහන්සි වෙන්න වෙන කාලයක් මේක. ඇයී ඉතින් පොඩ්ඩක් හරි එහා මෙහා උනොත් තමන්ගෙ පෙම්වතා හෝ පෙම්වතිය සමග කරපු ආලවට්ටම් සේරොම සයිබර් කුණු බක්කියේ.
ඉතින් යාළුවා ප්‍රසිද්ධියෙ තියා අප්‍රසිද්ධියෙවත් ආදරේ කරන්න සුදුසු සමාජෙකද අපි ඉන්නෙ කියන එක සමාලෝචනය කරල බලන්න වටිනව අපි අපිම.
තව එකෙක්ගෙ ආදරයක් උහුලන්න බැරි තරමට ඉරිසියාවක් මේ සුන්දර මිනිස් හිත් වලට පොම්ප කරේ කවුද?
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මෙච්චරයී. මේ සිංදුවේ සමනලී අහන ප්‍රශ්ණය අපේ වෙන දවසක් හැමෝටම එයී. අන්න එදාට අපි කලින් දුන්න දාර්ශණික ටෝක් සහ පිළිතුරු තව දුරටත් වලංගු වෙන එකක් නෑ.
ඒ නිසා අපි ඒ දවසට ලෑස්ති වෙමු. කවුරු හරි උන් දෙන්නෙක් පාක් එකේ හරි මහ පාරෙ හරි බස් එකේ හරි ආදරෙන් තුරුලු වෙලා ලවූ කරනව දැක්කොත් පිටසක්වල ජීවින් දිහා බලන විදියට උන් දිහා බලන එක නවත්තමු. අනේ වාසනාවන්. කොච්චර හොදද. උන් දෙන්න පට්ට ආදරෙන් ඉන්න ජෝඩුවක්.ප්‍රසිද්දියෙ කිස් කරන්න බැරිනම් වඩාගෙන නටපං. ඒක උබලගෙ කැමැත්ත. ඒක උබලගෙ ආසාව. උබලව ජජ් කරන්න අපි කවූද?
අන්න ඒ විදියට අනුන්ගෙ ආදරේ ඉවසන්න පුළුවන් ලෙවල් එකට එමු. අන්න එදාට මේ සමාජෙ තවත් ලස්සන වෙයී. සුන්දර වෙයී. ආදරණීය වෙයී. සංවේදී වෙයී. සංවර්ධනය වෙයී.
ආදරේ කියන්නෙ පරම පූජනීයත්වයට පත් කරල, ගල් කැටයම් අස්සෙ රිංගෝලා කබඩ් වල දාල දූවිලි නොවදින්න අරන් තියන්නෝන එකක් කියල හිතාගෙන ඉන්න තාක් කල් මේ රටේ ආදරයට සමාජ ගත වෙන්න ඉඩක් හම්බෙන්නෙ නෑ වගේම අපේ රටේ මිනිස්සු ආදරණීය වෙන්නෙත් නෑ කියන එක සමාජ සම්මත පඩත්තරයන්ට බොහොම ආදරෙන් කියා දෙන්නත් අපි උත්සාහවන්ත වෙමූ.
ඉතිං සමනලී, පූජාසන වල නන්වා යතුරු අගුළු දමා අරන් තියපු ආදරේ, කුදලගෙන ඇවිත් සමාජ ගත කරන්න නූතන මානවකයන් මානවිකාවන් දිරි ගන්වන නිර්මාණ වැඩි වැඩියෙන් දායාද කරන්නට, ඔබට තව තවත් ශක්තිය ලැබේවා. ජය !!!