Tuesday, December 25, 2018

මතක අවුලනු එපා වැස්සේ හිතත් රිදුනා....

අහස පාරන් තුංග ජල කද මහා සද්දෙන් බිමට වැටුනා

විගස තෙත් උනු බිත්ති මත්තේ විදුලි එළියෙන් රටා මැවුනා

සවස මහ රෑ වගේ කළුවර වෙන්න ඉඩ හැර ඉරත් නිවුනා

සදෙස විසිරුනු මතක අවුලනු එපා වැස්සේ හිතත් රිදුනා

Monday, December 24, 2018

දෙසැම්බර් 19

දෙසැම්බර් කියන්නෙම
නොස්ටැල්ජියානු මාසයක්
දහනමය කියන්නෙම
පපුව ගිනිතියන දවසක්...

පොඩි කාලෙ ඉදලම මට ඕනි උනේ
අපේ තාත්ත වගේ වෙන්න
ඒ දවස් වල තාත්ත එක්ක
අර තිවිච්ච පරණ සීඩී නයින්ටියෙ
පංසලට,සමිතියට තව ගමේ එක එක අහ
යනව උජාරුවට නැගල මම
ඔහොම ගම වටේ එක එක අහ යද්දි
ගමේ මිනිස්සු කියනව තාත්තට මෙහෙම
"ලොක්ක ඇවිත් චන්දරේගෙ කපාපු පලුව "
එහෙම ඇහෙද්දි හිතට දැනිච්ච ගැම්ම
වචනෙන් විස්තර කරන්නද මම කොහොම
මතකයී ඒ ආඩම්බර කාර හැගීම
මුහුවෙලා ගන්න හුස්මට
පුම්බනව පපු කුහරෙ එක පිම්මට
රබර් බැලුමක් වගේ ඇදිච්ච පෙනහැල්ල
කොයි වෙලේ පිපිරේද කියන්න බෑ බැලූ බැල්මට
ගෙදර ගියාට පස්සෙත් තාමත් එහෙම්මයී ගැම්ම
පපුව පුරා කැලැත්තෙන ඒ ආඩම්බරකමෙන්ම
අම්මට පොඩි කොලොප්පමක් කරන්න කියලා හිතාගෙන
දුවනවා කුස්සියට
එතකොට තමා දකින්න
අම්ම පොල් ගෙඩියක් බිදින ගමන්
හිටියොත් වෙන්නෙ මට පොල් ගාන්න
අම්ම දකින්න ඉස්සර
ශේප් එකේ මාරු වෙනව සාලෙට...
යන ගමන් කාමරේට එබිල අක්කට කියනවා මෙහෙම
"අඩෝ අන්න අම්ම කතා කරා පොල් ගාන්න "
"මට බෑ " කියලා නාහෙන් අඩ අඩ
අක්ක හෙමීට යනව කුස්සියට
අම්මගෙයී අක්කගෙයී දෙබස අහවර
වලියක් ශුවර් අක්කත් එක්ක
ගේ වටේ දුවන
උද්වේගකාරී වට දෙක තුනකට පසුව
නිමා වෙනවා අපේ රණ්ඩුව
තාත්තගේ ගෝරනාඩුව ඇහෙනවත් එක්කම...

ඒ දවස් වල බලපු කාටූන් වල ඉදපු
වීරයොන්ගෙ චරිත බෙදාගෙන
සෙල්ලම් කරපු අතීතය
ගලාගෙන එනව මතකෙට
මායී මලයයී
තව අහල පහල කොළු ගැටවූ ටිකයී
අම්මේ අපිට තිබ්බ සුපර් පවර්ස්
බෙඩ් සීට් එක බෙල්ල වටේ ඔතාගෙන
දුවනව වත්ත වටේටම
මං තමා සුපර් මෑන් කියල
පියාඹන්න හැදුව විතරයී
ආච්චි අම්ම පොරවන
දම් පාට ලොකු මල් තියෙන චීත්තෙත් පොරවන්
සාලෙ දිගේ දුවගෙන මලය එනව ගේමට
"බෑ බෑ මං තමා සුපර් මෑන් "
ඔන්න එපාර රණ්ඩුවක්
සුපර් මෑන් වෙන්න පොරකනව දෙන්නම
අන්තිමට කොහොම හරි
මඩුවෙ තිවිච්ච පරණ හෙල්මට්ටෙකක් හොයාගෙන
ඒක ඔළුවට දාල
වැලට ගහල තිවිච්ච ලාඩප්ප රිට කඩල
ඒකෙන් කඩුවක් හදල දීල
වීරයො දෙන්නගෙම පවර්ස් එක සමානයී කියලා
ඌව බැට් මෑන් කරවනවා මොත්තෙ දාල...

අපි දෙන්නටම ඕනි උනේ සුපර් මෑන් වෙන්න
හැබැයී තාත්ත නැති උනාමයී තේරුනේ
අපි හැමෝටම වෙන්න ඕනි වෙච්චි සුපර් මෑන්
වෙන කවුරුත් නෙමේ අපේ තාත්ත කියලා...

යාළුවෙක් අහම්බෙන්
"උඹේ ආසම පාට මොකද්ද " කියලා අහන වෙලාවක
මං නතර වෙනවා මොහොතකට
කල්පනා කරනව ටිකක් හොදට
ඇත්තට ආසම කියල දේවල් වැඩිය
නෑ නේද මගේ ජීවිතේ පුරාවට
ඒත් කොහේදෝ ඉදං මතකයක් හාරගෙන
ඔළුවට එනව කළු පාට
" කළු පාට ??? "
නෑ...මං මගෙන්ම අහනවා ආයෙම
කළු පාට කියන්නේ මජං වල පාට
ඒ දවස් වල තාත්තගෙ ඇදුම් වල රටා මවපු
වැඩිපුරම පේන්න තිවිච්ච පාට
කට්ට කළු පාට - මජං වල පාට
මං උත්තර දෙනව ඊළගට
ඔවූ මං ආසයී කළු පාටට
මොකද ඒක තමා මජං වල පාට...

මජං ගැන කතා කරද්දි
නැහැපුඩු පාරවගෙන
හදවතේ පතුලටම කිමිදින සුවදක්
මජං වලට තියෙනවා
ඒක හරි අපූරු සුවදක්
මතකයන් අවුළුවන්න පුළුවන් සුවදක්
මජං සුවදක් නැහැ පුඩු පහු කරපු ගමන්
ඇවිලෙන්නෙ  තාත්ත ගැන මතකයන් තමා එක පෝලිමට
අහිමි වීමේ වේදනාව ඒ එක්ක ආවත්
මං හරි ආසයී ඒ වේදනාවට
ඒ වේදනාව තමා ජීව මාන සාක්ශිය
තාත්ත අපිට ආදරේ කරපු විදිහට...
ඒකයී මං කියන්නේ
මං හරිම ආසයී මජං සුවදට
මොකද ඒ සුවද මට මතක් කරවන්නෙම තාත්තගෙ සුවද
මජං කියන්නෙ කන්න පුළුවන් ජාතියක් උනා නම් තව
මගේ කැමතිම කෑම
මජං වෙන්නත් තිවුනා ඇත්තට...

අපේ ආච්චි අම්ම ඉස්සර කියනව මතකයී
කන්දෙ නුග ගහ කියන්නෙ
දේවතා විමානයක්ලු තනිකරම
හැමදාම හවස හයට හයාමාරට
දේවතා එළි ඇදෙනවලු නුග ගහට
ඒ කතාවට පස්සෙ දවස් ගානක්ම
හවස් වරුවෙ මිදුලට වෙලා
දේවතා එළි බලන්න උත්සාහ කරත්
වැඩේ හරි ගියෙ නැති කොට
මං අදහස අතෑරල දැම්ම මතකයී දවසක...

ඒ නුගේ පාමුලම
අඩි හයක් බර පස් කන්ද යට
දැන් නිදා ගෙන ඉන්නවා අපේ තාත්තා
ඒ නුගේ අපෙ ආච්චි අම්ම කියපු තරම් පූජනීය නම්
තාත්තට සැතපෙන්න කියාපුම තැන තමා එතැන..

තාත්ත පස් කන්ද යට නිදාගෙන ඉද්දි
පස් කන්දක් බර හිතේ උහුලං
හුස්ම ගන්න අම්මා දැක්කම
හදවතේ මිලිමීටරයක්වත් ඉතුරු නොවෙන්න පිච්චෙනව උනත්
ඇහෙන් කදුලක් බිමට නොවැටෙන්නේ
කදුළු උනන්නෙ නැති නිසා නෙමෙයී
ඇස් වලින් එළියට පනින්න කලියෙන්ම
හිතේ රස්නෙට ඒව වාශ්ප වෙන නිසා...

සත්තයි දැන් නම් හැන්දෑ වරුවක
බැලුවොතින් ආකහේ දිහා පරිස්සමට
එකම එක හරි දේවතා එළියක් පෙනේවි
අර කියපු නුගේ දිහාවට
මහා එළියක් විහිදුවාගෙන ඇදෙන
අනිවාරෙන්ම දැක්කොත් මතක තියාගන්න
ඒ තමයී අපේ තාත්තා !!!

ප.ලි.-

තාත්ත අපිව දාල ගිහින් අවුරුද්දකුත් වෙනවා දෙසැම්බර් දහ නමයට.යථාර්තය ඒක උනත් හිත හැමවෙලාවෙම උත්සාහ කරන්නෙ ඒක මග අරින්න.පිළිගන්නෙ නැතුව ඉන්න.2017/12/19 ට කලින් දවසක හීනෙක හැමදාකම ගිලිල ඉන්න.තාත්තගෙ වියෝව අපේ ජීවිත වල ඇති කරේ කවදාවත්ම පුරවන්න බැරි හිස්තැනක්. ජීවත් වෙන්න ඕනි නිසාම පැලැස්තර දාන් හුස්ම ගත්තට පපුවෙ හිලක් එක්ක හුස්ම අල්ලන එක හරි අමාරු වැඩක් යාළුවා...