Tuesday, April 17, 2018

මූසලම අවුරුද්ද හනික ගෙවිලා යන්න...



පාළුවම ඉතිරිච්ච සාලෙ මැද විසිරෙන්න
එක හිනාවක් ඇතිනෙ නිහඩ බව බිදලන්න
අම්මගේ කදුලු ගග මොහොතකට නවතන්න
කතාවක් හෙම ගොතන් තාත්තේ මෙහෙ එන්න...

අවුරුද්දෙ නැකැත් ටික තක්කෙටම ඉටුවෙන්න
රේඩියෝවත් අරන් කුස්සියට ලං වෙන්න
අම්මාගෙ මහන්සිය මොහොතකට දුරුවෙන්න
එක විහිළුවක් ඇතිනෙ අවුරුද්ද හැඩ වෙන්න...

පංසලේ ඝංටාරේ ඇහෙද්දී ලං වෙන්න
ලොකු හාමුදුරුවන්ට බුලත් දී වැද ගන්න
නොනගතේ පූජාවෙ ලෑස්තිය විමසන්න
සුදු සරම ජැන්ඩියට තාත්තේ හැද එන්න

පෝලිමට බුලත් දී දෙපතුලට ලං වෙන්න
දණ ගසා වදිනවිට ඔළුව අත ගා ගන්න
බත් කටක් කවාගෙන හිතම පුරවා ගන්න
ඇවිලිච්ච මතකයන් ගිනි පිඹිනවා ඔන්න

ලිද එක්ක ගණු දෙනුව කරන්නට එක් වෙන්න
පරක්කුලු හොදටෝම අම්ම බණිනව ඔන්න
අඹ ගහේ එල්ලාපු ඔංචිල්ලෙ පැද ගන්න
තාත්තේ වෙනද වගෙ තල්ලුවක් දී යන්න

අකුණු පුපුරන විටදි සාලෙ සෙටියට පැන්න
සේරෝම ගුලි වෙද්දි රස කතා දොඩවන්න
වැහි අදුර ගිලගද්දි ලෝකයම බයවෙන්න
තාත්තේ නුඹෙ එළියෙ අහසටම විහිදන්න

නෑ ගෙවල් හතර අත ත්‍රීවිලේ ඇවිදින්න
පත්තරේ බලන විට ටැබ්ලොයිඩ් උදුරන්න
අක්ක මලයා එක්ක උන රණ්ඩු බේරන්න
කෝට්ටක් අරන් හරි ඉක්මනට මෙහෙ එන්න

ගෙදර හැම අස්සක්ම මුල්ලක්ම පෑහෙන්න
ඔබේ රුව මැවෙනවා මුලු හිතම ඇවිලෙන්න
මූසලම අවුරුද්ද හනික ගෙවිලා යන්න
තාත්තේ බැහැ මෙහෙම වියෝ දුක් උහුලන්න...